Print this Article


අවධානය ගිලිහීම අනවබෝධයේ ඇරඹුමයි

අවධානය ගිලිහීම අනවබෝධයේ ඇරඹුමයි

දාරක සංරක්ෂණයෙහි තවත් වැදගත් උතුමෙක් ලෙස ගුරුවරයා පෙන්වා දිය හැකි ය. ඒ අනුව සිඟාලෝවාද සූත්‍රයෙහි විග්‍රහ කෙරෙන ශිෂ්‍යයා වෙනුවෙන් ගුරුවරයාගේ කාර්යභාරය ද සුවිශේෂී වූවෙකි.

ඒවා මෙසේ ය.

* මැනවින් හික්මවීම (සුවිනීතං විනෙන්ති)

* මැනවින් ඉගැන්වීම (සුග්ගහීතං ගහාපෙන්ති)

* දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර කියා දීම. (සබ්බ සිප් සුත සමයක්ඛායිනො භවන්ති)

* මිත්‍ර වර්ගයා හඳුන්වා දීම. (මිත්තා මච්චෙසු පරිච්දෙන්ති)

* උවදුරුවලින් රැක ගැනීම (සිසාසු පරිත්තානං කරොන්ති)

මේ අනුව ශිෂ්‍යයා වෙනුවෙන් ගුරුවරයාගේ වගකීම ද ඉතා වැදගත් ය. මැනවින් හික්මීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? ගුරුවරයා විසින් සිය ගෝලයා විනයගරුක, ආචාරශීලි පුද්ගලයකු බවට පත්කිරීමේ වගකීම යි. මැනවින් ඉගැන්වීම නම්, ශිෂ්‍යයාට නිවැරැදි මඟ පෙන්වීමයි. මැනවින් අධ්‍යාපනය ලබා දීමයි. එලෙස ම ගුරු මුෂ්ඨියෙන් තොර ව, නො සඟවා, තමා දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ලබා දීම ද ගුරුවරයාගේ වගකීමකි. එසේත් නොමැති නම් ශිෂ්‍යයාගේ බුද්ධිය අවධි කිරීමයි. මිත්‍ර වර්ගයා හඳුන්වා දීම තුළින් ඒ ඒ තන්හි ශිෂ්‍යයාගේ සමාජ සංවර්ධනය, ආරක්ෂාව සඳහා එය බෙහෙවින් ඉවහල් වෙයි.

නරක පාපමිත්‍ර ඇසුර නිසා ශිෂ්‍යයා නරක පුරුදු සඳහා ඇබ්බැහි වීමට යොමු වෙයි. මත්ද්‍රව්‍ය, මත්පැන් ආදි විවිධ උවදුරු ළමා මනස ගොදුරු කර ගැනීම සඳහා පෙරමඟ බලා සිටියි. එවැනි අනේක වූ උවදුරුවලින් ශිෂ්‍යයා මුදවා ගැනීම ද ගුරුවරයාගේ අනිවාර්ය වූ වගකීමකි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණි, තමන් වහන්සේට මුණ ගැසුණු ශිෂ්‍යයාට විවිධ ශිල්ප ක්‍රමෝපායයන් භාවිත කොට දම් දෙසූහ. නිසි මඟට ගෙන ආධ්‍යාත්මික සුව ලබා දුන්හ. එලෙස ගුරුවරයාගේ වගකීම් විය යුත්තේ ආචාරශීලි බවෙන් පිරිපුන් මනා බුද්ධියෙන් යුත් දරුවන් සමාජයට දායාද කිරීම යි. එම වගකීම මනාව ඉටු කිරීමෙන් සමස්ත සමාජය ම සුවපත් භාවයට පත් වෙයි.

මේ ආකරයට මව්පිය, ගුරුවර, වැඩිහිටි ආදීන්ගෙන් දරුවාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන විට ඔවුන් වෙනුවෙන් දරුවාගේ යුතුකම ද පැහැර හැරීමට ඔහු අපොහොසත් වෙයි. ඒ අනුව මව්පියන් කෙරෙහි දරුවා කරුණු පහකින් තම වගකීම නොහොත් උපස්ථානය ඉටු කළ යුතු ය.

