Print this Article


තායි බණ පොත: සද්ධම්ම සංගහය සාර ග්‍රන්ථයකි සංග්‍රහකරණයකි

සද්ධම්ම සංගහය සාර ග්‍රන්ථයකි සංග්‍රහකරණයකි

සද්ධම්ම සංගහ සම්පාදනය කරන ලද්දේ අභිනව ථෙරවාදී බෞද්ධයන් බවට පත් වූ රාම් කම්හැන් රජු ප්‍රධාන තායි ජනතාව උදෙසා ය. ඔවුන් සසුන් බබළවණු දකිනු අදහසිනි. නිර්මල සද්ධර්මයේ ඉතිහාසය පැහැදිලි කර දීමට ය.

ධර්මාභිලාෂි ඒ සාධු ජනයාගේ ධර්මඥානය වර්ධනය කරනු පිණිස ද, ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට බුදුසසුන රැක ගනිමින් ස්ථිරසාර පදනමක ඔවුන් කල් යවනු පිණිස ද, ඔවුන්ගේ ඉහ ලෞකික, පාර ලෞකික සුබ සිද්ධිය දකිනු පිණිස ද වේ. පොදුවේ ගත්විට ත්‍රිවර්ග සැප සම්පත් ළඟා කර ගනු කැමැති සත්පුරුෂයනට ඒ සඳහා මඟ හෙළි කරලීමේ පරමාර්ථයෙන් මෙය සම්පාදනය කර ඇති බැවින් ඒ උපයුක්ත නිමිති ලෙස දැක්විය හැකියි.

ධම්මකිත්ති මහාසාමි නාමය නිගමන ගාථා දෙකක ම සඳහන් වන බැවින් කතුවරයා ධර්මකීර්ති මහාසාමි යැයි නිසැකව ම කිව හැකියි. සුඛෝ දී රාම් කම් හේන් මහරජුගේ සුප්‍රසිද්ධ ශිලා ලේඛනයෙහි නම් කර තිබෙන සංඝරාජයාණන් වහන්සේ නම් සද්ධම්ම සංග්‍රහ කතුවර ධර්මකීර්ති මහාසාමි වෙති.

මෙය පරිච්ඡේද 11කි. බුදුරජාණන් වහන්සේගේ ධරමාන සමයේ සිට, ශාසන ඉතිහාසයේ තොරතුරු සැකෙවින් ඉදිරිපත් කොට පළමුවැනි, දෙවැනි, තුන්වැනි භාරතීය ධර්ම සංගායනාවන් ද, අට්ඨ කතා මූලාශ්‍රය පදනම් කොට ගෙන දක්වා ඇත. මෙය පොදුවේ පරිශීලනය කරන්නවුන්ට ප්‍රයෝජනවත් වන අයුරින් සකසා ඇති සැටි ආරම්භයේ බුද්ධ චරිතය සංග්‍රහ කළ අයුරින් වුව ද මනාව ට පැහැදිලි ව පෙනේ.

තෘතිය මහා ශ්‍රාවක මහා කාශ්‍යපයන් වහන්සේගේ පටන් දිඹුලාගල ආරණ්‍යවාසී මහා කාශ්‍යප මාහිමියන් දක්වා ථෙරවාදී භික්ෂු සංඝයාගේ ශාසන සංග්‍රහ මෙහි සම්පිණ්ඩනාත්මක ලෙස පැවසේ. ත්‍රිපිටක ග්‍රන්ථ අට්ඨකථා, ටීකා, ප්‍රකරණ පිළිබඳ ව ඉදිරිපත් කිරීම් පාලි සාහිත්‍ය අධ්‍යයනයේ යෙදෙන්නවුන්ට මහාර්ථයක් සපයයි.

මෙම කතුවරයාණන් තුළ ටීකාචාර්ය සාරිපුත්ත මාහිමියන් පිළිබඳ ව පැවති වැටහීම් උන්වහන්සේ සාගරමනි යන උසස් නාමයකින් දැක්වීමෙන් පෙනේ.

