Print this Article


බුදුදසුන හා බුදුගුණ කියන බුදුදසුන හා බුදුගුණ කියන වන්දනා ගාථා

බුදුදසුන හා බුදුගුණ කියන වන්දනා ගාථා

නමාමි බුද්ධං ගුණසාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච

භාවනාව යනු මනස සංවර කරන ප්‍රධාන අවියයි. මනස සංවර වූ තරමට පුද්ගලයාට ධර්ම මාර්ගය තුළ ජීවත් වීමට හැකියාව ලැබේ. ඒනිසා මනසට ආරක්ෂාව ද ලැබේ.

එසේ මනසට ආරක්ෂාව ලබා දෙන භාවනා මාර්ග 04ක් ඉහත ගාථාව තුළින් ප්‍රකාශ වේ. චතුරා රක්ඛා හෙවත් චතුර් ආරක්ෂා යනුවෙන් හඳුන්වන එම භාවනා බුද්ධානුස්සති භාවනාව, මෙත්තා හෙවත් මෛත්‍රී භාවනාව, අසුභ හෙවත් පිළිකුල් භාවනාව හා මරණය පිළිබඳ මෙනෙහි කරන මරණානුස්සති භාවනාවයි.

අනුස්සති යනු සිහි කිරීමයි. බුද්ධානුස්සති යනු බුදුගුණ සිහි කිරීමයි.

නමාමි බුද්ධං ගුණ සාගරන්තං යනු සාගරයක් බඳු වූ අපරිමිත බුදුගුණ නමදිමි යනුයි.

සත්තා සදා හොන්තු සුඛී අවේරා යනු සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, වෛර නැත්තෝ වෙත්වා යන පැතුමයි. එය මෛත්‍රී භාවනාවයි.

කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ යනු කය දුගඳ හමන බැවින් එය පිළිකුල් කළ යුතු බව ය. එය අසුභ භාවනාවයි.

ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච යනු සියලු සත්ත්වයන් මෙන් ම (තමා ද) මරණයට පත් වන බව යි. එය මරණානුස්සති භාවනාවයි. මරණය ස්වභාව කොට ගෙන සියලු සත්ත්වයෝ ජීවත් වෙති. ජීවිතය ද මරණයෙන් කෙළවර වන්නේ ය.

“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තංහි ජීවිතං” යනුවෙන් බුදුදසුනේ එය සනාතන ධර්මයක් ලෙස විග්‍රහ කොට ඇත. මෙකී සනාතන දහම ප්‍රායෝගික ව පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මල් පූජා කිරීමේ දී අප භාවිත කරන ගාථාව පෙන්වා දිය හැකි ය. “පුප්ඵං මිලායාති යථා ඉදං මේ- කායෝ තථා යාති විනාස භාවං” යන ගාථාවේ සරල තේරුම වන්නේ මල් පරවන්නේ යම් සේ ද, එසේ ම කය ද විනාශ ස්වභාවයට පත් වන්නේ ය යනුයි.

බුදුදසුනෙහි ප්‍රධාන ඉගැන්වීම වන්නේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බවයි. ඒ නිසා ම ජීවිතය දුක් සහගත බවත්, එබැවින් “මම” ය “මාගේ” යැයි ගත හැකි ආත්මීය වූ කිසිවක් නොමැති බවත් බුදුදසුනෙහි ඉගැන්වෙන මුඛ්‍ය පණිවුඩයයි. එබැවින් බුදුදසුන වනාහි අනාත්මවාදී දහමකි. මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ දී අනාත්මවාදී දහම පිළිබඳ ව සඳහන් කරන්නේ

“උපනීයති ලෝකෝ අද්ධුවෝ” පුද්ගලයා ජරාවටත් මරණයටත් පත් වේ. එම නිසා (අධ්‍රැවයි) “අත්තනෝ ලෝකෝ අනභිස්සරෝ” ජීවිත ගමනේ යම් අවස්ථාවක අපගේ පිළිසරණට, අප ව අස්වසාලීමට යමකු නොමැත. “අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන්ති” යම් දිනක දී තමාට අයත් සියල්ල අත් හැර යා යුතු ය යනුයි.

“අත්තාහි අත්තනෝ නත්ථි” තමාට යම් දිනක තමා ද අහිමි වෙයි. මේ තත්ත්වය කිසිවකුට ඉක්මවාලිය ද නොහැක්කේ ය. “මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති” යනුවෙන් ජීවිතයේ අනිත්‍ය ස්වභාවය බුදුදසුන තුළ විවිධාකාරයෙන් විග්‍රහ කොට ඇත.

බුදුදසුනෙහි සංක්ෂිප්තය වන්නේ සියලු පාපයන් දුරු කිරීමත්, කුසලයන් රැස්කීරිම හෙවත් සමාධියට සිත යොමු කිරීමත්, සිත පිරිසුදු කිරීම එනම් ප්‍රඥාවෙන් සිත පිරිසිදු කිරීමත් ය. එය නිර්වාණය හෙවත් බුදුදසුන තුළ ඉගැන්වෙන පරම සත්‍යයට ප්‍රවිෂ්ට විමේ මාර්ගය ද වන්නේ ය. අප විසින් පිළිපැදිය යුතු මෙකී ධර්ම මාර්ගය ඛුද්දක නිකායේ ධම්මපදය තුළ අන්තර්ගත වී ඇත්තේ, බුදුදසුනෙහි ඉගැන්වෙන නිර්වාණගාමී මාර්ගයට ප්‍රවිෂ්ට වීමට උපකාරි වන බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය ත්‍රිශික්ෂා නම් වේ. එනම් සීල, සමාධි හා ප්‍රඥා යනුයි.

