Print this Article


වැලිපත ධම්මාරාම හිමියෝ පනස් වැනි වියට සැපත් වෙති

වැලිපත ධම්මාරාම හිමියෝ පනස් වැනි වියට සැපත් වෙති

ශාස්ත්‍රවේදී වැලිපත ධම්මාරාම හිමි ජනවාරි මස 05 වැනි දින ස්වකීය දිවිමගේ 50 වැනි වියට සැපත් වෙති.

කොළඹ 06, වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙහි නිබඳව වැඩ සිටිමින් ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි නියුතු ධම්මාරාම හිමි රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ, වැලිපත ග්‍රාමයේ දී, වර්ෂ 1975 ජනවාරි මස 05 වැනි දින ජන්මලාභය ලැබීය. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බළන්ගොඩ වැලිපත රාමණ විද්‍යාලයෙනි.

කුඩා අවධියේ පටන් ම සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1986 නොවැම්බර් මස 08 වැනිදා උතුම් වූ ප්‍රව්‍ර‍්‍රජ්‍යාභාවයට පත්විය. වටාපත ශ්‍රී දේවානන්ද පිරිවෙණ, ගම්පහ ජාත්‍යන්තර භික්ෂු අධ්‍යාපන ආයතනය සහ ගම්පහ මාබිම විද්‍යාප්‍රදීප විද්‍යායතන පිරිවෙණින් ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය ප්‍රගුණ කළ ධම්මාරාම හිමි, පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ලේඛකත්ව හා ජන සන්නිවේදන උසස් ඩිප්ලෝමාවක් ලැබූහ.

අමරපුර රාස්සගල විහාර පාර්ශ්වය වෙතින් වර්ෂ 1999 දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය. ස්වකීය දැනුම ක්‍රියාවෙහි යොදවමින් පුවත්පත්වලට ධර්ම ශාස්ත්‍රීය ලිපි රැසක් ද ධම්මාරාම හිමි සම්පාදනය කළ අතර විවිධ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීමේ පරමාර්ථයෙන් වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවා තිබේ.

තවද ලංකාවේ උතුරුකරයේ සහ දකුණේ ජාතික එකමුතුව ගොඩනැඟීමට එදා යුද සමය තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට වැඩම කළේ ස්වකීය ජීවිත අවදානම පවා නොතකා ය.