Print this Article


පණ්ඩිතයා අප්‍රමාදී ය

පණ්ඩිතයා අප්‍රමාදී ය

මිතුරාගේ දෙලොව දියුණුව පතන අත්ථක්ඛායි මිතුරා තම මිතුරා පව් කිරීමෙන් වළක්වා පෙර නොඇසූ දහම් කරුණු අසන්නට සලස්වා පින් කිරීමෙහි යොදවා දෙව්ලොව ඉපදීමට මඟ කියා දෙයි

සැදැහැයෙන් පැවිදි වී මහණ දම් පිරූ සංඝයා වහන්සේ දෙනමක් සැවැත්නුවර වාසය කළහ. මේ දෙදෙනා වහන්සේ ඉතා ම හොඳ මිතුරෝ ය. දිනක් මේ භික්ෂු දෙනම බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සිත වැඩීමට සුදුසු භාවනා පිළිවෙත විමසා සිටියහ.

බුදුරදුන් වෙතින් කමටහන් ලබා ගත් දෙදෙනා වහන්සේ වස් කාලය පුරා භාවනානුයෝගී ව වැඩ වාසය කිරීම සඳහා ඈත කැලෑවක පිහිටි පන්සලකට වැඩම කළහ.

මේ දෙනමගෙන් එක් භික්ෂුනමක් එහි ගොසින් ආරණ්‍යයට වැඩි අරමුණ අමතක ව වියළී ගිය දඬුපත් කොළ ආදිය එකතු කර, ගිනි අවුළුවා වන අරණ බොහෝ ශීත යැයි පවසා බොහෝ වේලාවක් ගිනිතපිති. පසුව පන්සලේ වැඩ වාසය කරන පොඩිහාමුදුරුවන් සමඟ ආගිය තොරතුරු නිසරු දෙතිස් කතා යනාදිය පවසමින් කාලය ගෙවති. වනයට වැඩම කළේ භාවනා වඩමින් මගඵල දොර විවර කර ගැනීමට යැයි අමතක වූ ඒ භික්ෂූන් වහන්සේ ගිනි තපිමින් හා සාමණේර හිමිවරුන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කල්හරිති. මේ හාමුදුරුවන් සමඟ වැඩි අනෙක් හාමුදුරුවෝ බුදුරදුන් වෙතින් ලබා ගත් කමටහනේ සිත යොදා බලවත් උත්සාහයෙන්, වීර්යයෙන් යුතු ව භාවනා වඩා රහත්ඵල අවබෝධයට සමත් වූහ. තම යහළු භික්ෂුවගේ කුසීත, අලස ගති ද, සම්ප්‍රප්ඵලාපයෙන් කාලය ගෙවන හැටි ද දැක අනුකම්පාවෙන් යුතු ව භාවනාවේ පමා නොවන්නැ'යි ඒ භික්ෂුවට කොතෙක් අවවාද කළ ද ඒ කිසිවක් නොඇසූ සේ සිටි අලස භික්ෂුව තමන් වහන්සේ තුළ වූ කම්මැළිකම් නිසා ම කිසිදු ධ්‍යාන සමාපත්තියකට, මඟඵල අවබෝධයකට නොපැමිණියේ ය.

එහෙත් දෙදෙනා වහන්සේ පෙර සේ ම මිතුදමින් යුතු ව, සමගියෙන් කල් ගත කළහ. වස් සමය අවසානයේ දී මේ දෙනම දෙව්රම් වෙහෙරට වැඩියහ. බුදුරදහු කමටහන් ලබා වනයට වැඩි මේ භික්ෂු දෙනම දැක ආගිය තොරතුරු, සුවදුක් විමසා එක් භික්ෂුවක් උත්සාහයෙන් යුතු ව, වෙර වීරිය වඩා, භාවනාවේ නියැළීමෙන් නිවන් අවබෝධය ලද බවත්, අනෙක් භික්ෂුව අලසකමින්, පමාවී, භාවනාවේ සිත නොයොදවා නිසරු කතාවෙන් හා කම්මැළිකමට ගිනි තැපීමෙන් කාලය නැති කර ගෙන අලස ව කල් යවා නිවන් මඟ වසාගත් බවත් දැක, කුසීත ව කම්මැළි වූවන් ජවය නැති, කොරවූ අශ්වයකු සේ පල නොලබා පරදින බව ද, නොපමා වූ නැණවත් තැනැත්තා ජවසම්පන්න අශ්වයකු සේ අන්‍යයන් පසුකර මගඵල ලබා නිවන් අවබෝධ කරන බවත් වදාළ සේක. මෙලොව පරලොව ජය ගෙන දෙලොව දිනීමට උත්සාහයේ ඇති වැදගත්කම මේ කතා පුවතින් ද මැනවින් පැහැදිලි වෙයි.

