සිව්දිග ම පැතිර යන සත්පුරුෂ ගුණ සුවඳ
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
“න පුප්ඵගන්ධො පටිවාතමෙති -න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධො පටිවාතමෙති -
සබ්බා දිසං සප්පුරිසො පවා ති.”
“දෑ සමන්, පිච්ච, සේපාලිකා දී මල් සුවඳ උඩු සුළඟට නො හමන්නේ ය. සත්පුරුෂයන්ගේ
සීලාදී ගුණ සුවඳ සියලු දිගින් පැතිර හමයි.
“චන්දනං තගරංවාපි,
උප්පලං අථ වස්සිකී,
එතෙසං ගන්ධජාතානං
සීලගන්ධො අනුත්තරො.”
සුවඳවත් හැම මලකින් හටගන්නා සුවඳට වඩා සත්පුරුෂයන්ගේ සීලා දී ගුණ සුවඳ ඉතා උතුම් ය.
පුප්ප ගන්ධො පටිවාතං න එති.
මල් සුවඳ උඩු සුළඟට නොයයි. ලෝකයා ස්වභාවික සුවඳ මලට ඉතා කැමැත්තෝ ය. සඳුන්, දෑසමන්,
පිච්ච, සේපාලිකා, ඇට්ටේරියා, උපුල් ආදීහු සුවඳවත් පුෂ්පයෝ වෙති. තවත් බොහෝ මල්
පෙනුමෙන් ලස්සන වුවත් සුවඳ නැත. එනමුදු සුවඳවත් මලක වුව ද සුවඳ හමා යන්නේ යටි
සුළඟෙහි ය. උඩු සුළඟට ඒ සුවඳ නොයයි. තව්තිසා දෙව්ලොව පරසතු රුකෙහි හටගන්නා පරසතුමල්
වුව ද යොදුන් සියයක් දුර හමා යන්නේ ද යටි සුළඟට පමණි. උඩු සුළඟට මද තැනෙකුදු
නොහමයි.
චන්දනං තගරමල්ලිකා වාන -
චන්දන යනු සුවඳ හඳුන් ය. සාරගන්ධ (අරටු සුවඳ) අතුරෙහි මෙය ම ප්‍රධාන වේ. තගර යනු
සුවඳ වර්ගයක් වන තුවරලා ය. සැවැන්දරා - ඉරිවේරියා වැනි සුවඳ පැළෑටි වර්ගයකි.
මල්ලිකා යනු බෝලිද්ද ය. මෙවැනි සුවඳක් වුව ද උඩු සුළඟට නොයන්නේ ය.
සතං ගන්ධො ච පටිවාතං එති -
සතං ච යනු සත්පුරුෂයන්ගේ යි. ගන්ධො ච පටිවාතෙං එතිඞ (එවැන්නහුගේ) සුවඳ උඩු සුළඟට
හමයි යනුයි. සත්පුරුෂයෝ නම් කවරහුද? ප්‍රධාන වශයෙන් සත්පුුරුෂ වනුයේ බුදුවරයෝ ම ය.
තවද පසේබුදු - මහරහතුන් වහන්සේ කෙරෙහි ද සත්පුරුෂ නාමය යෙදීම හැම අතකින් ම නිවැරැදි
ය. මේ උතුමෝ ගුණයෙහි පරම කෙළවරට ගියෝ ය. මේ පරම කෙළවර කවරේද? රාග, ද්වේෂ, මෝහ
නිස්සරණ වශයෙන් ම සංසිඳවාලීම ය. ක්‍රෝධ, බද්ධවෛර, ගුණමැකීම (මක්ඛ) අනුන් ලබන සැප
සම්පත්, ගරු බුහුමන් නොඉවසීම්, මසුරුකම , අනුන් රැවටීම, කපටිකම, තදගතිය අනුන් කළ
දේට වඩා වැඩියෙන් කිරීම, තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකීම, මත්වීම, සිහි මුළා
බව (පමාදය) යන සියලු කෙලෙසුන්, දුසිරිත්, සියලු දාහයන් (දැවිලි) සියලු සන්තාපයන්,
සියලු අකුසල, සියලු සංස්කාරයන් සන්සිඳවූ හෙයින්, දමනය කළ හෙයින් - නිවූ හෙයින් - පහ
කළ හෙයින් - නැවත නූපදින්නට කටයුතු කළ හෙයින් මේ උතුමෝ පරම කෙළවරට ගිය සත්පුරුෂයෝ ම
වන්නෝ ය.
මෙතැන් සිට මාර්ගඵල අවබෝධ කළ ආර්ය ශ්‍රාවකයන් හා කල්‍යාණ පෘථග්ජනයන් සත්පුරුෂ
ගණයෙහිලා සලකත්. ඒ කෙසේද? සත්ත්ව හිංසාව පළමු කොට ගත් සියලු පව්කම්වලින් වැළකී
සිටින්නෝ තමා එකී පව්කම්වලින් වැළකී, අනුනුත් ඒ පව්කම්වලින් වළකන්නෝ අනුගාමික
සත්පුරුෂයෝ ය.
