Print this Article


සෞභාග්‍යයත් ලෝක සාමයත් උදෙසා චීනයෙහි ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ

සෞභාග්‍යයත් ලෝක සාමයත් උදෙසා චීනයෙහි ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ලෝකයේ විශාලතම හිටිපිළිම වහන්සේ ලෙස සැලකෙන "තියන් තිං" ප්‍රතිමා වහන්සේ පිහිටා ඇත්තේ චීනයෙහි විශේෂ පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන හොංකොං පාලන කලාපයට අයත් වන ‘ලං තෝ’ දිවයිනෙහි “නොං පෙන්” පළාතෙහි ය.

උසින් මීටර් 34ක් ද බරින් මෙට්‍රික්ටොන් 250කින් ද යුත් ප්‍රතිමාව ලෝකඩ කැබිලි 202ක් යොදා ගනිමින් නිර්මාණය කොට ඇත. එහි බර දරා ගැනීම සඳහා ශක්තිමත් ලෝහයන්ගෙන් සැකසු සැකිල්ලක් වෙයි.

අලංකාර අත්වැට සහිත ශෛලමය පියගැටපෙළ 268ක් නැඟීමෙන් ප්‍රතිමාව අබියසට යා හැකි වන අතර, ආබාධිතයන් සඳහා වාහනයකින් ගමන් කළ හැකි පටු මාවතක් ද වෙයි. හොං කොං දේශයේ සුරක්ෂිත භාවයත්, චීනයෙහි සෞභාග්‍යයත්, ලෝක සාමයත් උදෙසා මෙම පිළිම වහන්සේ ඉදිකොට ඇත. මෙම ප්‍රතිමා වහන්සේ විවිධ පාර්ශ්වයන්ගේ තාක්ෂණික මූල්‍ය හා ශ්‍රම දායකත්වය ලබා වසර 12ක කාල සීමාවක් තුළ නිර්මාණය කොට 1993 වසරේ වෙසක් පොහෝ දින දී ලෝක බෞද්ධ නායකයන්ගේ සහභාගිත්වයෙන් මහජනයා වෙත විවෘත කොට ඇත.

නූතන තාක්ෂණ ක්‍රමවේද හා සාම්ප්‍රදායික හා නූතන බෞද්ධ කලා සම්ප්‍රදායන් ඒකාබද්ධ කොට ඉදිව ඇති මෙම ප්‍රතිමා වහන්සේ “පෝ ලිං” විහාරයෙහි වැඩ සිටි හිමිවරුන් තෙනමකගේ සංකල්පයක් මත ඉදිකොට ඇත. උන්වහන්සේ ජපානයේ කමකුරාහි පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවත් තායිවානයේ ‘චන්හුවා’ හිදී දුටු සුවිසල් බුද්ධ ප්‍රතිමාවත් දැකීමෙන් ලද ප්‍රහර්ශය මත ඉදිකොට ඇත.

උන්වහන්සේ ජපානයේ කමකුරාහි පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් තායිවානයේ ‘චන්හුවා’ හි දී දුටු සුවිසල් බුද්ධ ප්‍රතිමාවත්, දැකීමෙන් ලද ප්‍රහර්ශය මත ඉදිකොට ඇති අතර ලෝ වැසියන් මෙම පිළිම වහන්සේ හඳුන්වනු ලබන්නේ ‘තියන්තං’ බුද්ධ ප්‍රතිමාව නමිනි. ලෝකයේ සුවිශාලතම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ අදිටනින් යුතු ව චීනයේ ‘ලන්මෙන්’ හා තුන්හුවන් ප්‍රතිමා කලා නිර්මාණයන් පිළිබඳ පූර්ව අධ්‍යයනයන් සිදුකොට පිළිමය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.

‘චීනයෙහි බෙයි ජිං’ නගරයෙහි පිහිටි ‘කියත් තං’ හෙවත් දිව්‍ය විමානය නම් වූ ඉදිකිරීම ආදර්ශයට ගනිමින් මෙම ප්‍රතිමා වහන්සේ ඉදි කොට ඇති බැවින් මෙම ප්‍රතිමා වහන්සේ "තියත් තං" බුද්ධ ප්‍රතිමාව ලෙස නම් තබා ඇත.

බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ප්‍රතීයමාන වන අයුරින් මෙම ප්‍රතිමාව නිර්මාණය කොට තිබීම විශේෂ ලක්ෂණයකි. තත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශාන්ත හා පිරිපුන් මුහුණෙනි ස්වභාවය “ලුන් මෙන් ගුහා” සංකීර්ණයේ පිහිටි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව අනුව සිදු කොට ඇත. “තුං හුවන් හි” ප්‍රතිමා සම්ප්‍රදාය අනුව මඳ සුළඟකට සලිත වන අයුරින් මෘදු සැහැල්ලු චීවරය පෙන්නුම් කොට ඇත. ප්‍රතිමාවෙහි සෑම අංගයකින් ම බුදුරජාණන් වහන්සේගේ පෞරුෂීය ගුණයන් ප්‍රතීයමාන කිරිමට උත්සාහ ගෙන තිබීම විශේෂ ලක්ෂණයකි.

ඒ අනුව පුර සඳමෙන් වටකුරු වූ මුහුණ, පළල් වූ නළල් තලය, කඩා හැලෙන කන් පෙති යුගල බුදුරජාණන් වහන්සේගේ කරුණා ප්‍රඥා ගුණයන් පිළිබිඹු කරන සුලු වෙයි. කරුණාන්විත මදහස දුටුවන් ප්‍රමෝදයට පත් කරවයි. උෂ්ණීසය සහිත සිරස්තලය හා දක්ෂිණාවර්තී ව ගොනුව ඇති කෙස් කළඹ උන්වහන්සේගේ සර්වඥතා ගුණය ඉස්මතු කරයි. පියුම් පෙත්තක් බඳු හැඩයෙන් යුත් දෑස් යුග්මය හා සියුම් රේඛාවකින් නව සඳමෙන් දිස්වන ඇසි බැම, දෑස් මධ්‍යයෙහි නළල මැද පිහිටි ඌර්ණ රෝම ධාතුව බුදුරජාණන් වහන්සේගේ කරුණා මෛත්‍රී ප්‍රඥා ගුණයන් විශද වන ආකාරයෙන් නිර්මාණය කොට තිබීම විශිෂ්ට කලාකරුවකුගේ ලක්ෂණ පිළිඹිබු කරන්නක් ද වෙයි.

ප්‍රතිමාවෙහි පිරිපුන් ශරීරය තුළින් බුදුරජාණන් වහන්සේගේ කායික හා මානසික නීරෝගි බව විශද කොට ඇති අතර, එය සෞභාග්‍ය උදාකරවන ලක්ෂණයක් ලෙස සලකනු ලබයි. මෙම හිඳි පිළිම වහන්සේගේ වාම හස්තය දණහිසෙහි පිහිටුවා අත්ල ප්‍රදර්ශනය වන අයුරින් ඇඟිලි දිග හැර පහතට නැඹුරු වන ආකාරයක් දක්වා ඇත. එය ‘තුං හුවං’ ප්‍රතිමා කලාවෙහි ලක්ෂණයකි. ඇඟිලිවල ස්වභාවය මෘදු ය. නම්‍යශීලි ය. එහෙත් ශක්තිමත් ය. එයින් ලෝක සත්ත්වයා දුකින් මුදා සතුට ලබා දෙන්නේ ය. යන අර්ථය නිරූපණය කොට ඇත. ඉහළට ඔසවා අත්ල ඉදිරිපසට පෙනෙන අයුරින් දක්වා ඇති දකුණු අත අභය මුද්‍රාව නිරූපණය කොට ඇත. එයින් දුකට පත් වූවන් තමන් වහන්සේ වෙතට කැඳවීමක් නිරූපණය කරයි. දෑතෙහි අල්ල මධ්‍යයෙහි චක්‍ර ලාංඡනයක් වෙයි. එයින් සත්‍ය වූ ධර්ම චක්‍රය දස දිසාවෙහි ම පැතිර යන බව දක්වයි. පපුව මධ්‍යයෙහි ස්වස්තිකය ලකුණක් දර්ශනය වෙයි. එයින් බුදුරජාණන් වහන්සේ සියලු සාධු ගුණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වන බව ප්‍රකට කරයි. තත් බුද්ධ ප්‍රතිමාව පියුමක් මත වැඩ සිටිති.

පියුම පාරිශුද්ධත්වයේ සංකේතයකි. කෙලෙස් සහිත සත්ත්වයන් අතර ඉපිද, ඔවුන් අතර ජීවත් වී, කෙලෙස් මල හා නොගැටී, නිකෙලෙස් ව ජීවත්වීමේ බුද්ධ ස්වභාවය එයින් විශද කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ ද, උන්වහන්සේගේ දේශනාව හා මඟ පෙන්වීම වන්නේ ද සියලු සත්ත්වයන් කෙලෙස් මලින් මුදා හැරීම ය.