Print this Article


පමා වෙන්න එපා පාපී සිතිවිලි දුරින් ම දුරු කරන්න

පමා වෙන්න එපා පාපී සිතිවිලි දුරින් ම දුරු කරන්න

අපගේ තථාගතයන් වහන්සේ අවස්ථා තුනක දී ලංකා ද්වීපයට වැඩම කර මේ භූමිය සම්බුදු පහසින් පිවිතුරු කළ සේක.

එකරුණින් ම ලංකාභූමිය පූජනීය යි. මෙවැනි පුණ්‍ය භූමියක ජන්මලාභය ලබා පින් කුසල් රැස් කර ගන්නේ නැත්නම් එය කොතරම් අවාසනාවක් ද? අපට ජීවත්වීමට ඇත්තේ ඉතා කෙටි කාලයක්. ඒ කෙටි කාලයේත් බොහෝ දෙනා දිගු කාලයක් ගෙවා අවසන්. ඒ කෙටි කාලයේ දී අප ධර්මාවබෝධය සඳහා වීර්යය කළ යුතු නොවේ ද?

මේ මිනිස් ලොව අපි, එදිනෙදා ජීවිතයේ නොයෙක් නොයෙක් දේ වෙනුවෙන් වෙලාව වෙන්කර ගන්නවා. පව් කරමින් සිටියත්, පින් කරමින් සිටියත්, කුසල් වඩමින් සිටියත්, අකුසල් වඩමින් සිටියත් කාලය ගතවෙනවා. යහපතේ යෙදෙමින් සිටියත්, අයහපතේ යෙදෙමින් සිටියත් කාලය ගත වෙනවා. කාලය වේගයෙන් ගෙවීයාම නවතා දැමිය හැකි වන්නේ කාට ද?

අපගේ වයස ගෙවෙනවා කියන්නේ මිනිස් ලොව ජීවත්වීමට තිබෙන කාලය, ආයුෂ අඩු වෙනවා. අවුරුදු 20,30 උපන්දිනය ලැබූ විට එය සමරනවා. එහෙත් ඒ සෑම වසරකින් ම ජීවත්වීමට තිබූ කාලය අහිමි කර තිබෙනවා.

ධර්මයේ සඳහන් වෙනවා හරියට ආයුෂ ගෙවී යන්නේ සිඳීගෙන යන දොලක ජලය වගේ කියලා. අප කාගේත් සැමරූ උපන්දින ගණන ගැනලා කියන්න පුළුවන්. එහෙත් ජීවත්වීමට තිබෙන කාලය අප දන්නේ නැහැ. අවාසනාවන්ත, ශෝචනීය ම කාරණය වන්නේ දන්නේ නැති බවවත් නො දන්නාකමයි. අපගේ ඥාතීන්, හිතමිතුරන්, මව්පියන් දැල්වෙන පහනක් නිවී ගියාක් මෙන් මරණය වෙත යනවා අප දුටුවා. එහෙත් මට හෙට මෙහෙම වේවී කියා අප සිතන්නේ නැහැ.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29දී එක මහල්ලෙක් දුටුවා. උන්වහන්සේගේ හදවතට දැනුන දේ, දිනපතා වයසට ගිය අය දුටුවත් අපට දැනෙන්නේ නැහැ.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ එක රෝගියයි දුටුවේ. අප දුටු රෝගින් ගණන ගැන කියන්නට බැරි තරම්. එහෙත් එක් රෝගියෙක් දැක උන්වහන්සේට දැනුන හැඟීම අපගේ හදවතට දැනෙන්නේ නැහැ. සිදුහත් බෝධිසත්වයන් වහන්සේ දුටුවේ එක මළකඳයි. එහෙත් අප නිරන්තරයෙන් මිය ගිය උදවිය දකිනවා. එහෙත් උන්වහන්සේට පිහිටි ඥානය අපට ඇති වුණේ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයාට දැනෙන්න ඕන තමාගේ හදවත ගැන. අප අන්‍යොන්‍ය සබඳතා හදාගෙන සිටියාට, එක එක වෘත්තීය මට්ටම්වල සිටියාට, විවිධ ජන සමාජ නියෝජනය කළාට අප සියලු ම දෙනා මේ සසරේ යන පුරුක්. අප එකිනෙකාගේ ආයු ප්‍රමාණය විවිධාකාර යි. අප එකිනෙකා මරණයට පත්වන ආකාරයත් විවිධාකාර යි. ජීවත්වන විදිහත් විවිධාකාර යි.