තවද ශ්‍රද්ධා - ශීල ගුණයෙන් - පවට ලජ්ජා වී (හිරි), පවට භය වී (ඔත්තප්ප) ධර්ම
ශ්‍රැතයෙන් බහුල වී, සමාධි - පඤ්ඤා යන උතුම් ධනයෙන් පොහොසත්, අන්‍යයාත් මෙකී ගුණ
ඇත්තවුන් කිරීමට වෙහෙස වන්නහු ද සත්පුරුෂයෝ වෙති.
එපමණක් නොව අනුන් පිළිබඳ දොසක් යමෙක් විචාරතත් නො කියන්නේ ද?, අනුන් පිළිබඳ ගුණ වේ
නම් නො විචාරා ම කියන්නේ ද?, තමා පිළිබඳ ගුණ විචාරණ ලදුවත් නො කියන්නේ ද? මේවාත්
සත්පුරුෂ ලක්ෂණ ය. තවද මෙහි “ගන්ධො” පදයේ ආ සුවඳ කවරේ ද? මලක ඇති සුවඳ (පුෂ්පගන්ධ),
මුලක වූ සුවඳ (මූලගන්ධ), අරටුවක වූ සුවඳ (සාරගන්ධ), වුව ද මේවා ගන්ධ නොවේ. බුද්ධාදී
උතුමන්ගේ ශීලාදී ගුණ ධර්මයන් නිසා පැන නඟින්නා වූ කීර්තිගන්ධය ම ගන්ධ වේ. ඒ නම්
ශීලගන්ධය යි. සිල් සුවඳට නමෙකි.
සබ්බ දිසා සප්පුරිසො පවාති
මෙවන් සත්පුරුෂයාගේ සුවඳ, කීර්ති නාමය, සියලු දිසාවන්හි පැතිරේ.
චන්දනං නගරං වා අපි උප්පලං
අථ වස්සකී
සුවඳවත් හඳුන් දෑසමන් - පිච්චාදීයෙන් හමන සුළඟට වඩා
එතෙසං ගන්ධ ජාතානං සීලගන්ධො අනුත්තරො - (සත්පුරුෂයන්ගේ) සිල් සුවඳ ම ඉතා උතුම් ය.
සිල් සුවඳ උඩු සුළඟට පවා පැතිරෙන බව 54 ගාථාවෙන් ද, සුවඳ අතුරෙන් සිල් සුවඳ උතුම්
බව 55 ගාථාවෙන් ද දේශනා කළ සේක. මෙම ගාථා දෙකට අදාළ වූ අටුවා කතාව මෙසේ ය.
ධම්මපද අටුවා කතා
ඵල සමාපත්ති විවේකයෙන් සිටි ආනන්ද මහ තෙරුන් වහන්සේ, “සඳුන් ආදී අරටු සුවඳ ද,
ඉරිවේරියා දී මුල් සුවඳ ද, දෑ සමන් ආදී මල් සුවඳ ද, ජනයා අගය කොට සලකති. එහෙත් ඒ
හැම සුවඳක් ම යටි සුළඟට මුත් උඩු සුළඟෙහි හමන්නේ නැත. එසේ මුත් යටි සුළඟටත්, උඩු
සුළඟටත් හමන දෙයක් ද තිබිය යුතු ම යැයි සිතන්නට වූහ.
මේ කරුණ බුදුරජාණන් වහන්සේගෙන් ම විමසා දැන ගත යුතු යැයි තීරණය කොට මේ ගැන විමසීමට
භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ “ස්වාමිනී, හරසුවඳ, මුල් සුවඳ, මල් සුවඳ යන තුන්
සුවඳ යටි සුළඟෙහි මිසක් උඩු සුළඟෙහි නො හමයි. ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, යටි
සුළඟෙහි මෙන් ම උඩු සුළඟෙහි ද හමා යන සුවඳක් තිබේ. දැ’යි විචාළහ.
“ඔව් ආනන්ද තිබේ.”
“ස්වාමීනි, මට එය පහදා දෙනු මැනවැ”යි ඉල්ලා සිටි අවස්ථාවේ දී “ආනන්ද, ගමක හෝ
නියම්ගමක හෝ වසන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන්, දහම්, සඟුන් සරණ ගියේ, පස්
පවින් වැළකී සිල්වත් වූයේ, දසපින් ක්‍රියා කරත් ද?, යහපත් ගතිගුණෙන් පිරෙත් ද?,
මසුරු මල හැර මුදාලූ ත්‍යාග සිතින්, සේදූ පිරිසුදු අත් ඇත්තා සේ දීමෙහි පුරුදු වූයේ
ද?, තමන්ගේ කොටස පවා බෙදා වැළඳීමෙහි ඇලී වෙසෙත් ද, එබඳු ස්ත්‍රී පුරුෂයන්ගේ උසස්
ගුණ දසදෙස වසන මහණ බමුණෝ සතුටින් කියති. දෙවියෝත් කියති. ඒ හෙයින් ඒ ගුණ සුවඳ (යටි
සුළඟට පමණක් නොව) දස දිගමැ හමන්නේ ය. නිතර හමන්නේය”යි ඉහත ගාථා දෙකින් ධර්ම දේශනා
කළ සේක. එය ඇසූ බොහෝ දෙනා සෝවන් ඵලයට පැමිණියෝ ය.
ආනන්ද තෙරුන් වහන්සේගේ ප්‍රශ්න විචාරීම් කතා වස්තුව |