ථෙරවාද ශාසනයෙහි නිර්මලත්වය සුරක්ෂිත කරන්නටත්, චිරස්ථායිභාවය ආරක්ෂා කරන්නටත් කැප කළ ජීවිත ගත කළ මහා තෙරුන්ට ආසන්න සහාය ලැබෙන්නේ රජුන්ගෙනි. මේ

ගත්කරුවානෝ ඒ බව මොනවට දනිති. අජාසත්ත, කාලාශෝක, ධර්මාශෝක, දේවානම්පියතිස්ස, දුට්ඨ ගාමිණී, වට්ඨගාමිණී, මහානාම, මහ පරාක්‍රමබාහු යන ශ්‍රේ‍්‍රෂ්ඨ බෞද්ධ මහරජුන්ගෙන් සිදු වූ ශාසනික සහයෝගය මැනවින් දැක්වේ. අවස්ථානුකූල ව පසේනදී කෝසල, බින්දුසාර, මුටසීව, උත්තිය, මහානාග, ගෝඨාභය සහ කාවන්තිස්ස රජුන් ගැන ද සඳහන් වේ.

සද්ධම්ම සංග්‍රහයට විෂය කරුණු අයත් පරාසය පුළුල් ය. රජගහ, විශාලා, පාටලීපුත්‍ර අනුරාධපුර සහ පොලොන්නරු යන රාජධානි ආශි‍්‍රත ව ගොඩනැඟී ඇත. කාලයෙන් අවුරුදු 1400කටත් ටිකක් වැඩි ය.

බුද්ධඝෝෂ හිමියන් නාග පටුනෙන් පිටත්ව ලංකාවට පැමිණීම මෙහෙම දැක්වෙන්නකි. කර්තෘන් වහන්සේ සිරි ධම්මරාජ නගරයෙන් පිටත්ව ලංකාවටත්, ලංකාවෙන් පිටත්ව ආපසු සිරි ධම්මරාජ නගරයටත් යාත්‍රා කිරීම් සද්ධම්ම සංග්‍රහය ලියන්නට පළමු ව සිදුවී ඇති බැවින් ඒ එන යන අතරමඟ දැන ගන්නට ලැබුණු ඓතිහාසික තොරතුරක් ලෙස එවිට එය සැලකී ය. මෙම සද්ධම්ම සංග්‍රහය වංශ කථාවක් නොවූව ද එම ගනයෙහි ලා අගය කළ හැක්කේ බුද්ධදත්ත නාහිමියන් විසින් ද සොයිසා මුදලිතුමා විසින් ද, දක්වා ඇත.

බුදුසමයත් එහි ඉතිහාසය හා දියුණුවත් විදහා දක්වන කෘතියක් ලෙස මලලසේකර සූරීහු හඳුන්වා දෙති. මෙය ශාසන ඉතිහාසයක් මෙන් ම කර්තෘ අයත් කාලය තෙක් සංඝයා පිළිබඳ පුරාවෘත්තයක් ද වූ බව ආචාර්ය ලක්ෂ්මන් යූ පෙරේරාගේ අදහසයි. මහාචාර්ය බී.සී.ලෝ ඒ සියල්ලට ම වඩා සත්‍ය තත්ත්වය බොහෝ දුරට දකී.

පාලි මාධ්‍යයෙන් රචිත මෙය පළමුවරට ලියන ලද්දේ කුමන අකුරින් දැයි සිතා ගැනීමට මෙතෙක් අවස්ථාව නැත. තායි හෝඩියේ අකුරෙන් ලියන ලදැයි සිතීමට ඉඩ ඇත. පසුව කාම්බෝජ අකුරින් ද ලියන ලදුව එහි අත්පිටපත් වාන්වාල් බනාම් භාණ් නම් ස්ථානයේ තිබේ.