අලස බව පුද්ගලයා ද , පවුල ද, සමාජය ද, විනාශයට පමුණුවයි. කුසීතයා අලස බවින්, දැන් ඉතා ශීතල යැයි කර්මාන්ත නොකරයි,

අති සීතන්ති කම්මං න කරොති

දැන් ඉතා උෂ්ණ යැයි කර්මාන්ත නොකරයි

අති උණ්නන්ති කම්මං න කරොති

දැන් සවස් වී ඇතැයි වැඩ නොකරයි

අති සායන්ති කම්මං න කරොති

ඉතා උදෑසන යැයි පවසමින් වැඩ නොකරයි

අති පානේති කම්මං න කරොති

බඩගිනි වැඩියි කියා කර්මාන්ත නොකරයි

අතිජාතො ස්මීති කම්මං න කරොති

ආහාර අනුභවයෙන් පසුව බඩ පිරි ඇතැයි කියමින් වැඩ නොකරයි.

අති ධාතෝ ස්මිති කම්මං න කරොති

මෙසේ හේතු කියමින් බොහෝ සේ තම කටයුතු අතපසු කිරීම නිසා එවැන්නාට ඇති වස්තු සම්පත් විනාශ වී යයි. නැති වස්තුව සම්පාදනය කර ගැනීමට නොහැකි වෙයි.

යොධ සීතං ච උණ්භං ව තිනා
හිය්‍යො න මඤ්ඤති
කරං පුරිසකිච්චානි සො සුඛා න
විභායතී ති

සීතල, උණුසුම තණපතකට වැඩියෙන් නොතකා, උත්සාහයෙන් වැඩ කරන මිනිසාගේ සැපය පිරිහීමට පත්නොවන බැව් බුදුපියාණෝ අවධාරණය කළ සේක.

සිඟාල කුල පුත්‍රයාට එදා බුදුරදුන් පවසා සිටියේ දිසා නමස්කාරයට ප්‍රථම තුදුස් ආකාර වූ (දාහතරක් වූ) පාප ධර්මයන්ගෙන් වැළකිය යුතු බවයි. පළමු ව මිනිසා සතර කර්ම ක්ලේශයන්ගෙන් ද, සතර අගතියෙන් ද වෙන්වී ධනය විනාශයට හේතු වන කරුණු හයෙන් වැළකිය යුතු ය.

දාහතරක් වූ ළාමක ගතිවලින් වෙන් වූ තැනැත්තා සය දිශාවෙන් භයෙන් වෙළී ඇති නොවන සේ වසා තබයි. දෙලොව ජය ගැනීමට පිළිපන්නෙක් වෙයි. ඔහු මෙලොව දිනයි. පරලොව ද දිනයි. මරණින් පසු දෙව්ලොව උපදියි.

ලෝකයේ ජීවත්වන විට අපට විවිධ ගුණ ඇති පුද්ගලයන් හමුවෙයි. ඉන් සමහරු හොඳ යහපත් සුදනෝ වෙති. ඇතැමුන් නරක, අයහපත් චරිත ලක්ෂණ ඇත්තෝ වෙති. ලොව දසත සුවඳ පතුරන සුවඳැති පැහැපත් මල් වෙයි. එමෙන් ම ලස්සන මිස සුවඳක් නැති මල් ද වෙයි. ඇස්, කන්, නාසාදී අඟපසඟින් යුතු මිනිසුන් වුව ද මනසින්, හදවතින් පිරුණු බවක් අද කාලයේ බොහෝ දෙනකු තුළින් දිස් නොවේ.