* මව්පියන් පෝෂණය කිරීම (භතො නෙසං කරිස්සාමි)

* ඔවුන්ගේ කුදුමහත් කටයුතු සම්පූර්ණ කර දීම (කිච්චං නෙසං කරිස්සාමි)

* පවුලේ සම්ප්‍රදාය, ගෞරවය හොඳින් ආරක්ෂා කිරීම (කුලවංසං ඨපෙස්සාමි)

* මව්පියන්ගෙන් උරුම වූ ධනය ආරක්ෂා කිරීම (දායජ්ජං පටිපජ්ජාමි)

* ඔවුන් මියගිය පසු දක්ෂිණා පිරිනැමීමෙන් පුණ්‍යානුමෝදනා කිරීම (අත වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සාමි)

මේ ආකාරයට දරුවාගේ යුතුකම ද මව්පියන් වෙත නිසි ආකාරයෙන් ඉටුවිය යුතු බව බුදුදහම අවධාරණය කරයි. යහපත් වූ ගුණගරුක සමාජයක අරුණාලෝකය උදාවන්නේ එවිට ය.

දරුවන්ගෙන් මව්පියන්ට ඉටුවිය යුතු යුතුකම් සේ ම, ශිෂ්‍යයන් ද කරුණු පසකින් ගුරුවරයා පිදිය යුතු ය. එසේත් නොමැති නම් යුතුකම් ඉටු කළ යුතු ය. ගුරුවරයා පැමිණෙන විට ශිෂ්‍යයා වාඩි වී සිටින්නේ නම්, එම ආසනයෙන් නැඟී සිටිය යුතු ය. තමා වෙත ගුරුවරයා පැමිණේ නම් පෙර ගමන් කොට පිළිගත යුතුª ය. අවස්ථාවෙහි හැටියට ගුරුවරයාට කළ යුතු සංග්‍රහයක් වේ නම් එය මැනවින් ඉටු කළ යුතු ය. ගුරුවරයා අසනීප වූ විට සොයා ලබා උපස්ථානාදිය කළ යුතු ය. ගුරුවරයා කියා දෙන දේ යෝනිසෝමනසිකාරයෙන් යුතු ව ඉගෙන ගත යුතු අතර ගුරුවරයාගේ කුදුමහත් කටයුතු ඕනෑකමින් ඉටු කළ යුතු වෙයි. මේ ආකාරයට ශිෂ්‍යයා, ගුරුවරයා කෙරෙහි ගෞරවයෙන් මෙන් ම, ආදරයෙන් ශිල්ප ශාස්ත්‍රය හැදෑරිය යුතු වේ. එසේ නොමැති නම් ගුරුවරයා වෙහෙස වී සිදුකරනු ලබන කැපකිරීම් තුළින් නිසි ප්‍රයෝජන නෙළාගත නොහැකි වෙයි. අවධානය නැති ශිෂ්‍යයාට ධර්මය ශාස්ත්‍රය, අවවාදය, උපදේශය, බිහිරාට වෙණ නද මෙන් වෙයි. දත් නැත්තා හට උක් දඬු රසය මෙන් හොඳකමේ මිහිර ඔහුට අයත් නොව්. මිණිරුවන් පාගා යන අන්ධයකු මෙන් ඔහු හොඳකමට පිටුපා යයි. අගනා ගජමුතු පාග පාගා ඔළිඳ ඇට අවුලන වැදි අඟනක් සේ හොඳකම් බලා නරක අයට ඔහුගේ සිත ඇදී යයි. අවධානය නැති තැන දැන ගැනීම නැති වෙයි. දැනීම නැත්තා අත්තහිත පරහිතයෙහි අන්ධයෙකි.

ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා
බැති පෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා

දත් කැකුළු පාලා - සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා - කෙළි සියොළඟ දූලි ගාලා

එවැනි බොළඳ සුරතල් ළපටි හදවතක් අවබෝධ කර ගැනීම සූකර නොවේ. පිවිතුරු, බොළඳ, දඟකාර, කටකාර වදනින්, ක්‍රියාවෙන් ඒ පිවිතුරු හදවත් පිරී ඇත. ඔවුන් මව්පියන්ගෙන් අපේක්ෂා කරනුයේ හුදෙක් භෞතික සැප සම්පත් පමණක් නොවේ. මව්පියන්ගේ සොඳුරු ඇසුර, පිළිසඳර ඔවුහු අපේක්ෂා කරති. බොහෝ විට මව්පියන් ද බොහෝ සෙයින් එවැනි සොඳුරු ඇසුර අපේක්ෂා කරන බව ඉතා පැහැදිලි ය.

