කිත්පැසසුම්වලට වඩා වටින
සිතේ සතුට අත්විඳින්න
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
ලංකා ද්වීපයේ අනුරාධපුර යුගයේ අනුරාධපුර අගනගරයට දකුණු පැත්තෙන් තිබුණා ‘විල්ගම‘
කියලා ගමක්. පවුල් විශාල සංඛ්‍යාවක් මේ ගමේ ජීවත් වුණා.
ඒ අතර අලුත විවාහ වුණු අඹු - සැමි යුවළක් ද හිටියා. සැමියා තමන්ගේ බිරිය පෝෂණය කළේ
දඩයම් කරලා. එහෙමත් නැත්නම් වන පලතුරු, මී පැණි වෙළෙදාම් කරලා. මේ හැම කටයුත්තකට ම
ගියේ ‘රියවාන’ කියන මහා කැලෑවට.
රාත්‍රියේ ගස්වැල්වලට වැටුණු පිනි හිඳුණහම මී, බඹර, දඬුවැල් බෑ ආදී පැණි හොයන්න
ගියා. දඩයම් කරන්න පාන්දරින් ම පිටත් වුණා. සමහර දවසක දඩයමටත්, පැණි හොයන්නත්, වන
පලතුරු හොයන්නත් අවශ්‍ය කරන උපකරණ ගෙන පිටත් වුණා. එසේ පිටත් වූ දිනක උදේ සිට හවස්
වනතුරු මහන්සි වුවත් දඩයමක් හෝ මී පැණි වදයක් හෝ දඬුවැල් බෑ වදයක් හෝ හොයාගන්න
පුළුවන් වුණේ නැහැ.
දිනක් ඔහු දුටුවා ඉදුණු අඹ ගෙඩි පිරුණු මහා ගහක්. අමාරුවෙන් ගහේ මුදුනට නැඟලා
ඇතිතරම් අඹ බිමට දැම්මා. එයින් නතර වුණේ නැහැ. මන්දක් ගෙනගොස් ගහේ ඉදුණු අඹ ගෙඩි
මැදි කර දැම්මා. ඊට පස්සේ හෙමින් අඹ ගහෙන් බැහැලා බිමට දැම්ම අඹත් ගෙන ගෙදර යන්න
ගියා.
පහුවෙනිදා මන්දට අහුවෙලා සිටි සතුන් බලන්න කැලයට ගියා. එවිට දකින්න ලැබුණා මහ
වඳුරෙක් මලපුඩුවට අහුවෙලා ඉන්නවා.
මාංස ලෝභයෙන් සතුටක් ඇති වෙලා, දුන්න ගෙන දුනුදිය පොළලා අර වඳුරාට විද්දා. උගේ
ඇඟෙන් ලේ විසිවෙමින් ඌ ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. ඔහු හිතුවා ගහ උඩට
නැඟලා ඌ පණ පිටින් ම අල්ලාගෙන බිමට රැගෙන එන්න. ගහට ගොඩවෙලා මලපුඩුව අටවලා තිබුණූ
අත්තට ළං වෙනවාත් එක්කම අත ලිස්සලා ගිහින් බිමට වැටෙන්න ගියා. මේ වෙලාවේ අර වඳුරා
කල්පනා කරනවා
“මං ජීවත් වෙලා සිටිද්දී මොහුට මිය යන්න දෙන්න හොඳ නැහැ. මොහු බේරා ගන්න ඕන’ යි
හිතලා තමන්ගේ දෑත ම යොදලා ඔහුගේ හිසකෙස්වලින් ඇදලා ගෙන, අත්තක් අල්ලා ගන්නට සහාය
දුන්නා. බියටත්, වෙහෙසටත් පත්වුණු මේ පුරුෂයා ගහේ කඳ පිට ටිකක් ඇලවෙලා වෙහෙස දුරු
කර ගත්තා. වඳුරාගේ තත්ත්වය නම් එන්න එන්නම තවත් දුක්ඛිත වෙලයි තිබුණේ. හොඳට ම
දුර්වල වෙලා අර මිනිහා දිහා බලාගෙන ඉන්නවා. කයට ශක්තිය ලැබුණුූ මේ අසත්පුරුෂයා
හිතක්, පපුවක් නැතිව තමන්ට පිහිට වුණු අර වඳුරා මරා මස් කර ගෙන ගෙදර ගෙන ගියා.
