Print this Article


දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු

දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු

බෞද්ධ සමාජ සංකල්පය යනු කුමක්ද ?

වත්මන වන විට සමාජ විද්‍යාව යන විෂයය ක්ෂේත්‍රය උගතුන් පරිශීලනය කරන විෂයයක් ලෙස දැක්විය හැකි ය. බටහිර විද්වතුන් සමාජය විස්තර කර ඇති අන්දමට වඩා උසස් ලෙස බුදුන් වහන්සේ සමාජය පිළිබඳ විස්තර කර ඇති අන්දම බොහෝ සූත්‍ර දේශනා විමර්ශනය කිරීමේ දී දැක ගත හැකි ය.

අප ජීවත්වන සමාජය සමඟ ප්‍රසන්න හා අර්ථසම්පන්න සබඳතා ඇති කර ගෙන, අන් අය සමඟ සුහදතාව හා ගෞරවය රැක ගනිමින් ජීවත්වීම සඳහා අවශ්‍ය උපදේශ සමූහයක් බුද්ධ දේශනාව තුළින් ලැබේ.

විවිධ සමාජ භූමිකාවන් පදනම් කර ගනිමින් පුද්ගලයාගෙන් සමාජයට ඉටුවිය විය යුතු යුතුකම් ගැන බුදු දහම තුළින් උගන්වා ඇත්තේ සමාජය තුළ ගැටුම් අර්බුද නොමැති ව යහපත් සමාජයක් බිහි කිරීම සඳහා ය. දීඝනිකායේ සිඟාල සූත්‍රය සමාජ සංස්ථාව පිළිබඳ ව විස්තර කර ඇති වටිනා ඉගැන්වීමකි. එහි ඇති සදිසා නමස්කාරය පිළිබඳ ව ඉගැන්වීමේ දී විස්තර කෙරෙන්නේ තම යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටුකිරීම මඟින් සියලු දෙනා ම යහපත් අන්දමින් සමාජය තුළ ජීවත් වන බවයි. එම යුතුකම් ඉටුකිරීම තුළ යහපත් ගුණාංග පමණක් නොව ආර්ථික, දේශපාලන කරුණු ද අන්තර්ගත වී ඇත. එහි සඳහන් ව ඇති යුතුකම් පද්ධතිය සමාජයේ අවශ්‍යතා රාශියක් ඉටු කරයි.

මෙහිදී අපේක්ෂා කරනුයේ සමාජය සම්බන්ධයෙන් බුදුසමය ඉදිරිපත් කරන සංකල්පය කෙබඳු ද යන්නයි. සමාජය යහපත් මාර්ගයට ගැනීමට හා පුද්ගලයාගේ පෞරුෂත්වය රැක ගැනීමට බුදු දහමෙන් ලැබෙන උපදේශය විමර්ශනය කිරීම වැදගත් වේ. මිනිසාගේ පැවැත්ම සඳහා ජීවී අජීවී සමස්ත පරිසර පද්ධතිය ම ඇතුළත් වේ. බෞද්ධ දේශපාලන චින්තනය තුළ සඳහන් වන අන්දමට රජකු සමාජයට ආරක්ෂාව ලබා දිය යුත්තේ මිනිසාට පමණක් නොවේ. සතා සිවුපාවුන් පවා ඊට ඇතුළත් වේ.

මෙසේ පුළුල් ලෙස ජීවත් වන මිනිසුන් විසින් තම සමාජගත චර්යාව සියලු ජීවීන්ට හිතකාමී පිළිවෙතක් බවට පත්කර ගන්නා හෙයින් එය නූතන සමාජ දාර්ශනිකයින් අගයන බව දැකිය හැකි ය.

බෞද්ධ සමාජ සංකල්පය සමස්ත ජීවී සංහතිය ම හසුකර ගන්නක් වේ. ධර්මය පිළිපැදීම තුළින් ප්‍රයෝජනය ලබා ගත හැකි වන්නේ මිනිසුන්ට ය. මිනිස් සමාජය ප්‍රධාන වශයෙන් කොටස් හතරක් යටතේ පෙන්වා දී ඇත. එනම්, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා ලෙස ය. එය සිව්වනක් පිරිස නමින් හැඳීන්වේ.

ඉහත සඳහන් කළ සිඟාලෝවාද සූත්‍රයෙහි යුතුකම් හා වගකීම් බෙදී යන්නේ මෙම ප්‍රධාන බෙදීම හරහා ය. මෙවැනි ව්‍යුහයක් තම ශ්‍රාවකයන් අතර පැවතීම බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබූ මොහොතේ සිට ම සිතූ බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක ගත හැකි ය. එහිදී වසවත් මාරයා බුදුරදුන්ට පිරිනිවීමට ආරාධනා කිරීමේ දී බුදුන් වහන්සේ එම ඇරයුම ප්‍රතික්ෂේප කොට පවසා ඇත්තේ ව්‍යක්ත, විනීත, විශාරද සිව්වනක් පිරිසෙහි අධිෂ්ඨානශිලී පෙළගැස්ම පිළිබඳව යි. මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ එක් සමාජ ස්ථරයක් නොව සිව් පිරිස ම එක සේ නිවන් මඟට අවතීර්ණ වීමට ඇති හැකියාව යි. එමඟින් ගම්‍ය වන්නේ බුදුසමය හැදෑරීම සිව්වනක් පිරිසට හැකි වනවා සේ ම තම ජීවිත යහපත් අන්දමින් හැඩගස්වා ගැනීම ද සිව් පිරිසට ම එක සේ සමාන වන බවයි.