මේ සොඳුරු ළමා මනස මැනවින් වටහා ගත්තේ අප බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ වටහාගත් ළමා මනස සමඟ දිවි ගෙවූ ආකාරය ඉතා චමත්කාරජනක ය.

ළදරු වියේ පැවිදි ව සිටි චුල්ලපන්ථක හිමියන් අධ්‍යාපනයේ දී දුර්වල ස්වභාවයක් දැක්වීය. එම නිසා සොයුරු හිමියන් ඒ හිමියෝ විහාරයෙන් නෙරපා හැරියහ. එහෙත් පන්ථක හිමියෝ විහාරයෙන් පිට නොවී වෙහෙර ඉදිරිපිට හඬමින් සිටියහ. ඒ මොහොතේ එතැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. ඒ සොඳුරු ළමා මනස මැනවින් අවබෝධ කොට ගත්, බුදුරජාණන් වහන්සේ, ළදරු හිමියන්ගේ හිස අතගා, සනසා, ආදරයෙන් කතා කොට, අතින් ගෙන විහාරයට වැඩියහ. මේ උදාර සෙනෙහස දුර්වලයකු ලෙස චෝදනා ලැබූ ඒ හිමියන්ට සුළු මොහොතකින් අරහත් භාවයට පත්වීමට හේතු විය.

ඒ හිමියෝ ද පසුව එම සොඳුරු මෙන් ම උද්වේගකර අවස්ථාව සිහිපත් කළේ ආදර සෙනෙහසිනි.

භගවා තත්ථ ආගච්ඡි - සිසං මය්හං පරාමසී
බහාය මං ගහෙත්වාන - සංඝරාමං පවෙසයි

“භාග්‍යවතුන් වහන්සේ එතැනින් පැමිණි සේක. මාගේ හිස පිරිමැද්දාහ. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසූහ.” යනුවෙන් ඒ හිමියෝ ප්‍රකාශ කළහ. මේ සිදුවීමෙන් භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති දාරක සෙනෙහස ප්‍රකට ය. එමෙන් ම දරුවකුගේ ජීවිතය විධිමත් කිරීමට, නිරෝගි මානසික දියුණුවක් ඇති කිරීමට ආදරය, සෙනෙහස අත්‍යවශ්‍ය බව ප්‍රකට වේ.

පුංචි සෝපාක දස වධ වින්දේ සිය සුළුපියාගෙනි. සුළුපියාගෛ් කෝපය අවසානයේ නිමා වූයේ පුංචි සෝපාක අමු සොහොනෙහි මළමිනියක බැඳ තැබීමෙනි. අමු සොහොනක, මළමිනියක් හා ළදරුවකු තනි කිරීමට එහා කළ හැකි කෲර කමක් තිබේ ද? ලේ පිපාසාවෙන් අමු සොහොනට ඇදෙන කොටි, වලස්, හිවලුන්ගේ බියජනක ගෙරවිලි මැදින්,ලේ පැහැති ඇස්වලින් විහිදෙන බියජනක බව මැදින් පුංචි සෝපාක මර ළතෝනි දෙන්නට ඇති. ඒ ඔහුට වෙන කළ හැකි දෙයක් නොවු හෙයිනි. එහෙත් ඔහුගේ අසරණ වු මරළතෝනිය කවරකු නම් අසන්නට ඇතිද? සැබෑ පියකු ලෙස සෝපාක ඇමතු බුදුරජාණන් වහන්සේ එම මර උගුලෙන් ඔහු මුදවා ගත්හ.

එහි සෝපාක මා භායී - ඕලොකේසු තථාගතං
අහං තාරයිස්සාමි - රාහු මුඛෙ ව චන්දිම

“සෝපාක, මෙහි එන්න බිය වන්නට එපා. තථාගතයන් වහන්සේ දෙස බලන්න. රාහු මුඛයෙන් මුදවාගත් චන්ද්‍රයා මෙන් මම ඔබ ව මුදවා ගන්නෙමි.

