Print this Article


අග්ගමහා පණ්ඩිත පරම පූජනීය වැලිගම සිරි ඤාණරතන මහ නාහිමි ගුණ සැමරේ

අග්ගමහා පණ්ඩිත පරම පූජනීය වැලිගම සිරි ඤාණරතන මහ නාහිමි ගුණ සැමරේ

සීලා දිනෙක ගුණ සොභිත තේජවන්තො
සබ්බේසු තීසු පිටකේසුපි කොවිදොයො
ධීරොහි ඤාණරතනව්භය ථේරපාදො
නිබ්බාණධාතු මධිගච්ඡතු තික්ඛපඤ්ඤො

සිල් ගුණ පිරු නොමද - හොබනා තෙදින් හිරු ලෙද
තෙවල දම් කෝවිද - දියත දද නැඟු යමකු වේවි ද
වැලිගම නැණ රුවන් - මහනයු තෙරය පිරුවන්
විදසුනම දැරුවන් - තැනට යේවා නොදුටු මරුවන්

අග්ගමහා පණ්ඩිත, විනය විශාරද, ධර්‍මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස පරම පූජනීය වැලිගම සිරි ඤාණරතනාභිධාන මහනාහිමිපාණන් වහන්සේ වූකලි සමීපාතීතයෙහි ශ්‍රී ලාංකේය ථේරවාද භික්ෂු පෞරුෂය අන්වර්ථ කළාහු ආජානේය සංඝ නේතෘවරයාණ කෙනෙකි.

ධර්‍ම විනය පිළිබඳ අටුවා - ටීකානයින් නිරාකූල ව ලිවීමෙහි හා බිණීමෙහි විස්මයාවහ විස්කම් පෑ මාහිමිපාණෝ අභිධජ මහාරට්ඨගුරු ප්‍රපූජාර්හ බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමිපාණන් වහන්සේ වෙතින් 1953 වර්ෂයෙහි ලක්දිව අග්‍රතම ධර්‍ම දේශකයාණන් වහන්සේ ලෙස අභිෂේක ලත්හ.

විනයෙහි සුවිශාරද වූ අප මහෝත්තමයාණෝ වසර 90 ක් වූ සිය නිකැළැල් පැවිදි දිවිය පුරාවට ම අනුමාත්‍ර වරදෙහි පවා බිය දකිමින් සතර සංවර ශීලයෙහි ප්‍රතිමූර්තියක් වූහ. ත්‍රිපිටක බුද්ධ වචනය දිවගෙහි ලෙළදුන් නාසමිඳාණෝ ධර්‍ම චෛත්‍යයක් බඳු ය. රත්න කෝෂ්ඨාගාරයකි. අසහාය ලේඛකයහ. කුශාග්‍ර බුද්ධිමත්හ. කථකේශ්වරහ. පණ්ඩිත ශිරෝමණීහ. ඡට්ඨ මහා සංගායනාවේ දී ලක්දිව නියෝජනය කරමින් වැඩම කොට, එහිදී සිය පිරිස වෙත පැවැරුණු සංයුත්ත නිකාය කොටස තනිව ම ශෝධනය කළහ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ දී ජාතක පාළිය 02 කොටස පරිවර්තනය කරමින් පර්යාප්ති ශාසනයේ පැවැත්ම උදෙසා සිය මහරු යුතුකම ඉටු කළහ. කෙසර සිහරදකු මෙන් අභීත ව ශීලාදී ගුණයෙන් වෙසරද ව, උත්තරීතර ව, ථේරීය මහා විහාර සම්ප්‍රදායෙහි ශ්‍රමණ සාරුප්‍ය මෙබඳු යැයි ලොවට නිදසුන් වෙමින් වැඩ සිටියහ.

ප්‍රාචීන පණ්ඩිත උපාධිය උසස් ලෙසින් සමත් වූ උන්වහන්සේ සිංහල-පාලි- සංස්කෘත -ප්‍රාකෘත හා හින්දි භාෂාවන් හා එහි වියරණයන් ද, ඡන්දස් - අලංකාර - තර්‍ක - න්‍යාය ඉතිහාසාදී ශාස්ත්‍ර විෂයනුත් මනාව ප්‍රගුණ කළ අතර, ත්‍රිපිටක බුද්ධ වචනය අටුවා - ටීකා -සන්න - ගැටපද හා ප්‍රකරණ ඇසුරු කරමින් ධර්‍ම විනයෙහි ද පරතෙර පත්හ.

