Print this Article


සුරක්ෂිත සමාජයකට යුතුකම් සහ වගකීම්සුරක්ෂිත සමාජයකට යුතුකම් සහ වගකීම්

සුරක්ෂිත සමාජයකට යුතුකම් සහ වගකීම්

බොදු සිරිත් විරිත් සැකසී ඇත්තේ යහපත් සුරක්ෂිත සමාජයක පැවැත්ම උදෙසා ය. සමස්ත බොදු සමාජය අන්‍යයන් කෙරෙහි දක්වනුයේ කාරුණික සුහදත්වයකි. එම සුහදශීලී බව වැඩිදියුණු කරනුයේ චාරිත්‍ර හා වාරිත්‍ර තුළිනි. චාරිත්‍ර නම් කළ යුතු දෙයයි. වාරිත්‍ර නම් වැළකිය යුතු දෙයයි. ඒ අනුව බොදු චාරිත්‍ර වාරිත්‍ර සමාජ සුරක්ෂිතතාවට මහත් සේ ඉවහල් වේ.

බොදු සිරිත් විරිත් අතර මවුපියන්ට සැලකීම, අඹුදරුවන්ට සැලකීම, ආගන්තු සත්කාරය, පිදිය යුත්තන් පිදීම, ගුරු ගෞරවය, ඥාතීන්ට සංග්‍රහ කිරීම, මහණ බමුණන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම, මිය ගිය ඥාතීන්ට පින්දීම, ඉවසීම, කරුණාව, දයාව, අනුකම්පාව, ඊර්ෂ්‍යා නොකිරීම ආදී අගනා කරුණු රැසක් ම අන්තර්ගත වේ.

මීට අමතර ව මංගල, පරාභව, වසල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ ආදී සූත්‍රවල මෙන් ම සතර සංග්‍රහ වස්තු සේඛියා, දසරාජධර්ම, දස සක්විතිවත් ආදී සුත්‍ර දේශනාවන් හි ද බොදු සිරිත්, විරිත් රාශියක් දක්වා තිබේ. එහි අවශ්‍යතාව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරා ඇත. උසස් හැඩගැස්මක් උදෙසා පෙන්වා දී තිබෙන එබඳු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමෙන් පුද්ගල ජීවිතයේ දියුණුව සැලසෙන බව ද, සමාජය සුරක්ෂිත වන ආකාරය ද, ඒවා මඟ හැරීමෙන් සමාජය අනාරක්ෂිත වන ආකාරය ද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ‘සදිසා’ සංකල්පය බෞද්ධයන් ලෙස අප විසින් වෙසෙසින් හදාළ යුතු සංකල්පයකි. මනුෂ්‍යයා මුහුණදෙන විවිධ තත්ත්වයන් හා එම අවස්ථාවන්හි දී තමන්ගේ වගකීම හා අයිතිය පිළිබඳ හැඟීමක් එමඟින් ඇති කරයි.

මවුපියන් හා සම්බන්ධ වීමේ දී ඔවුන්ට කළ යුතු යුතුකම් ඇත. එම යුතුකම් එක් පැත්තකින් මවුපිය බලාපොරොත්තු හෙවත් අයිතීන් ය. දරුවන් විසින් මවුපියන්ට එම යුතුකම් කළ යුතු ය. ගුරුවරයාට කළ යුතු යුතුකම් හා ගුරුවරයකු තම සිසුන්ට කළ යුතු යුතුකම් විස්තර වේ. එසේ ම මිත්‍ර සම්බන්ධය, ස්වාමි, සේවක සම්බන්ධය, ස්වාමි භාර්යා සම්බන්ධය, ආගමික සම්බන්ධය, වශයෙන් ජීවිතයේ ඉතා ම අවශ්‍ය සමාජ සුරක්ෂිතභාවය පිණිස පවත්නා සම්බන්ධතා බුදු දහම තුළ වර්ග කොට දක්වා තිබේ.

එම සම්බන්ධතා යහපත් අන්දමින් පවත්වා ගෙන යෑමට අවශ්‍ය මූලික හැඩගැස්මත් පැහැදිලි ව පෙන්වා දී තිබේ. සමාජ සම්බන්ධතාවයෙන් තොර සමාජ සුරක්ෂිතතාවයක් නොමැත. එම සමාජ සම්බන්ධතා මනා හැඩගැස්වීමක් ඇතිව පවත්වා ගෙන යෑමට උත්සාහවත් වීම අනුව සමාජ සුරක්ෂිතතාව ද ඇති වේ.