සුනීත ළදරුවාගේ කුලය,රැකියාව යනාදී සියල්ල නීච යැයි සම්මත වූවන් ය.

නීචේ කුලම්හි ජාතෝහං
දළිද්දො අප්පභොජනො
හීනකම්මං මමං ආසි
අහොසි පුප්ඵඡඩ්ඪකො

එහෙත් බුදුරදුන්ට ඔහුගේ රැකියාව, කුලය හෝ සමාජ තත්ත්වය වැදගත් නොවීය. ඔහු ද සසුනට ඇතුළත් කොට උතුම් මාර්ග ඵලාවබෝධය වෙත යොමු කළහ.

බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි පුංචි රාහුල තෙරුන්ගේ කුටියට වැඩම කොට ධර්ම සාකච්ඡා පැවැත්වූ ආකාරය චුල්ලරාහුලෝවාද, මහා රාහුලෝවාද සූත්‍රයන්හි ප්‍රකට වෙයි. බුදුරදුන් තමන් වහන්සේට රස මිහිරි දැයක් ලැබුණු විට “මෙය කුමාර කාශ්‍යපට දෙන්නැ”යි හිමිනමක් අත යවන සිරිතක් තිබුණහ. දිනක් ජේතවනාරමයේ වැඩ සිටි බුදුහිමියන් වෙත තම සත් හැවිරිදි පුතා සමඟ පැමිණි සිටුවරයකු

“දියුණුවේ දොරටු මොනවා දැයි පුතා මගෙන් විමසන්නේ ය. එය මට ද පැනයකි. ඒ නිසා ඔබ වහන්සේගෙන් පිළිතුරු පතා පැමිණියෙමි” යි පැවසීය.

එහි දී දියුණුවේ දොරටු ඇතුළත් මේ ගාථාව දේශනා කළ සේක.

ආරෝග්‍ය මිච්ඡෙ පරමංච ලාභං
සීලංච වුද්ධානුමතං සුතංච
ධම්මානුවන්තීච අලීනතාච
අත්ථස්සද්වාරා පමුඛො ජලෙතෙ

(අත්ථස්සද්වාර ජාතකය)

නීරෝගි බව, ආචාරශීලී බව, වැඩිහිටියන්ගේ උපදෙස් ලැබීම, හොඳ ඉගෙනීමක් තිබීම, දැහැමි ව ජීවත්වීම, අලසකමින් තොර වීම. යනුවෙන් වදාළහ. මේ සියලු අයිතිවාසිකම් නූතන ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ඇතුළත් වේ.

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දී ද හොඳ දරුවකු තුළ තිබිය යුතු ලක්ෂණ පෙන්වා දී ඇත.

ඕවාදකාරී හත පෝසී
කුලවංසං අභාපයං
සද්ධො සීලේන සම්පන්නෝ
පුත්තෝ හෝති පසංසො

මවුපියන්ගේ අවවාද පරිදි ක්‍රියා කිරීම, තමා පෝෂණය කළ මවුපියන් පෝෂණය කිරීම, කුල පරම්පරාව හානියට පත් නොකිරීම, ශ්‍රද්ධාව ඇති බව, සිල්වත් බව

මෙවැනි ගුණයන්ගෙන් පිරිපුන් ගුණගරුක එවැනි දරුවන් ප්‍රශංසාව මෙන් ම දියුණුව ද ලබයි. මහණ උපසම්පදා කිරීමේ දී ද දරුවන් කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කොට ඇත.

“මහණෙනි, පසළොස් වයසට අඩු දරුවන් පැවිදි නොකළ යුතු ය. යමෙක් පැවිදි කරයි ද, ඔහුට දුක්කටාප්තිය වෙයි.”

“මහණෙනි, කවුඩකු එළවා දැමීමට හැකි, පසළොස් වයසට අඩු වූ ද, කුලදරුවන් මහණ කිරීමට නියම කරමි.”

