සතර මහා නිධානය
ශාස්ත්‍රපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
කෙනකු හොඳින්, සතුටින් සිටින විට අනෙක් අය කියනුයේ ඔහුට සතර මහා නිධානය පහළ වී ඇති
බවයි. තවත් විටෙක කෙනකුගෙන් අතමාරුවක් ඉල්ලූ විට “ අපට සතර මහා නිධානය පහළ වෙලා
කියලා හිතුව ද?” අසයි.
පෞරාණික ස්ථාන, වෙහෙර විහාර විනාශ කරමින් සමහරු නිධාන සොයති. නිධාන ලබා ගන්නට ගොස්
අත්අඩංගුවට පත්වන පිරිස ද බොහෝ වෙති.
අතීතයේ විසූ රජවරු සිටුවරු තම ධනය, වස්තුව පොළව යට නිදන් කළ බව අතීතයේ සිට ම පැවැති
පිළිගැනීමකි. බුදුදහම තුළ ද මෙවන් අදහස් දක්නට ලැබේ. චුල්ලකම්ම විභංග සූත්‍රයේ
මෙවන් අදහසක් දක්වයි. එහිදී බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයෙහි වඩින විට සුභ මානවකයාගේ
නිවසෙහි සුරතලයකු වශයෙන් බොහෝ සැප දෙමින් හදන බලු පැටියකු බුරාගෙන එයි. එවිට
බුදුරජාණන් වහන්සේ බලු පැටියාට කියනුයේ අනේ අනේ තෝදෙය්‍ය මිනිසකු ව සිටි කාලයේත් මට
දෝෂාරෝපණය කළා. දැන් සුනඛ ආත්මභවයක් ලබා ගෙනත් මට බුරනවා යැයි පැවසීය.
මෙය ඇසූ බලු පැටියා ලජ්ජාවට පත්ව ලිප්බොක්කට ගොස් අලු ගොඩේ ළඟින්නට විය. සුභ
මානවකයා පැමිණ තමාගේ සුරතලා පිළිබඳ ව සොයා බලද්දි ඌ සිටින තැන දැක එසේ වීමට හේතු
විමසී ය. එවිට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශය අසන්නට ලැබී මේ සුනඛයාට තමන්ගේ පියාගේ
නමින් ඇමතීම සම්බන්ධයෙන් කෝප ව ඒ පිළිබඳ ව විමසන්නට බුදුරජාණන් වහන්සේ හමු වෙයි. ඒ
අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මෙම සුනඛයා තෝදෙය්‍ය සිටුවරයා බවත්, ඒ බව දැන ගන්න
අවශ්‍ය නම් මෙම සුනඛයා හොඳට නාවා, තෙල් ගල්වා, කිරිබත් අනුභව කොට පහසුවෙන් නිදන්නට
සලස්වා නින්දට යන අවස්ථාවේ දී පියාණෙනි, මට නුදුන් යම් ධනයක් වේ නම් එය මට පෙන්වන්න
යැයි කියන්න. එවිට මෙම සුනඛයා ඔබට නුදුන් නිධාන පෙන්වයි. මෙසේ කළ විට නිධාන හතරක්
සුනඛයා විසින් පෙන්වීය.
එසේම අචිරවතිය නදිය පිටාර ගැලීමෙන් අනේපිඬු සිටුතුමාගේ නිධාන විනාශ වූ බව බණ පොතෙහි
දක්නට ලැබෙයි.
පුද්ගලයන් උපන් විට නිධාන මතුවන බව සිද්ධාර්ථ කුමාරයා උපන් අවස්ථාවේ දී සංඛ, ඵල,
උත්පල, පුණ්ඩරීක නමින් සතර මහා නිධානයක් පහළ වූ බව පූජාවලිය තුළ දක්නට ලැබෙයි.
ධාතූන් වහන්සේ, දක්ෂිණාවෘත සංඛය, රතු මැණික්, ගජමුතු සතර මහා නිධානය කියන උදවිය ද
වෙසෙති. එසේම සමහරු චින්තාමාණික්‍ය, කල්පවෘක්ෂය, සුරභිධෙනුව, භද්‍රඝටය සතර මහා
නිධානය ලෙස දක්වති.
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි දී පුද්ගලයකු උපයන දෙය කොටස් හතරකට කඩා
හතර වැනි කොටස නිදන් කළ යුතු බව දක්වයි. නිධිකණ්ඩ සූත්‍රය තුළ දී උන්වහන්සේ පුණ්‍ය
නිධානයක් පිළිබඳ ව දිගු විස්තරයක් කරති.
බුදුරජාණන් වහන්සේ ගිහියකු විසින් සතර මහා නිධානයක් සපයා ගත යුතු බව දේශනා කරති. එම
නිධාන හතර නම් ථාවර, ජංගම, අංගසම, හා අනුගාමික නිධානයි.