එනිසා ජීවිතය ගැන බුද්ධිමත් ව සිතීමට අප ඥානවන්ත වෙන්න ඕන. බණපදයක් ඇසුව පමණින් එය සිතේ රඳවා ගන්නවා ද කියන එක තම තම ණැන පමණින් සිදුවන දෙයක්. ඒ බණ පදයෙන් තමාගේ ජීවිතය හැඩගස්වා ගන්නවා ද කියන එකත් තම තමාගේ තීරණයක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා, “මහණෙනි, නුඹලාමයි වීර්යය කළ යුත්තේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ හරි පාර පෙන්වා දෙනවා පමණයි.”

තමාගේ ජීවිතයට පිහිට පිණිස පවතින්නේ ශ්‍රද්ධාව පමණයි. තමන් මිය යන මොහොතේ වැඩූ ශ්‍රද්ධා සිතින් මිය යන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද?

ශ්‍රද්ධාවන්තයා ජීවිතය ඇතුළේ දෛනික ව තෙරුවන් උදෙසා දිවි පූජා කිරීම පුරුද්දක් ලෙස කරනවා. අපි උපයන ධනය, කරන රැකියාව, ජීවත්වන ගේ දොර, ලැබූ උපාධිය මිය යන විට දමා යා යුතු බව විශේෂයෙන් කිව යුත්තක් නොවේ. ඒක අපට පෙනෙනවා, දැනෙනවා. අප ආදරය කරන, සෙනෙහසින් රැක ගත් ඥාතීන් මරණාසන්න වූ විට අප සිතනවා ඔවුන් බේරාගන්න ඕන කියලා. එසේ අප සිතද්දීත්, පැතුමක් පමණක් අපට ඉතිරි කර මරණය විසින් ඔවුන් ව රැගෙන යනවා. එනිසා භෞතික දෙයකට වඩා දෙයක් අප ගොඩනැඟිය යුතු ම වෙනවා.

අප සිතනවා දැන් වැඩපළ කර ගෙන ඉන්නවා. මරණාසන්න මොහොතේ දී චුති සිත හදාගන්නවා කියලා. එහෙත් ඒක මරණාසන්න මොහොතේ දී කළ හැකි දෙයක් නොවේ. පැතුම් සිත් තුළ කෙතරම් තිබුණත් යථාර්ථය එය වන්නේ නැහැ. මැරෙන මොහොතේ දරුවෝ මගේ ළඟ ම හිඳියි. මට ධර්මය කියයි. හාමුදුරුවෝ වැඩලා පිරිත් කියයි කියලා සිතනවා. ප්‍රාර්ථනා කරනවා. ඒ සියල්ල බොළඳ ප්‍රාර්ථනා. ඒ ප්‍රාර්ථනා සිතේ කොතනකවත් තබාගත යුතු දේ නොවේ.

