Print this Article


ජීවිතය දකින්න සිත පුරුදු කරන්න

ජීවිතය දකින්න සිත පුරුදු කරන්න

ඔබ, ඔබට අයිති නැහැ. මම, මට අයිති නැහැ, නම් වූ මේ අදහස අපට සරල ව සිතට ගෙන පරමාර්ථ වශයෙන් ගැඹුරු අදහසක් ගන්නට පුළුවනි.

සරල ලෙස නම්, ලෞකික ජීවිතයේ දකින බොහෝ දේ අප කැමැති හා අකැමැති ලෙසයි සිතෙහි පවත්වා ගන්නේ. කැමැති දේ ලබන්නටත්, අකැමැති දේ, අකැමැති ආවේග හෙවත් තරහව, අමනාපය නො ඉවසන ස්වභාවයෙන් පිට කිරීමත් සාමාන්‍ය ස්වභාවය යි.

මේ නිසා මම මගේ නොවෙයි, කියන මේ අදහස ඔස්සේ අපේ සිත තේරුම් ගන්නට හැකි නම්, සම්මුති ලෝකයෙහි අප අපේ ජීවිතය පැවැත්වූවත් කිසිවිටෙකත් මේ අනිත්‍ය වූ ලෝකයේ කිසිදු වස්තුවක් කෙරෙහි, මගේ ය, මම වෙමි, මගේ ආත්මයයි, එනම් මගේ වසඟයේ, පාලනයෙහි යටත් ව පවතිනවා යැයි කියන අදහසින් ක්‍රියා කරන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඔය ශරීරය නුඹලාට අයිති නැහැ. කාටවත් අයිති නැහැ. පෙර කරන ලද කර්මයක ඵලයකුයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ දෙයක්. එනම් චේතනාව මුල් ම විඳීමට වස්තු වී පවතිනවා යන අදහසයි.

මේ අදහස මැනවින් අපට තේරුම් ගන්නට හැකි නම්, අපේ ජීවිතවල සිදුවිය හැකි පස්පව්, දස අකුසලයන්ගෙන් බැහැර වීමට පරමාර්ථ වශයෙන් ඉතා යහපත් වූ අදහස් පෙළක් සිත තුළ පුරුදු කරන්නට හැකි වෙනවා.

මේ ශරීරයම අයිති නැහැ යන අදහස ඔස්සේ අප ගැන සිතන්නට වූවොත් මේ ශරීරය මට අයිති නැහැ. සම්මුතිය තුළ මම බව, මගේ බව සැබෑ ය. අනුමාන වශයෙන් අපේ ජීවිතයේ පැවැත්ම ගැන සලකා ගෙන, ඉගෙනීම, රැකියාව, ගිහිජීවිතවලට අනුව විවාහය, දරුවෝ, ගේ දොර මේ ආදී ලෙසින් කටයුතු පවත්වනවා.

එහෙත් පරමාර්ථ වශයෙන් ගළපා බලන කල මේ සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනන්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ “ඔය ශරීරය නුඹලාට අයිති නැහැ” යනුවෙන් පැහැදිලි කොට වදාළේ, ඉහත සඳහන් කළ පරමාර්ථ අදහස තේරුම් කර දීමටයි.

පරමාර්ථ වශයෙන් ජීවිතය ගැන පෙන්වා දෙන දහම තේරුම් ගන්නේ නැති නම් සම්මුතියේ පමණක් ජීවත් වෙන්නට මිනිසා උත්සාහ කරනවා. “ඒතං - මම, මෙය මගේ ය, ඒසෝ භවස්මි - එය ම මම වෙමි. ඒසෝ මේ අත්තා - එය මගේ ආත්මයයි. එය මගේ යටතේ පවතිනවා. මට පාලනයක් තියෙනවා. එය ස්ථිර ව පවතිනවා යන අදහසයි.

එතැන දී සිදුවන්නේ කුමක් ද? මම කියා පළමු අදහසින් තමාගේ ජීවිතය ගැන සිතුවත් මේ මම කියා අදහස් කරන ශරීරය ස්ථිර නොවන බව පැහැදිලියි. ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය ආදී ලෝක ස්වභාවයන්ට පත්වීම උරුමය යි.

පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තොරව, සම්මුතියේ පමණක් පිහිටා මම, මගේ ය, අප අපේ ය ජීවිතය සිතින් උපාදානය ලෙස කොට ගෙන එසේත් නැතිනම් දැඩි ව අල්ලා ගෙන සිටීමෙන් කුමක් ද සිදු වන්නේ.

එම පරමාර්ථ ධර්මය පිළිබඳ ව ඇති අනවබෝධය නිසා මෙම වෙනස් වීම සිතට ගත නොහැකි වීමයි. එවිට වෙනස්වීම් පිළිගැනීමට තරම් සිත පුරුදු කරන්නට අපහසුයි. එවැනි සිතක් බෞද්ධ දර්ශනයේ හඳුන්වන්නේ අභාවිත සිතක් හැටිය යි.