නරක මිනිසුන්ගේ නරකම විනා සමාජයේ සිටින යහපත් මිනිසුන්ගේ යහගුණ කතා කිරීම, අගය කිරීම අඩු ය. සත්පුරුෂයාගේ හොඳ ගුණ දැක සිත පහදා ගෙන තමන් තුළ එවැනි ගුණ නොමැති නම්, ඒ ගුණ ඔබ තුළ ද ඇති කර ගැනීම නුවණැති ක්‍රියාවකි.

නරක වැඩ කරමින් අනෙකා ද නරකට පොළඹවන දුර්ගුණ ඇත්තෝ සමාජයේ එමට වෙති. එනිසා අපට වැඩිපුරම දකින්නට ලැබෙන්නේ නරක මිනිසුන්ගේ නරක ගති ස්වභාවයන් ය. ගල්කැට, බොරලු සුලබ ය. එහෙත් මැණික් නම් අගනා විරල වස්තුවකි. යහගුණ රැඳි ගුණවතා ද මැණීක් මෙන් විරල වෙයි. මෙසේ ඇසුරු කළ යුතු හොඳ මිතුරෝ ද, ඇසුර අත්හළ යුතු පහත් ගති ඇති නරක මිතුරෝ ද සමාජයේ වෙති.

ගෘහපති පුත්‍රය, මිතුරුකම් පෙන්වමින් ඇසුරට එන, සැබෑ මිතුරුකමක් නැති, මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙනෙක් වෙති.

චත්තාරො මෙ ගහපතිපුත්ත අමිත්තො මිත්තපතිරූපකා වේදතබ්බො

අඤ්ඤුදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකා වෙදිතබ්බො, වචීපරමො අමිත්තො මිත්තපතිරූපකා වෙදිතබ්බො, අනුප්පියභාණී අමිත්තො

මිත්තපතිරූපකා වෙදිතබ්බො, අපාය සහයෝ අමිත්තො මිත්තපතිරූපකා වෙදිතබ්බො

අඤ්ඤුදත්ථුහර, වචීවරම, අනුප්පියභාණී, අපායසහාය යනු ඒ මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙනා ය.

මිතුරාගෙන් යමක් ඉල්ලා ගැනීම අඤ්ඤදත්ථුහර මිතුරාගේ ගතිය යි. මිතුරාට පොඩි දෙයක් දී ඔහු බොහෝ දෑ පතයි. නැතහොත් හිස් අතින් පැමිණ මිතුරාගෙන් කිසිවක් ගෙන යාම ඔහුගේ බලාපොරොත්තුවයි. තමාට බියක්, කරදරයක් වූ අවස්ථාවල දී පමණක් ඔහු මිතුරාගේ කටයුතු කරයි. මෙලෙස තමාගේ ප්‍රයෝජනය සලසා ගැනීමට, තම අදහස ඉටු කර ගැනීමට තමන් හා සබඳකම් පවත්වන අඤ්ඤුදත්ථුහර මිතුරා ය.

වචනයෙන් පමණක් හිතමිතුරුකම් පාන්නෝ සමාජයේ සිටිති. කලින් කීවා නම් ඒ උදව්ව කිරීමට පුළුවන්කම තිබුණා. ඇයි ඒ බව අපට කලින් නොදැන්වූයේ. මේ වෙලාවේ නම් අපට අපහසුයි යනුවෙන් එවැන්නෝ අතීතයෙන් සංග්‍රහ කරති. ඉදිරියේ දී අසවල් අසවල් දේ ඉටුකර දෙන්නම් යනුවෙන් අනාගතයෙන් සංග්‍රහ කරයි. මිතුරාගේ හිත දිනා ගැනීමට වැඩකට නැති චාටුබස් කියයි. මිතුරාට උදව් කළ අවස්ථාවේ දී තමාට වූ කරදරයක් කියාපාමින් මඟහරියි. මෙවැන්නෝ වචීපරම මිත්‍ර ප්‍රතිරූපකයෝ ය.