අප සිතන චුති සිත කවදා, කොතැනක අප වෙත ඒවි ද කියා අප කවුරුත් දන්නේ නැහැ. අපි සිතනවා මේ එන සිතිවිලි අතරේ එක හොඳ සිතිවිල්ලක් ඒවි. ඒ තමා චුති සිත. ඒ සිතිවිල්ල ආ ගමන් මම මරණයට පත්වේවි කියා සිතීම මෝඩකමක්. මරණ මොහොතේ එන සිතිවිල්ල ධර්මයට අනුව ගළපා ගන්නවා, පිරිසුදු කරනවා කියා දෙයක් නෑ. හොඳ වේවා, නරක වේවා සිතිවිල්ලක් සමඟ ම අපට ලෝකයට සමුදෙන්න වෙනවා. ඒ නිසා ඒ වෙලාවට චුති සිත හදාගන්නවා කියා සිතීමත් මෝඩකමක්. හදාගත යුත්තේ දැන් තිබෙන සිතයි. වර්තමානයේ තිබෙන සිත ලස්සනට හැදුවා නම්, මේ සිතට යම් වටිනාකමක් දුන්නා නම් සිත ඇතුළේ යහපත් උතුම් දේ පමණක් ගොඩනඟා ගත්තා නම් ඒ සිතින් ම තමා චුති සිත උපදින්නේ. ඒ සිත ලස්සන නම් චුති සිතත් ලස්සන වෙනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ දී වදාළා “මහණෙනි, යහපත කල් දමන්නට එපා. සිත පවින් ගලවා ගන්න පමාවෙන්න එපා. දැන් දැන්ම පින්කර ගන්න. සිතට පවේ ඇලෙන්න දෙන්න එපා.” කියා. මේ ගාථාව ඇතුළේ ජීවිතය ගැන කෙතරම් දේ අපට උගන්වා තිබෙනවා ද?

භෞතික ලෙස අප කෙ තරම් මුදල් ගෙවා උපාධි ලබා ගත්තත්, මිල මුදල් සෙව්වත්, දරුවෝ හැදුවත් අපට ජීවිතේ යම් තැනක දී මඟහැරෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පමණයි ලෝකයාට ජීවිතය ගැන කියා දෙන්නේ. ජීවිතය ලස්සනට හදා ගන්න පුළුවන්කම තිබෙන්නේ බුදුබණ පදයකට සිත යොමන කෙනාට පමණයි.

ධනය බොහෝ ඉපැයූ කෙනකුට කියන්න බැහැ මම ධනවතෙක්. ඒ නිසා මම සුගතියේ යනවා කියලා. බොහෝ උගත්කම් ඇති කෙනකුට කියන්න බැහැ. මම බොහෝ දැන උගත් කෙනක්. ඒ නිසා මම සුගතියේ ඉපදෙනවා කියලා. ඒ කිසිවක් සුගතියේ ඉපදීමට සාධක නොවේ. කරන ලද පින තමා සුගති උපතකට රැකවරණය සඳහා සැකසෙන්නේ. ඒ නිසයි අපගේ අභ්‍යන්තරය ලස්සන විය යුත්තේ.

තමන් තමා දෙස ආපස්සට බලද්දී සතුටු විය හැකි නම් එයයි ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය.

අපගේ සුගතිය මියගිය විට දකින එකක් නොවිය යුතුයි. ජීවත්ව සිටිද්දී ම සුගතියට යන මාවත සකසා ගතහොත් සුගතිය පේනවා. ආපස්සට හැරී බලද්දී මම ලස්සනට ජීවත් වුණා කියලා. අවංකව ම සතුටු වෙන්න පුළුවන් නම් ඔහුට සුගතිය හිමියි. එය පටන් ගත යුත්තේ තෙරුවන් සරණ යාමෙන්.

නිරන්තරයෙන් අප උදෑසන ම අවදි වෙද්දී තෙරුවනට ජීවිතය පූජා කරගෙන ම අවදි වීමට පුරුද්දක් ඇතිකර ගත යුතු වෙනවා. නිදියහනේ දී ම අත්දෙක එකතු කර ගෙන මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා වේවා! ධර්මයට පූජාවේවා! ශ්‍රාවක සංඝරත්නයට පූජාවේවා කියලා තෙරුවනට ජීවිතය පූජා කර ගෙන පටන් ගැනීමට ශ්‍රාවකයාට ශක්තියක් වෙනවා.

එය ජීවිතයට විශාල ආශිර්වාදයක් වේවි. එදා දවසේ තමාගේ ජීවිතයට මරණය ළං වුණොත් තෙරුවනට ජීවිතය පූජා කළ අයෙක් ලෙස අපට අවසන් සුසුම් පොද හෙළන්නට පුළුවන්කම ලැබේවි.