තමන්ට මහ වඳුරෙක් අහුවුණු බවත්, තමා ගහෙන් වැටෙන්න ගියවිට ඌ පිහිටවූ බවත් තරුණ
බිරියට කියා හිටියා. ඇය බොහෝ ප්‍රඥාවන්ත, ධාර්මික තැනැත්තියක්. ඇය සැමියාගේ
අකෘතඥකමට ගර්හා කළා. නොසෑහෙන්න දොස් පැවරුවා. එයින් නතර නොවුණු ඇය, සැමියා ළඟ
තියාගෙන උපදෙස් දෙන්න පටන් ගත්තා.
මා ජීවත් කරවන්නත්, නුඹේ ජීවිතය රැක ගන්නත් දඩයමේ ගියා. පැණි වර්ග, පලතුරු වර්ග
හොයාගෙන වෙළෙඳාම් කරලා අපි දෙන්නා ජීවත් වුණා. ජීවත් වෙන්න එහෙම කළත් දඩයමට මම එදත්
විරුද්ධයි. අදත් විරුද්ධයි. ඒත් මේ කරපු වැඩේ නම් හොඳ එකක් නෙවෙයි.
මිත්‍රද්‍රෝහීකමක් මේ කරලා තියෙන්නේ. තමන්ට පිහිට වුණු ඒ සතා බේරා ගන්න එක තමයි
නුඹට කරන්න තිබුණේ. මේ තරම් අකෘතඥ මිනිහෙක් එක්ක මම තවත් පවුල් ජීවිතයක් ගතකරන්නේ
නැහැ. අදම මම මේ ගෙදරින් යනවා. හැබැයි මෙන්න මේ ටිකත් අහගන්න. තවත් මේ වගේ අකෘතඥ
වැඩ කරන්න හදන්න එපා. එහෙම කරන මිනිසුන්ට මෙලොවත්, මේ ආත්මයෙන් පසුවත් දුක්ඛිත
තත්ත්වයන්ට ම තමයි මුහුණපාන්න සිදු වුණේ. ඔය වගේ අසත්පුරුෂයන්ට උපදින හැම ආත්මයක ම
මගේ ය, මම ය කියා අයිතිය කියන්න පුළුවන් ගෙයක් දොරක් හදාගන්න ලැබෙන්නේ නැහැ. බඩකට
පිරෙන්න වතුර පොදක් හෝ කෑම ටිකක් හෝ ලැබෙන්නේ නැහැ.
අම්මා, තාත්තා දිහාට ගියා නම් බඩකට පිරෙන්න කන්න පුළුවන් කියලා සිතුවත් ඒ අයත් ඔය
වගේ වැඩ කරන අය එළවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි උමං බිඳීන, මංපහරන, මිනී මරන ආදී
චෝදනාවලට නිකරුණේ වැරදිකරු බවට පත්වෙනවා. රජවරුන්ගෙන්, අලි, කොටි, වලසුන්ගෙන්,
සොරුන්ගෙන්, ජලයෙන්, ගින්නෙන් හැමදා ම භයක්මයි ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අත් පා,
කන්, නාසා හිස් සිඳීම්වලට ලක්වෙනවා. කායික සැපයක් තබා මානසික සැපයක්වත් සිහිනෙන්වත්
ලැබෙන්නේ නැහැ.
මට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන්නත් එපා.
සමාජයේ හැම කෙනාම නින්දා කරනවා, අපහාස කරනවා, දොස් කියනවා. මේ හැම එකකින් ම
අපකීර්තියක් ම යි ලැබෙන්නේ. අගුණයක් ම යි කියන්නේ. චණ්ඩාලයෙක් දැක්කා වගේ.