මහ නාසමිඳුන්ගේ ප්‍රඥා පාටවය දැනීමට බුරුම භාවනා විවේචනය වැනි එක් කුදු ගතක් පමණක් ම සෑහේ.

ධර්‍ම විනය පිළිබඳ පැන නැඟ ආ ඕනෑම ගැඹුරු ප්‍රශ්නයකට අවසාන තීරණය ලබා දීමට සමත් වූහ. ඒ නිසා මහ නා හිමියන්ගේ පිහිට පතා ආ පිරිස අපමණ ය. කාරණය ගැඹුරු තරමට ම උන්වහන්සේගේ ප්‍රඥා කෞශල්‍යය විදහා පෙන්වනුයේ ගැඹුරු මුහුදෙහි සිතැඟි සේ ක්‍රීඩා කරන්නා වූ මහා මත්ස්‍යයකු ලෙසිනි. කුදුසික විවරණා දී විනය ග්‍රන්ථ මේ සඳහා නිදසුන් සපයයි. එමෙන් ම ශාසන විලෝපී ක්‍රියාවන්ට මෙන් ම ජාතික ප්‍රශ්නවල දී ද අභීත ව නැඟී සිටිමින් ගත් පියවර නිසා රටටත්, ජාතියටත්, සම්බුදු සස්නටත් සිදු වූ මෙහෙවර සදානුස්මරණීය වේ. ප්‍රතිපත්ති ශාසනයෙන් විඳී දහම් සුවය, අන්‍යයන්ට ද සුව එළවනු වස් ‘අන් සැම දෙන තුළ ද ධර්මය ජීවමාන කිරීමට’ තම දිවි කැප කළහ.

ඊර්ෂ්‍යා පරවශයන් හැර මුළු මහත් බෞද්ධ ලෝකයාගේ ම අකලංක ගෞරවාදරයට භාජනය වෙමින් වැඩ විසූ මහ නාහිමිපාණන් වහන්සේ කෙරෙහි කිසිවිටෙක බොරු තෙද ඔද තිබුණේ නැත.

උන්වහන්සේ හමුවට එන බාල-මහලු, උසස්-පහත්, දුප්පත්-පොහොසත්, උගත්-නූගත්, ගිහි-පැවිදි යන කවර තරාතිරමේ කෙනකු ගැනවත් උස් පහත් කොට සිතා, උසස් අය සගන්නටවත් පහත් අය නිගන්නටවත් සූදානම් නොවූහ.

හමුවන සැමට සාරාණීය කාරණයක් කියාදීම මෙන් ම, දහම් ග්‍රන්ථයක් තුටු පඬුරක් ලෙස ලබා දීම අවිජහිත සිරිතක් ව පැවතිණි. උන්වහන්සේ ලියූ කුඩා ලිපිය වුව අර්‍ථ පූර්ණ ය. ධර්‍ම රසයෙන් අනූන ය. මෙසේ ලියන ලද ධර්‍ම ග්‍රන්ථ සංඛ්‍යාව ශතාධික ය.

වර්ෂ 101 ක් ආයු වළඳා 2013 වර්ෂයෙහි ජනවාරි 17 වැනි දින සියලු සකර දම්හි අනිස බැව් ලොවට පසක් කරමින් කීර්තිශේෂ භාවෝපගත කරමින් ස්වර්ගස්ථ වී වැඩ වදාළ සේක.

1959 වසරේ දී ලියන ලද “බුදුගුණ” නමැති ග්‍රන්ථය ‘බුද්ධ දිවාකරයාණෝ’ ලෙස නැවත මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වනුයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ එකොළොස්වැනි ගුණානුස්මරණය නිමිති කරගෙන ය. ඒ නිමිති කරගෙන මාකඳුගොඩ නිග්‍රෝධාරාම මහා විහාරයෙහි “සිරි ඤාණරතන මහනාහිමි සමරුපාය” නමින් දෙමහල් සංඝාවාසයක් සකසා සිව්දිගින් වඩිනා මහ සඟරුවන් වෙත පූජා කිරීම ද, කුල දරුවකු සසුන්ගත කිරීම ද මෙම දිනයට සමගාමී ව ජනවාරි මස 22 දින සිදුකෙරේ.