චාම් සරල ජීවිතයක් ගත කිරීම බොදු සිරිතකි. එනමුත් සාමාජික වශයෙන් සමාජය තුළ ජීවිතය පැවැත්වීමට ධනය අත්‍යවශ්‍ය වේ. එම ධනය “භමරස්සේ ව ඉරියතො මල නොතලා, නොපෙලා රොන් ගන්නා බඹරකු මෙන් ද, පොළවටත් නොදැනී එසේ වුව ද ශක්තිමත් තුඹසක් බඳින වේයන් මෙන්, ධාර්මික වූ ත් ශක්තිමත් වූ ත්, අන්‍යයන් නොතලා, නෙපෙලා ලබන ධාර්මික ධනයක් ම විය යුතු ය. එලෙස ම තමන් ලබන ධනය ද කොටස් සතරකට බෙදා දෙකොටසක් තමන් විසින් සිදු කරන කර්මාන්ත, ව්‍යාපාරයන්හි වැඩිදියුණුව උදෙසා ද, කොටසක් තම පරිභෝජනය සඳහා ද, ඉතිරි කොටස විපතක දී ගැනීමට තැන්පත් කොට තැබිය යුතු යැයි පෙන්වා දී තිබේ.

ධනය ලබන අයුරුත්, පරිභෝග කරන අයුරුත්, ධනය විනාශ වන ආකාරයත් පෙන්වා දී බොදු සිරිත්, විරිත් අනුව ධාර්මික ව ලද ධනය තුළ ශක්තිමත් වූත්, සුරක්ෂිතවූත් ආර්ථිකයක් ගොඩ නඟාගන්නා ආකාරය මනාව පෙන්වා දී තිබේ.

තවද ගිහි පුද්ගලයකු විසින් සිදුකළ යුතු යුතුකම් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ රාජබලි, අතිථිබලි, ඥාති බලි, පුබ්බපේත බලි හා දේවතා බලි යනුවෙනි.

රාජබලි නම් රට වෙනුවෙන් තමන් අතින් සිදු විය යුතු සේවයයි. රට වෙනුවෙන් තමන්ට යමක් කළ හැකි නම්, කළ යුතු නම් ශක්ති ප්‍රමාණයෙන් එය කළ යුතුයි. රටක සෑම පුරවැසියකුගේ ම යුතුකම ද එයයි.

“පුබ්බහාසී” පළමුවෙන් හිනාවෙන්න “පුබ්බභාසී” කතා කරන්න “පුබ්බකාරී” ක්‍රියා කරන්න යනුවෙන් විස්තර වන මෙම කරුණු විමසීමේ දී තමන්ගේ යුතුකම පළමු ව සිදු කිරීම වඩා උචිත වන්නේ ය.

ආගන්තුක සත්කාරය අගනා බොදු සිරිතකි. “ඥාති බලි“ නම් ඥාතීන් වෙනුවෙන් විය යුතු යුතුකම් ය. “පුබ්බපේත බලි“ නම් මිය ගිය ඥාතීන්ට සිදු කළ යුතු යුතුකම් ය. ආගම දහම වෙනුවෙන් කළ යුතු යුතුකම “දේවතා බලි“ ය. පෘතග්ජන පුද්ගලයකු විසින් සපිරිය යුතු මෙම යුතුකම් සම්පූර්ණ කිරීම තුළ නිසැකයෙන් ම සමාජය මනාව සුරක්ෂිත වේ.

දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව නම් වූ සතර සංග්‍රහ වස්තු සුරක්ෂිත සමාජයකට ඉවහල් වන අර්ථවත් බොදු සිරිත් විරිත් ය. දානය නම් පරිත්‍යාගය යි. විපතක දී, ආපදාවක දී ජාති ආගම්, කුල නොසලකා එකිනෙකාට උපකාර කිරීම බොදු සිරිතකි. භෞතික වශයෙන් එනම් බඩු බාහිරාදිය පමණක් නොව දයාව, කරුණාව අනුකම්පාව, මෙත් සිත පැතිරවීම ද උතුම් වූ දානයකි.

සියලු සතුන් කෙරෙහි මෙත් සිත පැතිරවීම උතුම් බව ‘අත්තානං උපමං කත්වා” තමන්ට තමන් උපමා කොට සියලු සත්වයන් පිළිබඳවත් ඒ අයුරින් ම සිතීමට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාළහ.

මේ සමාජය තුළ බොහෝ ගැටලු, ප්‍රශ්න ආරවුල් ඇති වන්නේ අයහපත් වචන භාවිතයෙනි. ප්‍රේමනීය, හෘදයංගම, කර්ණසුඛ, බොහෝ ජනයා මනාප වචන භාවිතය බෞද්ධයාගේ සිරිතයි. පි‍්‍රය වචනය මෙන් ම ක්‍රියාවෙන් ද තමාගේ අර්ථචර්යාව පෙන්විය යුතු ය. කිසිදු උස් පහත් භේදයකින් තොරව සැමට එක සේ සැලකීම සමානාත්මතාව ලෙස දක්වා තිබේ. අන්තුපනායික ධර්ම පර්යාය මත පිහිටා සමාජ කටයුතුවල නියැළීම මෙයින් අදහස් වේ.