සුවපත් සමාජයක් උදෙසා
සම්මා වාචාහි උපයෝගීතාව
කැලණිය
නාගානන්ද බෞද්ධ ආයතනයේ
මොරහෙල දමිතනන්දා
මෙහෙණින් වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රාය වූයේ ලෝක සත්ත්වයා සංසාර දුකින් එතෙර කිරීම යි. ඒ
සඳහා තථාගතයන් වහන්සේ දේශනා කරන මූලික ඉගැන්වීම් ලෙස චතුරාර්ය සත්‍යය,
පටිච්චසමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය පෙන්වා දිය හැකි ය.
බුදුරදුන්ගේ මූලික ඉගැන්වීමක් ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දිය හැකි ය.
තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය යි. මෙය සූත්‍ර
පිටකයේ සච්ච සංයුක්තයේ ඇතුළත් වේ. එනම්,
“ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා, යෝචායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ
හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ. යෝ චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ
අනරියෝ අනත්ථසංහිතෝ” (ධම්මචක්කප්පවත්තන සූත්‍රය)
පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙකකි. හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන් ජනයන්
විසින් ඇසුරු කරන, ආර්යයන් ප්‍රතික්ෂේප කරන කාමසුඛල්ලිකානුයෝගය, දුක් වූ, අනාර්ය
වූ, අනර්ථය පිණිස පවතින්නා වූ, අත්තකිලමථානු යෝගය යන අන්ත දෙක ය.
මහණෙනි, මධ්‍යම ප්‍රතිපදාව නම් කවරේ ද? එය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම්,
සම්මා දිට්ඨි - මිච්ඡා දිට්ඨියෙන් වෙන් ව සම්මා දිට්ඨියෙන් දැකීමයි.
සම්මා සංකප්ප - යහපත් සංකල්පනාවන්ගෙන් යුක්ත වීම යි.
සම්මා වාචා - නිවැරැදි වචනය යි.
සම්මා කම්මන්ත - නිවැරැදි දිවි පැවැත්ම යි.
සම්මා ආජීව - වැරැදි ජීවනෝපායෙන් වැළකීමයි.
සම්මා වායාම - යහපත් වෑයමයි.
සම්මා සති - නිවැරැදි සිහියයි.
සම්මා සමාධි - නිවැරැදි සමාධිය යි. (ධම්මචක්කප්පවත්තන සූත්‍රය)
මෙහි තුන්වැනි අංගය වන්නේ සම්මා වාචාව යි. සුවපත් සමාජයක් ගොඩනඟා ගැනීමට නම් සම්මා
වාචා අත්‍යවශ්‍ය වේ.
“මහණෙනි, සම්මා වාචා නම් කවරේද?”
බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, සම්ඵප්පලාපයෙන් වැළකේ ද? මහණෙනි, මේ
සම්මා වාචා නම් වේ. (සච්ච විභංග සූත්‍රය)
මුසාවාදා යනු අන්‍යයන් මුළා කරන වචන ප්‍රකාශ කිරීමයි.
“එකං ධම්මං අතීතස්ස -
මුසාවාදිස්ස ජන්තුනො”
විතිණ්ණ පරලෝකස්ස
නත්ථි පාපං අකාරියං”
“සත්‍ය නමැති ඒකධර්මය අත්හළ, බොරු කියන්නා වූ, පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ,
තැනැත්තාහට නොකළ හැකි පවක් නැත.” යනු එහි තේරුම වේ.
දිනක් බුදුරදුන් පා සෝදා බඳුනෙහි ඉතිරි ව තිබූ ජලය ස්වල්පයක් රාහුල සාමණේරයන්
වහන්සේට පෙන්වා රාහුල ය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණකම ද මෙසේ ම යි” වදාළ
සේක.
එම පැන් බඳුනේ ඇති පැන් ස්වල්පය ද ඉවතලා රාහුල හිමිට පෙන්වා රාහුලයෙනි, බොරු කීමට
ලජ්ජා නැතිවුන්ගේ මහණකම මෙසේම අහක දමන ලද්දක් වේ යැයි වදාළහ.