මිතුරාගේ අදහස දැන, ඔහු කරන හොඳ වැඩ, ඔහුගේ වැරැදි ක්‍රියා ද පව්කිරීම ද, යහපත කිරීම ද යන දෙකම අනුමත කරන්නා අනුපි‍්‍රයභාණී මිතුරා ය. මිතුරා ඉදිරිපිට ඔහුට ස්තුති කරන, ඔහුගේ ගුණ ගායනා කරන මොහු මිතුරා නැති තැන ඔහුගේ අගුණ කියයි.

මිතුරාට අවැඩ සදන, පව්කම් සඳහා සහය වන මොහු ප්‍රමාදයට, මත්වීමට හේතුවන මත්පැන් බීමෙහිලා සහය වෙයි. නුසුදුසු කල රස්තියාදු මඟ යාමට සහය වෙයි. නැටුම්, ගැයුම් හි ඇලීමට ද, දූ කෙළියේ - සූදුවේ යෙදීම යනාදී වශයෙන් මිතුරාගේ ධන විනාශයට සහය වන්නේ අපාය සහාය වූ මිත්‍ර ප්‍රතිරූපකයෝ ය.

නුවණැති තැනැත්තා කරදර උවදුරු බහුල මාර්ගයක් අතහැර යන්නා සේ මිතුරන් සේ, පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් දුරින් ම දුරු කරයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිත හොඳ මිතුරන් හතරක් පෙන්වා වදාළහ.

චත්තාරෝ මෙ ගහපතිපුත්තමිත්තා සුහද වෙදිතබ්බා

උපකාරෝ මිත්තො සුහදො වෙදිතබ්බා සමාන සුඛදුක්ඛෝමිත්තෝ සුහද

වෙදිතබ්බෝ අත්ථක්ඛායීමිත්තො සුහද වෙදිතබ්බො අනුකම්පකො මිත්තො

සුහදෝ වෙදිතබ්බෝ

උපකාරක මිත්‍රයා, සමාන සුඛදුක්ඛ මිත්‍රයා, අත්ථක්ඛායී මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා ය.

මිත්‍රයා වෙනුවෙන් කළ යුත්තක් උදාවූ අවස්ථාවේ දී අවශ්‍ය මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයක් ධනය වැය කර ඒ කටයුත්ත ඉටුකර දීම. මත්පැන් බී ප්‍රමාද වන මිතුරා ඉන් ගලවා මිතුරා ද ඔහුගේ දේපළ ද රැකදීම, මිතුරාට භයක් පැමිණි විට ඒ භය පලවාහරින මිත්‍රයා උපකාරක මිත්‍රයා යි.

තම මිතුරාගේ යහපත වෙනුවෙන් ජීවිතය වුව ද පිදීමට ඉදිරිපත් වන මිතුරෝ සමාජයේ සිටිති. එලෙස දිවි දී තම මිතුරා රැක ගන්නා වූ තමාගේ සියලු රහස් මිතුරාට පැවසුව ද කිසිවිටක මිතුරාගේ රහස් හෙළිනොකරන, මිතුරාගේ විපතේ දී ඔහු අත් නොහරින ගුණයන්ගෙන් යුතු මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා යි.

මිතුරාගේ දෙලොව දියුණුව පතන අත්ථක්ඛායි මිතුරා තම මිතුරා පව් කිරීමෙන් වළක්වා පෙර නොඇසූ දහම් කරුණු අසන්නට සලස්වා පින් කිරීමෙහි යොදවා දෙව්ලොව ඉපදීමට මඟ කියා දෙයි.

මිතුරාගේ දියුණුව දැක සතුටට පත්වන අනුකම්පක මිත්‍රයා, තම මිතුරා පිරිහීමේ දී අසතුටු වෙයි. යමෙක් තමාගේ මිතුරාට දොස් කියන්නේ නම් එය වළක්වා ගුණ කියන්නන්ට ප්‍රශංසා කරයි.

