සම්බුදු දහමින් සුපෝෂිත
ලාංකේය ජන ජීවිතය
අමන්දොළුවේ සීලරතන හිමි
බුදුරදුන්ගේ ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් රජතුමාට ඇත්දැයි දැන ගනු
කැමැති ව මිහිඳු මහරහතන් වහන්සේ, අඹ ගස් ගැන ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විමසීය.
ප්‍රශ්න දෙකට ම බුද්ධිමත් පිළිතුර ලද බැවින් රජුගේ නැණ නුවණ තේරුම් ගත් මිහිඳු
මහරහතන් වහන්සේ රජුට හා ඔහු සමඟ සිටි පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දම් දෙසූහ
භාරතයේ බිහි වූ බලවත් අධිරාජ්‍යයක් හැටියට මෞර්ය අධිරාජ්‍ය හැඳින්විය හැකි ය. මෙහි
ආරම්භකයා වූයේ මෞර්ය නම් පෙළපතට අයත් වූ “චන්ද්‍රගුප්ත” නම් කුමාරයෙකි. ඔහුගේ
පුරෝහිතයා වූයේ කෞටිල්‍ය නමින් හැඳින්වුණු චානක්‍ය බ්‍රාහ්මණයා ය.
සිය පුරෝහිතයාගේ උපදෙස් අනුව චන්ද්‍රගුප්ත රජු විශාල මෞර්ය අධිරාජ්‍යය ගොඩනැඟුවේ ය.
එහි අගනුවර වූයේ පාඨලීපුත්‍ර නගරය යි. ඔහුගේ අභාවයෙන් පසු ඔහු පුත් බින්දුසාර කුමරු
රජකමට පත්විය. “සතුරන් නසන්නා” යන අර්ථ ඇති “අමිත්‍රඝාතක නම් වූ විරුදය දැරූ මේ රජු
ද සිය පියා අනුව යමින් අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ නියැළුණේ ය.
බින්දුසාර රජුගේ අභාවයෙන් පසු ක්‍රිස්තු පූර්ව 270 දී පමණ අශෝක කුමාරයා රජ පදවියට
පත්විය. මෞර්ය අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතමයා වූ හෙතෙම සිය මුත්තණුවන්ගේ කාලයේ සිට
ක්‍රියාත්මක කර ගෙන ආ අධිරාජ්‍යය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ වඩාත් දියුණු
කළේ ය. භාරත අධිරාජ්‍යයට දකුණින් පිහිටි ස්වාධීන රාජ්‍යයක් වූ කාලිංගය ආක්‍රමණය කර
එය යටත් කර ගැනීමෙන් පසු සිය විජිතය භාරතයේ දක්ෂිණ ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කළේය.
මේ යුද්ධයේ දී ජීවිත රැසක් විනාශ වූ අතර විශාල වශයෙන් ධන සම්පත් ද, කුඩා දරුවන් ද,
ගැබ් ගත් මාතාවන් ද, විනාශ වූ බව කියැවේ. මේ නිසා අශෝක අධිරාජ්‍යයව “චණ්ඩාශෝක” ලෙස
ද ඇතැම්හු හැඳින්වූහ. එතුමාගේ කාලිංග ලිපියේ දැක්වෙන පරිදි සිර භාරයට ගත් පිරිස එක්
ලක්ෂ පනස්දහසකි. මියගිය පිරිස පනස් ලක්ෂයකි. තුවාලලත් ගණන ද එපමණ ම විය. මෙම
ජයග්‍රහණයෙන් පසු යුද බිමේ මියගිය කුඩා දරුවන් හා ගැබිනි මාතාවන් දැක මහත් කම්පාවට
පත්විය. මේසා විශාල මිනිස් ඝාතනයක් කර ලබන ජයග්‍රහණය, මිනිසාට ඇති ජය ගැනීමේ මාර්ගය
නොවන බව එතුමාට අවබෝධ විය.
සිදු වූ විනාශය ගැන මහත් කම්පාවට පත්ව සිය මාලිගයේ සිවු මැදුරු කවුළුව තුළින් දුටු
මහ මාවත දිගේ ඉතා ශාන්ත ව ගමන් ගන්නා කුඩා භික්ෂූන් වහන්සේ නමකගේ සංවර දසුන
අධිරාජයාගේ සිත සිසිල් කළේ ය.