“මහණෙනි, දෙමාපියන් විසින් නො අනුදක්නා ලදුව පුත්‍රයෙක් පැවිදි කරයි ද, ඔහුට දුක්කටාප්තිය වෙයි.”

“මහණෙනි, ව්‍යක්ත වූ, ප්‍රතිබල භික්ෂුවක් විසින් සාමණේරයන් දෙදෙනකුට හෝ යම් තරමකට අවවාද , අනුශාසනා දිය හැකි ද? ඒ තරම් තැනීමට අවසර දෙමි.”

“මහණෙනි, දැන දැන විසි වයසින් අඩු පුද්ගලයන් උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසම්පදා කරයි නම්, කරුණු අනුව ක්‍රියා කළ යුතු ය.”

මේ ආකරයට දරුවන් සම්බන්ධ මහාවග්ග පාලියෙහි, මහාඛන්ධකයේ එන තොරතුරු කෙටියෙන් සඳහන් කළ හැකි ය.

වර්තමාන ලෝකයේ මහත් උද්වේගයෙන් සාකච්ඡා කරනු ලබන්නේ මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් ගැන පමණකි. තමාගෙන් ඉටු විය යුතු යුතුකම්, සේවාවන් කෙරෙහි අවධානය ඉතා අල්ප ය. එහෙත් බුදුදහම එයින් බැහැර ව ඇත. බුදුරජාණන් වහන්සේ අගේ කොට වදාළේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බවයි. එම නිසා ප්‍රථමයෙන් උන්වහන්සේ ආදර්ශ වූ හ. තමන් වහන්සේගෙන් ලෝකයට ම ඉටුවිය යුතු යුතුකම මැනවින් ඉටු කළහ. එම නිසා ඒ දහම, උන්වහන්සේ අප හදවත් තුළ සදාකල්හි ම සමාධිගත ව වැඩ වෙසෙති.

එසේනම් අයිතිවාසිකම පසෙක ලා යුතුකම මැනවින් ඉටුකිරීමට අප වෙහෙස ගනිමු. එවිට අයිතිවාසිකම ඉබේට ම ඉටු වනු ඇත.

ඒ ඒ පුද්ගල ප්‍රමාණය අනුව ඔවුන්ගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම් මැනවින් හඳුනාගෙන ඉටු කිරීම සමාජයට සුවිශාල සේවාවකි. එසේ නොකරන්නා සමාජයට ම කරදරයකි. පිළිලයකි. සමාජයෙන් කොන් වූවෙකි. එම නිසා තම යුතුකම් මැනවින් ඉටු කිරීම තම අයිතිවාසිකම සුරක්ෂිත වීමේ හොඳම මාවතයි.

විශේෂයෙන් අප දරුවන් වශයෙන් මව්පියන් කෙරෙහි සැබෑ ලෙස ම ආදරය, සෙනෙහස දැක්විය යුතු ය. එය දියුණුවට කරුණකි. එසේ නොකිරීම පිරිහීමට මූල හේතුවකි. වර්තමානයේ ඇතැම් මව්පියන් දරුවන්ගෙන් සැලකිලි, සත්කාර, සම්මාන ලබා ගැනීමට නුසුදුසු තත්ත්වයේ සිටින බව ඇතැම් දරුවන්ගේ ප්‍රකාශ මඟින් ප්‍රකට වන්නකි. එහෙත් ඒවා අප සිතෙහි තැන්පත් කොට මව්පියන් කෙරෙහි ද්වේශ සහගත ව ක්‍රියා කිරීම මිනිස්කමට නිගා කිරීමකි.

ඇතැම් අවස්ථාවල තිරිසන්ගත සතුන් පවා මව්පියන් කෙරෙහි ළෙන්ගතුව ක්‍රියා කරන බව නොරහසකි. අප ද ඒවා හඳුනාගෙන, වටහා ගෙන මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් හා සමඟ ආදරයෙන්, සෙනෙහසින්, අවබෝධයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් ය. එවැනි උතුම් මිනිසුන්ගෙන් පිරීගිය සමාජය ද උතුම් ය. ඒ උතුම් සමාජයක අරුණාලෝකය අද අද ම බිහිවේවා'යි අපගේ ප්‍රාර්ථනාවයි.