Print this Article


අපිත් වඳිමු ජය සිරිමහ බෝධිය

අපිත් වඳිමු ජය සිරිමහ බෝධිය

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වීය. සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් විසින් වැඩම කරවන ලද බෝසමිඳුන් දේවානම්පියතිස්ස මහ රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කරවනු ලැබීය.

ශ්‍රී බුද්ධ වර්ෂ 236දී සිදු වූ මෙම බෝධි රෝපණයෙන් පසු බෝධි පූජාව මෙරට ජනතාව අතර බෙහෙවින් ම ජනපි‍්‍රය විය. මහා බෝධිවංශයේ සඳහන් පරිදි සිරිමහ බෝසමිඳු උදෙසා බෝධි ඝරයක් ද ඉදි කළ අතර, එයට පුද පූජා පැවැත්වීමට ද, ආරක්ෂාවට ද විධිවිධාන සැලැස්වීය. මල් හා සුවඳ ද්‍රව්‍ය සැපයීමටත්, පර වූ මල් ඉවත් කිරීමටත්, සතුන්ගෙන් හා සතුරන්ගෙන් රැක ගැනීමටත් අවශ්‍ය තනතුරු ඇති කර නිලධාරීන් ද පත් කළ ආකාරය එහි සවිස්තර ව දක්වා තිබේ.

“මහ බෝ මඟුල” නමින් බෝධි පූජාවට සම්බන්ධ වාර්ෂික උත්සවයක් රජයේ මූලිකත්වයෙන් පැවැත්වූ බව පෙනේ. මල්, පහන්, සුවඳ ආදිය පිදීම ද අවට පරිසරය ධජ පතාකවලින් සැරසීම ද මෙකී පූජාවට ඇතුළත් විය.

සිරිමහ බෝ සමිඳු වැඩමවීමෙන් පසුව එහි පූජනීයත්වය වඩාත් ඉස්මතු වන පරිදි අංකුර බෝධීන් වහන්සේ අට නමක් ද, ඵලරුහ බෝධීන් වහන්සේ දෙතිස් නමක් ද, රජරට සහ රුහුණේ ද ඉන් බැහැර වෙනත් පළාත්වල ද රෝපණය කොට ජනතාවගේ පූජෝපහාරයට පත් වූ අයුරු බෝධි වංශයේ විස්තර කර ඇත. මෙම බෝධි වන්දනාවේ ප්‍රධාන පරමාර්ථය වනුයේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම පිළිබඳ වූ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීමයි. එබැවින් ශ්‍රී මහා බෝධිය යනු බුද්ධත්වයේ සංකේතයකි.

වර්තමානයේ බෝධිය සෑම විහාරස්ථානයක ම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති අතර, බෝධි පූජාවේ දී නිරාමිස සංකල්ප මෙන්ම ලෞකික පරමාර්ථ ද ඉස්මතු වී තිබේ. ලෙඩ දුක්, සොරසතුරු උවදුරු සහ නවග්‍රහ දෝෂ දුරලීම අරමුණු කර බෝධි පූජා පැවැත්වීමට අද සැදැහැවත් ජනතාවගෙන් වැඩිදෙනෙක් පුරුදු වී සිටිති. ගාථා, කවි හා තාලයට කිව හැකි වැකි ද යොදා ගනිමින් බෝධි පූජා පවත්වනු දැකිය හැකි ය. තවද බෝධීන් වහන්සේට අරක්ගත් දෙවිවරුන් ගැන ද සලකා ඔවුන්ගෙන් ආශීර්වාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පූජා පවත්වන්නෝ ද වෙති. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අරක්ගත් කලුකම්බිලි දේවතාවුන් වහන්සේ ගැන අපමණ ජනතා පැහැදීමක් පවතියි.

බෝධි පූජාවක දී ගායනා කරන කවි සහ ගාථාවල ගැඹුරු බෞද්ධ සංකල්ප ඇතුළත් වී නැතත් සාමාන්‍ය ජනතාවගේ සිත් ඇද ගන්නා වූ ද, ඔවුන්ට ඉතා පහසුවෙන් තේරුම් ගත හැක්කා වූ ද, ඔවුන්ගේ හදවත්වලට ළං වූ ද අදහස් කිහිපයක් තිබීම මෙය ජනපි‍්‍රය වීමට හේතු වන්නට ඇත. මේ එබඳු එක් කවියකි.

මම මේ මළුවට යනවා එනවා
බෝ මුල් බෝ පත් මට පෑගෙනවා
සමාව දී මගෙ පව් අරවනවා
බෝ රජුනේ මට අවසර දෙනවා

පාලි මහා බෝධි වංශයේ ඇතුළත් පහත දැක්වෙන ගාථාවෙන් සිදුහත් බෝසතාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳ අසිරිමත් සිදුවීම සිහිපත් කෙරෙයි.

යස්ස මූලෙ නිසින්නොව
සබ්බාරිවිජයං අකා
පත්තො සබ්බඤ්ඤුතං සත්ථා
වන්දෙතං බෝධිපාදපං

18 වැනි සියවසේ සිට මෙරට සැදැහැවත් ජනතාව භාවිතයට ගත් පහත සඳහන් බෝධි වන්දනා ගාථාව අදටත් එදා සේ ම බෙහෙවින් ජනපි‍්‍රය ව පවතියි.

ඉන්ද්‍ර නීල වණ්ණ පත්ත
සෙත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි
පූජිතග්ග සාතදං

අග්ග බෝධි නාම වාම
දෙවරුක්ඛ සන්නිභං
තං විසාල බෝධි පාදපං
නමාමි සබ්බදා

ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ පත්‍ර ඇති, ස්වේත වර්ණ වූ කඳකින් බබළන බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර නමැති පියුම්වලින් පූජා කරනු ලැබුවා වූ උතුම් නිවන් සැප ගෙනදෙන දිව්‍ය වෘක්ෂයට සමාන වූ අග්‍රබෝධි නම් වූ උත්තම වෘක්ෂ රාජයා මම වඳිමි.