සිය ඥාති පුත්‍රයකු වූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සුපේෂල ශික්ෂාකාමී බවින්
සැනසිල්ලක් ලත් අශෝක අධිරාජයා සිය දිග් විජය පිළිවෙත වහා වෙනස් කිරීමට තීරණය කළේ ය.
එතුමා බුදුදහම වැලද ගත්තේ ය.
සැදැහැවත් බෞද්ධයකු වූ අශෝක රජතුමා ඉන්පසු රටවැසියන්ගේ අභිවෘද්ධිය තකා මහත් සේ
කටයුතු කළේ ය. වැව්, පොකුණු, උයන් තැනවීය. රෝහල්, විශ්‍රාමශාලා පිහිටුවිය.
අවිහිංසාවාදී ව උසස් පිළිවෙතක් අනුගමනය කරමින් සතුන්ට අභය දානය දුන්නේ ය. ප්‍රථම
වතාවට සතුන් මැරීම තහනම් කෙරෙන මාඝාතය වලංගු කළේ ය. ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය
කළ එතුමා සියලු ප්‍රජාව “මාගේ දරුවෝ ය” යනුවෙන් සෙල්ලිපිවල කොටවා තැබීය. බුදු දහමේ
ඉගැන්වෙන උදාර, මානව ගුණාංගය වන සත්‍යවාදී වීම, සහනශීලී වීම, සෑම ආගමකට ම ගරු
කිරීම, මහණ බමුණන්ට සැලකීම, මව් පිය උපස්ථානය, සේවකාදීන්ට සැලකීම, ගිලාන උපස්ථානය
වැනි සාරධර්ම සෙල්ලිපිවල ලියවා තැබීම ආදිය තුළින් අශෝක රජතුමා , මෙම ශික්ෂණය ලබා
ගත්තේ බුද්ධ ධර්මයෙන් බව පෙනේ.
භාරතයේ (දඹදිව) බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය ධර්මාශෝක අධිරාජයා විසින් ඇති කරන ලදි.
මේ සඳහා බුද්ධ ශාසනයේ එවකට නායකත්වය දැරූ සුපේශල ශික්ෂකාමී අතිපූජ්‍ය මොග්ගලීපුත්ත
තිස්ස මහ රහතන් වහන්සේ ආශීර්වාදය හා අවවාද ධර්මාශෝක අධිරාජයාට ලැබුණි. බුදුරජාණන්
වහන්සේ දේශනා කළ අසූහාර දහසක් ධර්මස්කන්ධය සිහිගන්වමින් වෙහෙර විහාර ද එපමණ ඉදි
කළේය. මුලින් “චණ්ඩාශෝක” ලෙස හැඳින්වූ එතුමා මේ දැහැමි වැඩපිළිවෙළ නිසා “ධර්මාශෝක”
නමින් ප්‍රචලිත විය.
අශෝක රජ භික්ෂු සංඝයාට මහත් ගෞරවයක් දැක්වීය. නොයෙක් අන්දමේ සංග්‍රහ කළේ ය. මේ නිසා
ලාභ සත්කාර ආදියට ගිජු වූ අත්තොටු පිරිවැජි දුසිල් පිරිස් ද භික්ෂුවේශ ගනිමින්,
ආරාමවල රැස්වෙමින්, විනය අවිනය කරමින්, අවිනය විනය කරමින් මහත් ශාසන විලෝපනයක් ඇති
කළහ. මේ නිසා ධර්මාශෝක රජතුමා ඉදිරිපත් ව, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ
ප්‍රධාන දහස් නමකගේ සහභාගිත්වයෙන් සංශෝධනයක් ද, ධර්ම සංගායනාවක්ද සිදු කිරීමට
රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ය.
3 වැනි ධර්ම සංගායනාව වශයෙන් ප්‍රකට වූ මෙය සිදුවූයේ පැළලුප් අගනුවර අශෝකාරාමයේ දී
ය. මෙම ධර්ම සංගීතියෙන් පසු මෞර්ය අධිරාජ්‍යයේ ප්‍රත්‍යන්ත දේශවල මෙන් ම එයින්
බාහිර වූ ප්‍රදේශයන්හි ද බුදුදහම හඳුන්වා දීමේ මහා ධර්මදූත මෙහෙවරක් ද ක්‍රියාත්මක
කරන ලදී. තෝරාගත් ධර්මදූත කණ්ඩායම් නවයක් එක් එක් කණ්ඩායමක නායකත්වයට සුදුසු රහතන්
වහන්සේ නමක් බැගින් ද නම් කර පෙදෙස් නවයකට පිටත්කර හරින ලද්දේ ය.