අනතුරුව තථාගතයන් වහන්සේ නැවත ද බඳුන මුනින් නමා පෙන්වා රාහුල ය, බොරු කීමට ලජ්ජා
නැත්තහුගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක් වේ යැයි වදාළ සේක. ඉක්බිති බුදුන් වහන්සේ
එම බඳුන උඩුකුරු කොට තබා රාහුල ය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණකම හිස් වන්නේ
යැයි දේශනා කළ බව එම සූත්‍රයෙහි සඳහන් වේ. (මජ්ක්‍ධිම නිකාය - අම්බලට්ඨික,
රාහුලෝවාද සූත්‍රය)
මුසාවාදයෙන් වෙන් වන තැනැත්තා, සම්මා වාචා පිණිස පහත ආකාරයේ වචන භාවිත කරයි.
සච්චවාදි - ඇත්ත පමණක් ම කියයි.
සච්ච සද්දෝ - සත්‍යයට සත්‍ය පමණක් ගළපයි.
ථෙතෝ - ස්ථිර වචන කතා කරයි.
පච්චඉකො - විශ්වාසවන්ත, ප්‍රත්‍යක්ෂකථා ම කියයි.
අවිසංවාදතො ලෝකස්ස - ලෝකයාගේ අසමගිය ඇති කරන වචන නො කියයි.
යනුවෙන් යහපත් වචනයේ අගය පෙන්වා දී තිබේ.
පිසුණු වචන යනුවෙන් සඳහන් වනුයේ සමගියෙන් සිටින දෙදෙනකු භේද කරවීම පිණිස කියන්නා වූ
වචන නම් වේ.
“පිය භාවං සුඤ්ඤං කරෝතිති වා පිසුණා”
“සමගිය සුනු විසුණු කරන යන අර්ථයෙන් ද, පි‍්‍රය බව විසුරුවන, ශුන්‍ය කරන අර්ථයෙන්
පිසුණා වාචා නම් වේ.”
මේ අනුව දෙදෙනකු අතර ඇති සමගිය නැති කිරීම සඳහා කියන වචන පිසුණු වචන යි. ඊර්ෂ්‍යාව
මීට ප්‍රත්‍ය වෙයි. අන්‍යයන් තුළ සමගිය දැකීමට අකැමැති, ඔවුන් තුළ ඇති පි‍්‍රයභාවය
ඉවසා සිටිය නොහැකි අය ඔවුන් බිඳවීමට පාවිච්චි කරන අවිය කේළමයි. එය අංග සතරකින්
යුක්ත වෙයි.
භේද කළ යුතු අනෙකකු ඇතිවීමයි. කෙනකු හා කෙනකු බිඳවන අදහස ඇතිවීමයි.
බිඳවනු පිණිස යම් කිසිවක් කීමයි.
ඇසූ කරුණු සතර සම්පූර්ණ වීමෙන් පිසුණ වචනය කර්මය සිදු වේ. (බෞද්ධයාගේ අත්පොත)
කේළමක් කී කල්හි එයින් අනුන් අතර භේදයක් නොවී නම්, එය සාමාන්‍ය කර්මයක් වේ. භේදය වී
නම් කර්ම පථයක් වේ. කේළම් කීම අල්ප සාවද්‍ය සහ මහා සාවාද්‍ය භාවයෙන් යුක්ත වේ.
ලෝකයා සම්මා වාචා පිණිස භාවිත කළ යුතු වචන මොනවාද?
යම් කෙනකු මෙතැනින් අසා මොවුන් බිඳවණු පිණිස එතැන නො කියයි නම්, එතැනින් ද අසා
ඔවුන් බිඳවණු පිණිස මොවුන්ට නො කියයි නම්, සමගියම කැමැති වෙයි. සමගිය ම නන්දනය
කරයි. සමගිය ඇතිවන සතුටු වචන ම භාවිත කරයි. යනුවෙන් දක්වා තිබේ.
අනුන්ගේ සිත් රිදවන්නා වූ වචන පරුසාවාවා නම් වේ. මෙය සම්පූර්ණ වීම සඳහා කරුණු තුනක්
සම්පූර්ණ විය යුතු බව සඳහන් වේ. එනම්, අක්‍රෝෂ කළ යුතු කෙනකු වීම, ක්‍රෝධ සහගත සිත්
ඇතිවීම, අනුන්ගේ සිත් රිදවන වචන, යන මේ අංගයෝ ය. පරුෂ වචනය ද දෙයාකාර වේ.
