කුඩා වරදෙහි පවා බිය දකින්න
ආචාර්ය
කන්දේගම දීපවංසාලංකාර හිමි
උත්සාහයෙන් තොර ව කටයුතු සිදු නොවේ. එනිසා ම උත්සාහය ‘සම්පත්තියක්’ වශයෙන් දක්වා
ඇත. උත්සාහය යන අර්ථය ධ්වනිත කෙරෙන තවත් වචනයක් වන්නේ වීර්යය යන්න යි.
එය පාරමිතාවක් වශයෙන් මහබෝසත්වරු සම්බුද්ධත්‍වය සාක්‍ෂාත් වන තෙක් ම අත් නොහැර
පූරණය කළ යුත්තක් බව චතුරංග සමන්නාගත වීර්යය පිළිබඳ හැදෑරීමෙන් දැනගත හැකි ය.
වීර්ය පාරමිතාව සෑම පාරමිතාවකට ම බලපැවැත්වේ. වීර්යයෙන් තොර ව වැඩෙන සීලයක් ද,
සමාධියක් ද, ප්‍රඥාවක් ද නැත. වීර්යය නොමැති තැන ඇත්තේ කුසීතකම හෙවත් අලසකමයි. එය
ක්ලේශ ධර්මයකි. එනම් දහම තුළ එය හැඳීන්වෙන්නේ “ථීනමිද්ධ” ලෙසයි. ථීනමිද්ධය බලවත් වූ
විට කිසිදු සාර්ථකත්‍වයක් ඇති නොවේ. එනිසා ලෞකික සහ ලෝකෝත්තර යන උභය දියුණුව රඳා
පවතින්නේ උට්ඨානසම්පදා හෙවත් උත්සාහ සම්පත්තිය මතයි.
උභයාර්ථ සාධනය සලසා ගැනීමට කැමති පුද්ගලයා ඒ සඳහා ඉලක්කයක් තබා ගෙන ඊට සුදුසු පරිදි
සූදානම් විය යුතු ය. සූදානම් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එහි යෙදීම ද අත්‍යවශ්‍ය ය.
ඒ සඳහා ප්‍රගුණ කළ යුතු ත්‍රිවිධ ධාතූන් වේ. ආරම්භධාතු, නික්කමධාතු හා පරක්කමධාතු
ලෙසිනි.
ආරම්භධාතු යනු ඕනෑම කාර්යයක් පටන් ගන්නට ඇති වීර්ය යි. පටන් ගත් කටයුත්ත කැමැත්තෙන්
අඛණ්ඩ ව කර ගෙන යාම නික්කමධාතු නම් වේ. පැමිණෙන සෑම බාධකයක් ම මැඬගෙන බලාපොරොත්තු
වූ ඉලක්කය දක්වා ගමන් කිරීම පරක්කමධාතුයි. මෙකී තත්ත්වයන් පුහුණු නො කරන අයකුට
ලෞකික දියුණුව හෝ ලෝකෝත්තර දියුණුව හෝ උදා කර ගැනීම සිහිනයක් පමණි.
බොහෝ දෙනකු සතු ව ආරම්භධාතු ඇතත් පරක්කමධාතු ශක්‍යතාව අල්ප ය. විවේචනවලට හා බාහිර
උවදුරුවලට බියෙන් තමන් ආරම්භ කළ කටයුතු අතරමඟ, නවතා දමන බොහෝ පිරිස් වෙති. එනිසා
ඔවුන් සිහින බොඳ වී ගිය, බලාපොරොත්තු සුන් වී ගිය පිරිසක් වශයෙන් ජීවත් වෙනවා පමණක්
නොව සාර්ථක වූවන් සමග බලවත් පටිඝයකින් ජීවත් වන බව ඔවුන් හා කරන කතා බහේ දී වටහා ගත
හැකි ය. එනිසා ඔබ කළ යුත්තේ අනුනට වෛර කරන්නකු, ඊර්ෂ්‍යා කරන්නකු නොවී නොපසුබස්නා
උත්සාහයෙන් ක්‍රියා කිරීමයි.
රැකී රක්‍ෂාදී ලෞකික ජයග්‍රහණ සේ ම කෙලෙස් තැවීම් අරභයා සිදු කරන සිල් රැකීම් හා
භාවනා වැඩීම් ආදිය ද උත්සාහයෙන් තොර ව සාර්ථක කර ගත නො හැකි ය. සීලයට සිත මෙහෙයවා
කටයුතු කිරීමේ දී “අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි” යන ආකාරයට කුඩා වරදෙහි පවා බිය
උපදවා ගෙන ක්‍රියා කළ යුතු ය. එසේ කිරීමේ දී සාමාන්‍ය පුහුදුන් ජනයා එකී අලෞකික
උත්සාහය තේරුම්ගත නොහී ‘හොර සිල් රකින්නා’ ආදි වශයෙන් දරුණු වාග් ප්‍රහාර එල්ල කරනු
ඇත. එවැනි අවස්ථාවල දී පරක්කමධාතුව දියුණු කිරීම හෙවත් එම වැඩෙහි අකම්ප්‍යව
යෙදීමෙන් මිස අත්හැර දැමීමෙන් ඉලක්කගත ලෝකෝතත්තර දියුණුව උදා කර ගත නො හැකි ය.
“වායමෙථෙව පුරිසො - යාව අත්‍ථස්ස නිප්ඵදා” පුරුෂ තෙම අභිප්‍රාය සාක්‍ෂාත් වන තෙක්
වෑයම් කළ යුතු ය.
බාහිර උවදුරු හා පුද්ගල විවේචන ද, සීතෝෂ්ණා දී දේශගුණික බලපෑම් ද නිසා පුද්ගල මනස
හැකිළීමට පත් වේ. එකී අලස බව බුදුදහම හඳුනා ගන්නේ ‘ථීනමිද්ධ’ නාමයෙනි. ථීනමිද්ධයෙහි
ස්වභාවය දක්වන අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ නීවරණ වග්ගයේ දී එය වචන පහකින්
භාග්‍යවතුන් වහන්සේ විස්තර කොට ඇත. ඒවා නම්, අරති, තන්දි, විජම්භිකා, භත්තසම්මදො,
චෙතසො ච ලීනත්තං වශයෙනි.
මෙහි අරති යනු අධිකුසල ධර්මයෙහි නො ඇල්මයි. තන්දිය යනු අලස බවයි. විජම්භිකා යනු ඇඟ
මැළි කැඩීමයි. භත්තසම්මදය යනු බත් මතය යි. ලීනත්‍වය යනු සිතෙහි හැකුළුණු බවයි.
එවැනි තත්ත්වයන්ගෙන් යුක්ත තැනැත්තාට නූපන් ථීනමිද්ධය ඉපදීමටත්, උපන් ථීනමිද්ධය
වර්ධන වීමට හා විපුලත්‍වයට පත් වීමටත් හේතු වේ. |