නැදිමාළේ සද්ධානන්ද හිමියන් විසින් ලන්ඩන් පාලි පොත් සමාගමේ සඟරාවේ ලතින් රීතියට අනුව ඉංගී‍්‍රසි අකුරෙන් පළකරවන ලද අවස්ථාව අපට මෙහි විශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකි ය. සුඛෝ දෙහිදි තායි අකුරෙන් ලියූවක් 1853 ලක්දිවට ගෙනෙන ලදුව සිංහල අකුරෙන් පිටපත් කර තිබියදී එයින් ඉංගී‍්‍රසි අකුරට හරවා 1990 දී ලන්ඩනයේ දී පළමුවරට පළවීම අගය කළ යුත්තේ මෙම කෘතිය ලොව පුරා පැතිර යාමක් වූ හෙයිනි. බණ කතා පොතෙහි බොහෝ වටිනා ප්‍රස්තුත හා ඓතිහාසික සිදුවීම් මනාව ඉදිරිපත් කොට ඇති අතර, එයින් කරුණු කිහිපයක් පමණක් මෙහිදී අප දක්වන්නට අදහස් කරන්නෙමු.

දේශනාව ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසකින් පරිමාණ වන බව අපගේ ථේරවාද සාම්ප්‍රදායික අට්ඨකතා මතවාදයයි. කිසි ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසක් වන්නේ වීදෙහිමෙහි මනාව ඉදිරිපත් කොට ඇත.

නොයෙක් අනුසන්ධියති සූත්‍ර බොහෝ ධර්මස්කන්ධයන්ගෙන් යුක්ත ය. ඒවායේ ගැළපීම අනුව ධර්මස්කන්ධය සංඛ්‍යාව ගණන් කෙරේ. ගාථා සම්බන්ධයෙහි දී ප්‍රශ්න විචාරීම් එක් ධර්මස්කන්ධයක පැන විසඳීම තවත් ධර්මස්කන්ධයකි. ඒකක ටික දුක වශයෙන් බෙදීම ද, ඒ ඒ චිත්තද්වාර වශයෙන් බෙදීමෙන් ද එක ධර්මස්කන්ධයක් වශයෙන් ගැනිවිණිහිලා වස්තු මාසිකා පද භාජනීය අන්නා අන්තරා පත්ති අනාපත්ති යනුවෙන් බෙදිණි.

ඒ එකක් එකක් වෙන වෙන ම ධර්මස්කන්ධය මෙපරිද්දෙන් සූත්‍ර, අභිධර්ම, විනය යන පිටකයන්හි ධර්මස්කන්ධ අසූහාරදහසකි. සද්ධර්ම සංග්‍රහයෙහි එන ගන්තාලිය නම් වූ නව වන පරිච්ඡේදය ඉතා වැදගත් වූ මූලාශ්‍රයකි.

ඒ පිටකත්‍රය පාලිය ග්‍රන්ථ ගණනින් දෙලක්ෂ අනූපන්දහස් හත්සිය පනහකි. පිටකත්‍රය පාලියේ අකුරු ගණනින් අනු හතර ලක්ෂ හැටහතර දහසකි.

බුද්ධගෝෂ ස්ථවිරයන් වහන්සේ කරන ලද පිටකත්‍රය පාලි අට්ඨකතා සියල්ල බණවර ගණනින් 1163කි. ඒ පිටකත්‍රයේ දේශනා පාලියට කළ සියලු අට්ඨකතාවන්හි ප්‍රමාණය ග්‍රන්ථ වශයෙන් දෙලක්ෂ අනූදහස් හත්සිය පනහකි. ඉසීමුත් ත්‍රිපිටක පාලි අට්ඨකතා සියල්ල අක්ෂර ගණනින් අනූතුන් ලක්ෂ හාරදහසකි.

ටීකාකාර තෙරවරුන් විසින් කළ පිටකත් පි‍්‍රයටීකාවන්හි ප්‍රමාණය බණවර ගණනින් 632කි. පිටකත්‍රය ටීකාවන්ගේ සංඛ්‍යාව ග්‍රන්ථ වශයෙන් එක් ලක්ෂ පනස් අට දහසකි. පිටකත් පි‍්‍රය ටීකාවන්හි දැක්වෙන අකුරු ගණනින් පන්ලක්ෂ පනස් හය දහසකි.