ථාවර නිධාන ලෙස දක්වන්නේ පුද්ගලයා ගොඩනඟා ගන්නා ගෙවල් දොරවල් හා හරිහම්බ කර ගන්නා
වතුපිටි ඉඩකඩම් ය.
ජංගම නිධාන වශයෙන් දක්වන්නේ එහෙ මෙහෙ රැගෙන යා හැකි සම්පත් ය. මිල මුදල්, ආභරණ,
මුතු මැණික් ආදි වස්තු හා යාන වාහන යි. අංගසම නිධානය යනු අප ගොඩනඟා ගන්නා දැන
උගත්කම් ය. දැනුම ලබා ගැනීම යි. තම වෘත්තියට හෝ රැකියාවට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම
යි. අනුගාමික නිධාන යනු අප විසින් අපගේ සිත කය වචනය යන තිදොර මෙහෙයවා සිදු කරන
යහපත් කටයුතුවල ප්‍රතිවිපාක යි. එය පුණ්‍ය නිධානය ලෙස දක්වයි. අනුගාමික නිධානය මේ
භවයට පමණක් නොව, පසු භවයට පමණක් නොව, භව සංසාරය පුරාවට පුද්ගල දියුණුව ඇති කරයි.
ගිහියකු විසින් මෙම නිධාන රැස් කර ගත යුතු බව බුදු දහම දක්වයි. බුදු දහම තුළ දක්නට
ලැබෙන සතර මහා නිධානය මෙයයි.
බුදුදහම කිසිවිටෙකත් කිසිවකු විසින් තැන්පත් කළ දේ තමන් සතු කර ගත යුතු යැයි නො
කියයි. අනුන්ගේ දේට ලොබ බැ¼දීම, එය තමන්ට අයිති කර ගැනීමට සිතීම, ඒ සඳහා යම් යම්
උපක්‍රම යෙදීම, එය තමා සන්තක කර ගැනීම සොරකමකි. එසේ ම මෙම නිධානයන් ප්‍රාර්ථනා
කිරීමෙන් නො ලැබෙයි. යාඥා කිරීමෙන් නො ලැබෙයි. වාසනාවට නො ලැබෙයි. මෙම නිධානයන්
ලබන්නට හැකි වන්නේ විමර්ශනය, ප්‍රඥාව, වීර්යය තුළිනි.
වණ්ණුපථ ජාතකයෙහි දී නිරුදක කාන්තාරය තුළ ජලය ලබන්නේ මේ ක්‍රමවේද තුළිනි.
සතර මහා නිධානය අවශ්‍ය වන්නේ ජීවිතයට සතුට එකතු කර ගන්නට යි. ජීවිතයේ අරමුණු ඉටු කර
ගන්නට යි. අපට අරමුණු තුනක් වෙයි. ලෞකික දියුණුව, පාරලෞකික සතුට, ගමන නතර කරන
විමුක්තිය යනු ඒ අරමුණු වෙයි.
බුදු දහම පරලොව ගැන කියන දහමක් නොවෙයි. එහි මූලික අරමුණ මෙලොව දියුණුවයි. ඒ සඳහා
නිධාන තුනක් ම වෙයි. ථාවර, ජංගම, අංගසම නිධාන තුන තුළින් ම ලෞකික ජීවිතයේ සංවර්ධනය
කියාපායි. මෙම නිධාන තුන තිබේ නම් මෙලොව සතුට ලැබෙයි. එහෙත් මේ නිධාන තුන ස්ථිර
නොවෙයි. මේවා රජුන්ට අයිති කර ගත හැකි ය. සොරුන්ට පැහැරගත හැකි ය. සතුරන්ට විනාශ කළ
හැකි ය. වැස්සට, ගින්නට, සුළඟට විනාශ කළ හැකි ය. එහෙත් මේ සියල්ලට කිසිවක් කළ
නොහැකි නිධානය නම් අනුගාමික නිධානය යි. අනුගාමික නිධානය රැස් කරන විට මෙලොව සතුට,
දියුණුව ලබයි. පරළොව සතුට ඇති කරයි. පරම අරමුණ නිවනින් සැනසිය හැකි ය.
පොළව යට ඇති නො පෙනෙන නිධාන පසුපස්සේ යමින් වෙහෙස වෙනවාට වඩා දෑසට පෙනෙන මෙම සත්‍ය
නිධාන එකතු කර ගැනීමට කටයුතු කරමු. මෙලොව ජීවිතයට සතුට දියුණුව ඇති කරමු, පරලොව
සතුට ලබමු. නිවනින් සැනසීම ලබා ගනිමු. |