ධර්මාශෝක රජතුමා භාරතයේ මෞර්ය අධිරාජ්‍යය පාලනය කරද්දී ලක්දිව පාලකයා වූයේ තිස්ස
රජු ය. සිරිලක් වැසියාගේ වාසනාවට මේ රජවරුන් දෙදෙනා නුදුටු මිතුරෝ වූහ. එහෙයින් ම
තම පුත්‍රයා වූ මහින්ද මහරහතන් වහන්සේ ව ලක්දිව බුදු සසුන පිහිටුවීමට ධර්මාශෝක
රජතුමා විසින් එවන ලදැයි සිතිය හැකි ය. එසේ නැතිනම් සියල්ල දත් බුදුරජාණන් වහන්සේගේ
අනාගත දැක්ම නිසා බුද්ධ අධිෂ්ඨානය නිසා එසේ වෙන්නට ඇත.
එසේ නැති නම් බුද්ධත්වයෛන් මාස 9කට පසුව, පළමුවෙන් ලක්දිවට වැඩම කළ බුදුරජාණන්
වහන්සේ, මහියංගණය ප්‍රදේශයේ ජනාකීර්ණ ව සිටි යක්ෂයන් දමනය කොට, පලවා හැර බුදුසසුන
මුල් බැස ගැනීමට සුදුසු පසුබිම ලක්දිව තුළ සකස් කර ඇත.
ලාංකාය යත්ථ පඨමං සුගතේ නිසජ්ජ - යක්කේ දමේසි නිජ ශාසන පාලනාය
ඨනේ තිහිං කුන්තල ගී‍්‍රව ධාතු - වන්දාමි සාදු මහියංගන ථූපරාජං
බුදුරජාණන් වහන්සේ ලක්දිව යකුන් පලවා හැරී නමුදු මිනිසුන් ශිෂ්ටසම්පන්න කිරීම
මිහිඳු මහ රහතුන් වහන්සේ හට ඉතිරි කළ සේක.
සමණා මයං මහාරාජ -
ධම්ම රාජස්ස ස්‍රාවකා
තමේච අනුකම්පාය -
ජම්බුද්වීපා ඉධාගතා
මිහින්තලාවේ මිස්සක පව්වට ඍද්ධි බලයෙන් වැඩමකළ මිහිඳු හිමි රජු ඇමතා ඉහත ගාථාවෙන් “
අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රමණයන් වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි
පැමිණියෙමු'යි දෙසූ සේක.
ලක්දිව එකල පොසොන් දිනය විය. නමුත් රජු සමඟ සිටි 40 දහසක් සිතුවේ එදා “දඩකෙළියේ” යන
දිනයක් ලෙසිනි. උපශාන්ත ව වැඩසිටි මිහිඳු හිමියෝ දුටු රජුගේ සිත සසලවී ය. සිය
නොදුටු මිතුරා වූ අශෝක අධිරාජයා මීට පෙර එවා තිබූ දහම් පණිවිඩයේ තොරතුරු තිස්ස
රජතුමාට සිහිපත් විය. ඔහුගේ අත තිබූ දුනු හී සියතින් ගිලිහිණි.
බුදුරදුන්ගේ ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් රජතුමාට ඇත්දැයි දැන ගනු
කැමැති ව මිහිඳු මහරහතන් වහන්සේ, අඹ ගස් ගැන ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විමසීය.
ප්‍රශ්න දෙකට ම බුද්ධිමත් පිළිතුර ලද බැවින් රජුගේ නැණ නුවණ තේරුම් ගත් මිහිඳු
මහරහතන් වහන්සේ රජුට හා ඔහු සමඟ සිටි පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දම් දෙසූහ.