පේ‍්‍රතයෙක් දැක්කා වගේ, පණුවෝ පිරුණූ ඉඳුල් කන සතෙක් දැක්කා වගේ, හිසෙහි පණුවන්
පිරුණු බල්ලෙක් දැක්කා වගේ, හැම කෙනාම පිළිකුල් කරනවා. නින්දා කරනවා.
එයින් නතර වෙන්නේ නෑ. මියගිහින් නිරයේ, පේ‍්‍රත ලෝකයේ, අසුර නිකායේ ඉපදිලා අනන්ත
දුක් විඳිනවා. මේ කිසිවක් අර සත්පුරුෂ සතා මරන කොට මතක් වුණේ නැද්ද? ඔබට මගෙන්
කිසිදු සමාවක් හෝ උදව්වක් හෝ ආයෙත් ලැබෙන්නේ නෑ. අද ඉඳලා මේ විපාක සිහිකරලාවත්
අකෘතඥ වැඩ කරන්න හදන්න එපා. හොඳින් ජීවත් වෙන්න. මම ගෙදරින් පිට වී යනවා’යි ඒ
පින්වත් සැදැහැති බිරිය ගෙදරින් නික්මිලා භික්ෂුණී ආරාමයකට ගිහින් පැවිද්ද ලබා
ගත්තා. වීර්යවඩලා විදර්ශනා වඩලා උතුම් අරහත් බවට පත්වුණා.
අර වඳුරු ඝාතකයා දවස් ගණනාවක් නිවෙසේ වැතිරගෙන කල්පනා කළා. බිරිය කියපු හැම දෙයක් ම
හොඳින් වටහා ගත්තා. ලජ්ජාවටත්, බියටත්, සංවේගයටත් පත්වුණා. ඔහුත් තීරණය කළා මහණ
වෙන්න. සංඝයා වෙතට ගිහින් පැවිද්ද ඉල්ලා සිටියා. ධර්මයත්, විනයත් ඉගෙන ගෙන
පැවිද්දත්, උපසම්පදාවත් ගත්තා. බිරිය වගේම වීර්යයෙන් විදර්ශනා වඩලා උතුම් රහත්ඵලය
ලබා ගත්තා’ යැයි කතා පුවතක් සද්ධර්මාලංකාරයේ වානර වස්තුවේ සඳහන් වෙනවා.
පින්වතුනි, අපට උදව් කළ අය අපේ ජීවිතයේ කොච්චර නම් සිටිනවා ද? අවුරුද්දකට සැරයක්වත්
ඒ අය අපට සිහිපත් වෙලා කතාබහවත් කරනවා ද කියා කල්පනා කර බලන්න. සමහරවිට ඔවුන් කළ
උදව්වලින් අපි අද ඉන්න තත්ත්වයට පත්වෙලා සිටින්න පුළුවන්. වචනයකින් හෝ කෙනෙක් උදව්
කරනවා නම් ඒවා කවදාවත් අමතක කරන්න හොඳ නෑ. ඒක මනුෂ්‍යයකු ලෙස ඉපදුණු අපට ම කර ගන්නා
නපුරක්.
කෘතගුණ සැලකීමෙන් ලැබෙන කීර්ති ප්‍රශංසාවලට වඩා වටිනවා තමාගේ සිතේ උපදින සතුට. එයම
ඇති සැනසෙන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවස්ථා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ
කෘතගුණ සැලකීමේ ගුණයයි. වැඩිහිටියන් මේ ගුණය පුරුදු පුහුණු කරනවා නම් අනාගත පරපුරත්
එයට හැඩගැහෙනවා. එතකොටයි ලස්සන මිනිසුන් පිරුණු ලෝකයක් වගේ ම සමාජයක් දකින්න
පුළුවන්කම ලැබෙන්නේ. |