අල්ප සාවද්‍ය - ශීලයෙන්, ගුණයෙන් හීන අයකුට බැණ වැදීම අල්ප සාවද්‍ය වේ.
මහා සාවද්‍ය - ශීලයෙන්, ගුණයෙන් යුතු උතුමන් හට පරුෂ වචනයෙන් බැණ වැදීම මහා සාවද්‍ය
වේ.
සැර වචන ප්‍රහාණය කොට, සැරපරුෂ වචන නො කීමෙන් වෙන් වීම යහපත් වචන ප්‍රකාශ කිරීම වේ.
පරුෂාවාචාවෙන් මිදෙන ලෝකයා පරුෂ වචන ප්‍රකාශ නොකිරීම පිණිස භාවිත කළ යුතු වචන මොනවා
ද?
නේලා - යහපත් වචන,
කර්ණ සුඛා - කනට සැප ගෙන දෙන පි‍්‍රයමනාප වචන, ප්‍රේමනීයා - ප්‍රේමාන්විත ආදරණීය
වචන,
හෘදයාංගමා - හදවත ඇදගන්නාසුලු වචන,
බහුජන කන්තා බහුජන මනාපා - බොහෝ ජනයාගේ කාන්තිය ඇති කරන, බොහෝ ජනයාගේ කැමැත්ත ඇති
කරන වචන භාවිත කළ යුතු ය.
සම්පප්ඵලාපා - ප්‍රලාප යනු හිස් වචන ලෙස ගත හැකි ය. නමුත් දස අකුසලය තුළ ඇත්තේ
සම්පප්ඵලාප යනුවෙනි. එහි වෙනත් අරුතක් තිබිය යුතු ය. රාග, ද්වේශ, මෝහයෙන් යුතු ව
ලෝකයාට බැඳීම උදෙසා යමක් කතා කරයි ද එය සම්පප්ඵලාපා වේ.
බුදුරදුන් තම ශ්‍රාවකයන් නිකරුණේ කල් ගෙවනවාට කැමැති නොවූහ. උන්වහන්සේ භික්ෂූන්
වහන්සේ පිරිසක් වැඩ සිටින තැනකට වැඩම කළ විට විමසනුයේ මහණෙනි, මා ඒමට පෙර නුඹලා
කුමක් කතා කරමින් සිටියේ දැයි යන්නයි. එවැනි අවස්ථාවක් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි
මෙසේ සඳහන් වේ.
“කාය නුත්ථ භික්ඛවේ, එතරහි කථාය සන්නිසින්නා කාචප වෝ අන්තරා කථා විප්පකතාති”
“මහණෙනි, දැන් මා වඩින්නට පළමු ව කිනම් කථාවකින් යුක්ත ව රැස්ව හුන්නාහු ද? කිනම්
අතුරු කථාවක් කොට අඩාළ වී දැයි විමසූ සේක.”
භික්ෂු පිරිස පිළිවදන් දෙනුයේ දැහැමි කථාවක සිටි බවයි. මෙම අච්ඡරියබ්භූත සූත්‍ර
දේශනාවේ දී නම් සඳහන් වනුයේ බුදුරදුන්ගේ අච්ඡරිය අබ්භූත ධර්ම පිළිබඳ ව බව ගම්‍යමාන
වේ. ඒ අනුව බුදුරදුන් ශ්‍රාවකයින්ට දේශනා කරන්නේ දැහැමි කථාවක් නොවේ නම් ආරිය
තුන්හිභාවයෙන් යුතු ව වාසය කරන ලෙස ය.
ඉහත කරුණු අනුව ගම්‍ය වන්නේ තමා කරන කියන සෑම කටයුත්තක් ම මනා අවබෝධයෙන්, සැමට ම
යහපතක් සිදුවන ලෙස කිරීම තුළින් සුවපත් සමාජයක් ගොඩනැඟෙන බවයි. |