ඉහත දැක්වෙන බණවර ආදිය ගණනය කොට දක්වා ඇති විස්තරය පාලි සාහිත්‍ය අධ්‍යයනය කරන්නකුට වටිනා මූලාශ්‍රයකි. මෙම ග්‍රන්ථයේ ඉතා ම සුවිශේෂී වූ පරිච්ඡේදය දස වැන්න යි. එය ත්‍රිපිටකයේ ලිවීමේ ආනිසංස වර්ණනාව ලෙස නම් කොට ඇත.

දීර්ඝ වශයෙන් ත්‍රිපිටකයේ ලිවීමේ අනුසස් විස්තර විභාග වශයෙන් දක්වා ඇත. එහි දැක්වෙන පරිදි තුන් පිටකයෙහි එක් එක් අක්ෂරයක් එක් එක් බුදුපිළිම වහන්සේ නමක් හා සමාන ය. තුන් පිටකය පවත්නා කල්හි අසූහාර දහසක් පමණ බුදුවරයන් වහන්සේ වැඩ සිටිනා සේක.

බුදුරදුන් වදාළ පර්යාප්ති ශාසනයෙහි එක් එක් අකුරක් ලිවීම, එක එක බුදුපිළිම වහන්සේ නමක් කිරීම වැනි ආනිසංස ඇත්තේ ය. එබැවින් ත්‍රිවිධ සම්පත් කැමැති නුවණැති පුද්ගල තෙමේ ධර්ම චෛත්‍යයක් වැනි වූ දහම් පොත් ලියන්නේ ය. ලියවන්නේ ය. තුන් පිටකයට අයත් ධර්මය ලියන්නා වූ තැනැත්තේ දසපින් කිරියවන් හා තෙල වැදෑරුම් සුචරිතය සම්පූර්ණ කරන්නේ ය. පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද යන ත්‍රිවිධ සද්ධර්මය මැනවින් සපුරාලයි. තුන්ලොවට එකම පිහිට වන අරුතින් ලෝකනාථ වූ බුදුපියාණන් වහන්සේගේ දේශනාවෙහි එක එක අකුරක් ලිවීම, එක එක බුදු පිළිමයක් කිරීමක් වන හෙයින් සමානානීසංස ඇත්තේ යැයි මෙහි දැඩි ව දක්වා ඇත.

ඒ හෙයින් තෙ වැදෑරුම් සැප කැමැති නැණවත් පුරුෂ තෙමී තුන් පිටකයෙහි යටත් පිරිසෙන් එක අකුරක්වත් ලියයි. නැතහොත් ලියවයි. අකුරු ගණනින් ත්‍රිපිටකය හාරසිය කෝටි දෙසැත්තෑවෙකි. යම් අයෙක් ත්‍රිපිටකයේ ලියද්ද ඔහු සාරසිය කෝටි දෙසටවත් බුදුපිළිම කරන්නාහු වැනි වෙත්. මෙහි වැඩිදුරටත් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පිළිම කරවීමේ යම් ආනිසංසයක් විස්තර වශයෙන් දේශනා කරන ලද එය කෝසල බිම්බ වර්ණනාවේ දැක්වෙන අයුරින් මෙහිදී ගෙනහැර දක්වා ඇති බවයි. ඉන් අනතුරුව දහම් ඇසීමේ ආනිසංස අට්ඨකතා ආශි‍්‍රත කතාංග මඟින් මනාව ඉදිරිපත් කොට ඇත. සිංහල අකුරින් ලාංකීය පාඨකයන්ට කියවිය හැකි පරිදි සංස්කරණය කොට ඉදිරිපත් කරන ලද්දේ තිත්ථගාම රාජමහා විහාරාධිපති ගම්මැද්දේගොඩ පුණ්‍යසාර මහ තෙරුන් වහන්සේ විසිනි.