මෙවැනි උතුම් ගුණාංග ඇති මිතුරන් සතර දෙනා හැඳින නුවණැතියා විසින් මවක හා පුතකු අතර පවතින සබඳතාවක් ලෙසින් මෙවැනි මිත්‍රයෝ ඇසුරු කරනු ලබති. මෙවන් සැබෑ මිතුරන් ඇසුරු කරන සිල්වත් ඥානවන්තයා දිලිසෙන ගින්නක් සේ බබළන බව තථාගතයාණන් වහන්සේ දේශනා කළහ.

ගිහිගෙයි කටයුතු ඉටු කර ගැනීමට ගිහියාට ප්‍රමාණවත් ධනයක් අවශ්‍ය වෙයි. පවුලේ දූ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කර දීමට මෙසේ වස්තු සම්පත් තිබීම පහසුව සලසයි. එය සැපයට හේතුවෙයි. ධනය නැති ගිහිගෙදර ප්‍රශ්න, ගැටලු ගොඩකි. දුක්කරදර එසේ ම ය. ධනය ඉපයීම, වස්තුව රැස්කිරීම ගිහියා විසින් කළ යුතු කාර්යයක් බව බුදුදහම පෙන්වා දෙයි. භෝග රැස් කර ගිහිගෙයි වසන්නට ගිහියා සමර්ථ විය යුතු ය. බොහෝ දෙනෙක් මෙය වරදවා තේරුම් ගනිති. බුදුදහම පෙන්වා දෙන්නේ ධනය, වස්තුව රැස්කිරීම ධාර්මික ව කළ යුතු බවයි. මී මැස්සා මල නොතළා මල්පැණි රැස්කරයි. තම පැවැත්ම ද සාදාගෙන අගනා ඖෂධයක් ලොවට තිළිණ කරයි. ගිහි බෞද්ධයා ධනය රැස්කළ යුත්තේ ද මෙපරිද්දෙනි. කෙනකු මී මැස්සකු පරිදි කිසිවකු නොපෙලා ධාර්මික ව ධනය උපයන විට, වේයකු විසින් තුඹසක් බඳින්නාක් මෙන් ඔහුගේ ධනය ක්‍රමයෙන් වර්ධනය වෙයි.

පණ්ඩිතො සීලසම්පන්නො - ජලං අග්ගී ව භාසතී
භොගෙ සංහරමානස්ස - භමරස්සේව ඉරියතො
භොගා සන්නිඛයං යන්ති - චම්මිකො වූපබීයති

ඉපයූ ධනය වැනසී යාමට නොදී රැක ගැනීමට බුද්ධිමතා කටයුතු කරයි. යම් ස්වභාවික ආපදාවකට ලක්වී වස්තුව විනාශයට පත්වීම මිනිසාට පාලනය කළ නොහැකි ය. එහෙත් මිනිසාගේ දුර්වලකම් නිසා, එනම් පෙර සඳහන් කළ ධන විනාශ මුඛ නිසා ධනය විනාශ වී යැයි නම් ඊට හේතුව මිනිසා තුළ පවත්නා වැරදි හැසිරීම් ය. මෙලෙස විනාශ වීමට ඉඩ නො දී රැස්කළ ධනය කොටස් හතරකට බෙදා පරිහරණය කළ යුතු බව සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ.

කොටස් හතරින් එක පංගුවක් එදිනෙදා ආහාර, ඇඳුම්. බෙහෙත් යනාදිය සඳහා වියදම් කළ යුතු ය. තවත් කොටස් දෙකක් තමා කරන ගොවිතැන්, වෙළෙඳ ව්‍යාපාරාදී කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට යෙදවිය යුතු ය. ඉතිරි කොටස දුකක්, විපතක් පැමිණි කල ප්‍රයෝජනයට ගැනීමට සුරක්ෂිත ව තබා ගත යුතු ය.

ඒකෙන භොගෙ භුඤ්ජෙය්‍ය - ද්විභි කම්මං පයොජයෙ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති තී

මෙලෙස බුදුපියාණෝ ගිහියාගේ ආර්ථිකය හදාවඩා රැක ගන්නා අයුරු සිඟාලෝවාද සූත්‍රය තුළින් ලෝකයාට පෙන්වා වදාළහ.