කෙනකුට පැන නඟින ප්‍රශ්නයක් වනුයේ එකම සීල ප්‍රතිපදාවක යන පිරිසක් මෙලෙස කොටස් හතරකට බෙදීම යුක්ති සහගත වන්නේ ද? යන්නයි. භික්ෂු භික්‍ෂුණීන් අතර ද උපාසක උපාසිකාවන් අතර ද පවතින ස්ත්‍රී පුරුෂ වෙනස්කමක් දැකිය හැකි වුව ද, ඊට වඩා වෙනසක් මොවුන් අතර දැකි ය හැකි ය. එනම් ගිහි පැවිදි වෙනසයි. ගිහි, පැවිදි දෙපිරිස ම එකම ප්‍රතිපදාව මත නිවන් මඟ කෙරෙහි පිළිපන් වුව ද යන මාර්ගය වෙනස් වෙයි.

බුදුරදුන් විසින් පැහැදිලි කර ඇත්තේ ගිහි ගෙයින් නික්මුණු පුද්ගලයකු විසින් දතයුතු, සාක්ෂාත් කළ යුතු දෙයක් කාමයන් මැද කම්සැප විඳීන අයකු විසින් කෙසේ දැන ගත හැකි ද යන්නයි. ඒ බව රට්ඨපාල වැනි සූත්‍ර දේශනා මඟින් ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය පිළිබඳවත්, පැවිදි බවේ ඇති නිදහස් බව පිළිබඳවත් සඳහන් කොට ඇත. ගිහිගේ සම්බාධ සහිත ස්ථානයක් බවත්, පැවිද්ද විවෘත අවකාශය මෙන්ම නිදහස් තැනක් බවත් එම සූත්‍ර දේශනාවල පැහැදිලි කර ඇත. මේ සංසන්දනය ගෘහස්ථ ජීවිතයට වඩා පැවිදි ජීවිතය උසස් බවත්, එහෙයින් ගිහි පැවිදි දෙපක්ෂයට ශික්ෂණ මාර්ග දෙකක් පැවතිය යුතු බවත් පෙන්වා දෙති.

මෙහිදී පෙනී යන කරුණක් නම් ගෘහස්ථ ජීවිතයට අසාධාරණකමක් හෝ යටහත් කිරීමක් බුදු දහම තුළින් දක්වා ඇද්ද යන්නයි. බුදුන් වහන්සේ පුද්ගලයන් බෙදා දහම් දේශනා කිරීමක් කර නැත. උන්වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ එක් එක් ශ්‍රාවකයාගේ බුද්ධිමත් බව පරීක්ෂා කිරීම මඟින් බව සූත්‍ර දේශනා පරිශීලනය කිරීමේ දී පෙනී යන කරුණක් වේ.

බෞද්ධ සමාජ සංකල්පය තුළ බුදුන් වහන්සේ සියලු දෙනාට ම අවබෝධ කර ගත හැකි, සියලු දුක් නසාලන ප්‍රතිපදාවක් දේශනා කොට ඇත. එය ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව අවබෝධ කර ගත හැකි ය. පැවිදි පක්ෂය වෙනුවෙන් ම නිවන් මඟ අවබෝධ කිරීමට හා සමාජයෙහි යහපත් ව ජීවත්වීමට අධිගමයන් ලැබීමට පෙන්වා දී නැත. ථේර ථේරී ගාථා මඟින් එය හොඳීන් ගම්‍ය වනු ඇත. ගිහි මහරහතන් වහන්සේ ද පැවිදි මහ රහතන් වහන්සේ මෙන් ම තමන් ලද ප්‍රීතිය උදාන වාක්‍ය මඟින් ප්‍රකාශ කොට ඇත.

සමාජයක් ගිහි පැවිදි අන්‍යොන්‍ය සබඳතා නොමැති ව පවත්වා ගෙන යා නොහැකි ය. එකම පාර්ශවයක් පමණක් සිටීම තුළින් ඔවුනට ඔවුන්ගේ කාර්යයන් සිදුකර ගෙන යෑමට නොහැකි ය.

සමාජයක් යහමඟට ගෙන යෑමට උපකාරී වන්නේ නිවන් මඟ අනුගමනය කරන ලෝකය තුළ සරු දෙය, නිසරු දෙය දන්නා පුද්ගලයන්ට ය. සිඟාලෝවාද සූත්‍රය තුළ ගිහි, පැවිදි යුතුකම් උඩ දිශාවට උපමා කරමින් සිඟාල ගෘහපතියාට දේශනා කොට ඇත්තේ පැවිදි පාර්ශ්වය විසින් කරුණු හයක් ඔස්සේ ගිහියන් වෙත යුතුකම් ඉටු කළ යුතු බවයි.

මහා මංගල සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය ආදී සූත්‍ර දේශනා මඟින් ද ඉහත කී සමාජ සංකල්ප දෙදරා නොයෑමට අවශ්‍ය වන උපදෙස් ලබා දී ඇති බව බෞද්ධ සමාජ සංකල්පය අධ්‍යයනය කිරීමේ දී අපට දැක ගත හැකි ය.