මේ ධර්මය ශ්‍රවණය කළ රජතුමා බුදුදහම වැලඳ ගත්තේ ය. එතුමා ලක්දිව ප්‍රථම බෞද්ධ
රජතුමා විය. තිස්ස රජතුමා සිය පියා වූ මුටසීව රජු විසින් කරවන ලද මහමෙව්නා උයන
මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්දූතයන් වහන්සේට පූජා කළේ ය. ලක්දිව බුදුදහමේ
කේන්ද්‍රස්ථානය වූ මහා විහාරය මුලින් ම ආරම්භ වූයේ මේ පූජාවෙනි.
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ ශතවර්ෂය තුළ ම බුදුදහම ලක්දිව අස්සක් මුල්ලක් නෑර
පැතිර ගියේ ය. බුදු දහම ශීඝ්‍ර ව පැතිර යාමට තුඩුදුන් හේතුසාධක ගණනාවක් ම තිබේ.
දඹදිව ධර්මාශෝක අධිරාජයා තුළ තිබූ බලසම්පන්න බව, ශ්‍රී ලංකාවේ අගනුවර රජතුමා හා
ප්‍රභූවරුන් බුදුදහම ගැන පැහැදී එය ලොව තුළ ඇති නිවැරැදි දහමක් බව අවබෝධ කර ගැනීම
ඊට හේතුවයි. එහෙත් ඒ අවබෝධය සසර උපදින උපදින භවවල ලැබූ අත්දැකීම් විඤ්ඤාණය තුළ
ගැබ්ව තිබූ නිසා යැයි මට සිතේ. භවයෙන් භවයට සැරිසරන අවස්ථාවල දී ලබා ඇති අනුභූතීන්
විසින් පෝෂණය වී ක්‍රමයෙන් වැඩී ඇති මනසෙහි නොයෙකුත් අනුභූතීන් ගබඩා වී ඇත.
ලෝකය දුක මත පදනම් ව පැවතිය ද එය ජය ගැනීමේ ශක්‍යතාව පුද්ගලයා සතු වන බව බෞද්ධ
විග්‍රහය යි. අති දීර්ඝ සංසාරයක අපි සැරිසරමු. මහ ගෙදර යැයි සිතා අනන්ත වාරයක් සතර
අපායේ වැටී දුක් වින්දෙමු. “ඌනො ලොකො අතිත්තෝ තණ්හා දාසෝ” අපි තෘෂ්ණාව නිසා නිතර
මදි යන හැඟීමෙන් පෙළෙයි. නැවත නැවත ඉපදීමට එය හේතු වෙයි. ඉපදීම දුක ය. ලෝකුඹු නිරයේ
වැනි මවුකුස තුළ මිනිස් දිවියක් ලබන්නට විඳින දුක්, මවු කුස තුළ මෙන් ම මව තුළින්
උපදින විට විඳින දුක, වයස්ගත වීමෙන්, ලෙඩ වීමෙන්, අනතුරුවලින්, ආබාධිත වීමෙන්, කෙස්
පැසීම, දත් වැටීම, ඇස් නොපෙනී යාම, සිරුරේ හම රැලි ගැසීම, මරණය, අපි‍්‍රයයන් හා
එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම, මනුෂ්‍ය ලෝකයේ ඉපදුණත් දුකම ය.
දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ඉපදුණත් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. පරම සැපත නිවනම ය. ඒ
මඟ දේශනා කළේ බුදුවරුන් පමණ ය. මේ පංච උපාදානස්කන්ධය ම දුකක් ම ය.
අශූචි ටිකක් වුව ද අති දුගඳ බව ද, මේ 31 තල භවය ඇසිපිය හෙලන තරම් කාලයක්වත් තමන්
වහන්සේ වර්ණනා නොකරන බව පැවසූ සේක. පරම සැපත නිර්වාණය බව ස්ථිරව ම පැවසූ සේක.
නමුත් බුද්ධෝත්පාද කාලයක මිනිස් ආත්මයක් ලැබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය
සත්‍යය දැන අවබෝධ කරන්නේ නම්, තෘෂ්ණාව සම්පූර්ණයෙන් ම දුරු කර විමුක්තියට, නිවනට
පැමිණීමට හැකි ය. ඊට ඇති මාර්ගය අපගේ විමුක්ති දායකයාණෝ තුන්ලොව ජය ගත්, අසමසම, මහා
කාරුණික, මහා ප්‍රඥාවක් තිබූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික
මාර්ගය ලක්දිව මානව සමාජය තුළ ස්ථාපිත විය. මානව සමාජය තුළ සුවිශේෂ වූත්, මූලික
වූත් සමාජ සංස්ථාව පවුල යැයි හැඳින්විය හැකි ය. ආර්ථික, දේශපාලනික, ආගමික, අධ්‍යාපන
ආදී සෙසු සමාජ අවස්ථාවන්වල දී සංස්ථාවන්හි හිඳ සමඟි සම්පන්න, එකමුතු බව තහවුරු
කරනුයේ ද එමඟිනි.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් “උට්ඨාන සම්පදා” ලෙස හඳුන්වා ඇත්තේ උත්සාහයෙන්, දෑතේ
මහන්සියෙන්, දහදිය හෙළා, උනන්දුවෙන් හා මහන්සියෙන්, තමන්ට හා අනුනට යහපත සඳහා කරන
කවර ධාර්මික රැකියාවකින් ධනය උපයා ගත හැකි ය. එලෙස සාධාරණ ව උපයාගත් ධනය විනාශ වීමට
ඉඩ ඇති ක්‍රමවලින් ආරක්ෂා කර ගැනීම, “ආරක්ඛ සම්පදා” නම් වේ. ශ්‍රද්ධාදී ගුණධර්ම
ඇති, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා ගුණයහපත් පුද්ගලයකු ලෙස තමාගේ හා තම පවුලේ දියුණුව
ළඟා කර ගත හැකි ය.
තමාගේ ආදායමට සරිලන ලෙස වියදම සිදුකිරීම තුළින් සාර්ථක ජීවන රටාවක් සකස් කර ගත හැකි
ය. එය “සමජීවිකතාව“යි.
පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අඹු සැමි දෙදෙනා එකිනෙකාට ඉටු කළ යුතු වගකීම් හා
යුතුකම් සිඟාලෝවාද සූත්‍රයේ බුදුන් වහන්සේ දක්වා තිබේ.
ස්වාමිපුරුෂයා විසින් භාර්යාවට සම්මානිත වදනෙන් ඇමතිය යුතු ය. අවමන් නොකර ආචාරශීලී
විය යුතු ය. සැමියා පරඹුවන් කරා යාමෙන් වැළකිය යුතු ය, ඉසුරු පවරා දිය යුතු ය.
අලංකාර වස්ත්‍රාභරණ සපයා දිය යුතු ය.
බිරිය විසින් ද ඉටු කළ යුතු යුතුකම් කරුණු පහකි.
පරපුරුෂයන් ඇසුරු නොකිරීම, සැමියා උපයන සම්පත් රැක ගැනීම, ගෙදර සියලු වැඩ කටයුතු
දක්ෂ ව, අනලස් ව කිරීම, සැමියාගේ මවුපියන්ට තම මවුපියන් සේ සැලකීම, පිරිවර ජනයාට
මැනවින් සිවුපසයෙන් සංග්‍රහ කිරීම
දෙලොව ම දියුණුවට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇති අතර, පිරිහීමේ කරුණු ද
උන්වහන්සේගෙන් විමසීමට දෙවියන් අමතක කළේ නැත.
ධර්මකාමී මිනිසා දියුණු වන බවත්, ධර්මය පිළිකුල් කරන්නා පිරිහෙන බවත්, පළමුවෙන් ම
භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සත්පුරුෂයන් අපි‍්‍රය කරන, අසත්පුරුෂයන් පි‍්‍රය කරන්නා
ද, නිතර නිදා ගන්නා හා නිසරු කතාබස් කියන්නා ද, වහා කිපෙනසුළු තැනැත්තා ද, අලසයා ද,
මවුපියන් පෝෂණය නොකරන්නා ද, රහතන් වහන්සේ නමක් හෝ දුගී දුප්පතකු හට හෝ බොරු කියන්නා
ද, මසුරා ද, අහංකාරයා ද, සුරාව, සූදුව හා බිරිය සිටිය දී පර අඟනන් කරා යන්නා ද,
සැමියා සිටිය දී වෙනත් පුරුෂයකු සමඟ යාම පි‍්‍රය කරන්නිය ද, රාජ්‍ය පාලන කාලයක
ඉපදුණ ද, ධන සම්පත් නැති තැනැත්තන් රජකම පතයි ද මේ කියන හේතූන් නුවණින් දකිමින්
ඒවායින් වැළකෙන, ආර්ය දර්ශනයෙන් යුතු නුවණැත්තා සැනසිල්ලේ ජීවත් වන බව ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ පවසා ඇත.
දිනක් ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩින භාග්‍යවතුන් වහන්සේ අග්ගික හා භාරද්වාජ බමුණාගේ
නිවෙස වෙත ද එළඹි සේක. භාරද්වාජ බමුණා ඈත සිට ම භාග්‍යවතුන් වහන්සේ ඒ දෙසට වඩිනු
දැක උන්වහන්සේට “මුඩු මහණ , ඔතැන ම නැවතු ව නීච මහණ ඔහොම සිටුව, වසලය ඔතැන ම නතර
වෙව“ යි කීහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණාගෙන් “බමුණ, වසලයා හෝ වසලයකු වන
කරුණු නුඹ දන්නෙහිදැ”යි විමසුයේ ය.
“වසලයකු වන කරුණු මට පහදා දෙන්නේ නම් මැනවි” බමුණ කීය.
“යම් මිනිසකු කිපෙනසුලු වේ ද, බද්ධ වෛර ඇත්තේ ද, අනුන්ගේ ගුණ නුගුණ කොට කියන්නේ ද,
මිසදිටු වූයේ ද, අනුන් රවටන්නේ ද, ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැද්ද, ගම් නියම්ගම්
සේනාව යොදා ජනයා හෝ දේපළ විනාශ කරන්නේ ද, ඔහු වසලයෙකි.”
“එපමණක් නොව අන්සතු දෙයක් සොර සිතින් හෝ බලහත්කාරයෙන් හෝ පැහැර ගනී ද, ගෙවිය යුතු
ණයක් නොගෙවා සිටී ද? මුදල් ලබා බොරු සාක්ෂි දීම ද, යමෙක් යහළුවන්ගේ, මිතුරන්ගේ
භාර්යාවන් අයුතු ලෙස අපයෝජන කරන්නේ ද, යමෙක් තම හැකියාවන් තිබියදී තම මහලු මවට
පියාට නොසලකා හරී ද? දැහැමි කරුණක් විමසන විට අවැඩදායක දෙයක් කියයි ද, තමන් සතු
කිසිවක් අනුන්ගේ ප්‍රයෝජන පිණිස නොදෙන්නේ ද, තමන් උසස් කොට අනෙකා පහත් කොට සලකයි ද,
යමෙක් රහත් නොවී තමා රහත් බව අඟවයි ද, ඔහු ද, ඔහු බුදුන්ට, දහමට බුදු සව්වන්ට තලා
පෙළා කතා කරයි ද, ඔහු වසලයන්ගෙනුත් අධම වසලයෙකි.”ජාතිය හේතු කොටගෙන උත්පත්තියෙන්
කිසිවකු වසලයකු නොවන බවත්, ඒ ඒ පුද්ගලයා ක්‍රියාවන් හේතු කොට ගෙන වසලයෙක් හෝ
බ්‍රාහ්මණයෙක් වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ බමුණාට දේශනා කළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, දහම් දෙසීම ඉතා මැනවි. වැසී තිබුණ දෙයක් විවෘත කොට දක්වන්නේ
ද? මං මුළා වූ මට මඟ කියා දුන් ඔබ වහන්සේ මම සරණ යමි. දහම් සරණ යමි. සඟුන් සරණ යමි.
මා අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු ලෙස පිළිගනු මැනවි.”බමුණා
පැවසීය.
මෙලෙස සැවැත්නුවර කෝටි හතක් වූ ජනතාවගෙන් කෝටි පහක් ම බුද දහම සරණ ගිය සැදැහැවත් අය
වූහ. ඇතැම් අය මගඵල නිවන් අවබෝධ කළහ. ඒ සැවැත්නුවර පමණකි. ධර්මාශෝක රජුගේ ධර්මදූත
සේවා නවයෙන් කොතරම් පිරිසක් දෙලොව යහපත සලසා ගන්නට ඇද්ද? |