සබ්බ පාපස්ස අකරණං හෙවත් සියලු පව් නොකිරීම යනු “සීල” නම් වූ ශික්ෂාව පරිපූර්ණ කිරීමයි.

එහි කුසලස්ස උපසම්පදා යනු කෙලෙස් යටපත් කිරීමයි. එය සමාධියට සිත යොමු කිරීමකි.

සචිත්ත පරියෝදපනං යනු ප්‍රඥාවෙන් සිත දියුණු කිරිමයි. මේ අනුව ඉහත ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුදුදසුනෙහි අනුපුර්ව ප්‍රතිපදා මාර්ගය ලෙස සැලකෙන සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව යි.

පහන් දැල්වීම ද ආගමික වතාවත්වල දී නිරන්තරයෙන් සිදු කරනු ලබන චාරිත්‍රයකි. බුදුදසුනට අනුව පහන් දැල්වීම හා දැල්වූ පහන නිවීම මරණානුස්සති භාවනාවට සිත යොමු කිරීමකි. බුදුදසුනට අනුව ජීවිතයක අවසානය හෙවත් මරණය සිදු වන ක්‍රම 04කි. ඒ බව “ආයුක්ඛයෝ කම්මක්ඛයේන උභයක්ඛයේන උපච්ජේදක කම්මනාචේති චතුධා මරණංචාති නාම” යනුවෙන් සඳහන් වේ. අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දැක්වෙන පරිදි ජීවිතයක් මරණයකින් කෙළවර වීම පහන නිවිමේ ක්‍රියාවලියට උපමා කර ගෙන දක්වා ඇත්තේ පහත පරිදි ය.

ආයුක්ඛය මරණය හෙවත් ආයුෂය අවසන් වීමෙන් සිදු වන මරණය දැල් වූ පහන් වැටිය අවසන් වීමෙන් පහන නිවී යාමක් වැනි ය.

එසේ ම කම්මක්ඛය මරණය හෙවත් කර්මය අවසන් වීමෙන් සිදු වන මරණය පහනේ තෙල් අවසන් වීමෙන් පහන නිවී යාමක් හා සමාන ය.

උභයක්ඛය මරණය හෙවත් කර්මය හා ආයුෂය යන දෙක ම අවසන් වීමෙන් සිදු වන මරණය පහන් වැටිය හා පහනේ තෙල් අවසන් වීමෙන් පහන නිවීයාම හා සමාන ය.

උපච්ජේදක මරණය හෙවත් කර්මය හා ආයුෂ තිබිය දී අතුරු අන්තරායකින් සිදු වන මරණය පහනේ තෙල් හා පහනේ වැටිය එසේ ම තිබිය දී සුළං වැදීම වැනි අනපේක්ෂිත ක්‍රමයකින් පහන නිවී යාම හා සමාන ය.

පහන් ආලෝකයෙන් අන්ධකාරය දුරු වී ආලෝකය උදාවීම අවිද්‍යාවේ අන්ධකාරය දුරු වී, ප්‍රඥාවේ ආලෝකය උදා වී, නිර්වාණාවබෝධය ලබා දීමේ සිහි කැඳවන බෞද්ධ ක්‍රියාවලියට ද උපමා කර ඇත. නිර්වාණාවබෝධය යනු ආලෝකය උදාවීමයි. ආලෝකෝ උදපාදි යනුවෙන් ධර්මයේ දැක්වෙන්නේ එම ක්‍රියාවලිය යි.

බුදුවදනට සවන් දුන් අන්‍ය ශ්‍රාවකයෝ ධර්මාවබෝධය තුළින් ආර්ය මාර්ගඥානාලෝකය ලැබීම පිළිබඳ ව උදම් ඇනුවේ “ අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති” යනුවෙනි.

අඳුරෙහි පහනක් දරන්නාක් මෙන්, ඇස් ඇත්තෝ රූප දකින්නා සේ ධර්ම ඥානය උදා වූ බව එයින් ප්‍රකට වෙයි.

එසේ ම අප චෛත්‍යය වන්දනා කිරීමට අනාදිමත් කාලයක සිට භාවිත කෙරෙන

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු’ පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධරූපං සකලං සදා

යන ගාථාව ද ශාරිරීක, පාරිභෝගික හා උද්දේසික යන බුදුදසුනෙහි ඉගැන්වෙන ත්‍රිවිධ චෛත්‍ය එකවර වැඳීමට උපයෝගි කර ගන්නක් බව එම ගාථාවේ අදහසින් සනාථ කරවයි.

බෝධීන් වහන්සේට වන්දනා කරන්නේ “යස්සමූලේ නිසින්නෝව” යන ගාථාව සජ්ඣායනා කරමිනි.

නොසැලෙන, අධිෂ්ඨානශිලී වීර්යයෙන් යුතු ව සියලු අභියෝග ජය ගෙන බුද්ධත්වය අවබෝධ කළ උතුම් වීර්ය පාරමිතා ගුණය ආවර්ජනා කරමින් ඒ සඳහා උපකාරී වූ බෝධි හෙවත් ආර්ය මාර්ග සංඛ්‍යාත ඤාණයත් සිහි කරමින් බෝධි වන්දනය සිදු කරයි. එය බුදුගුණ ආවර්ජනා කිරීමකි.

ආරක්ෂක දේශනාව හෙවත් පිරිත් දේශනාව අවසානයේ දී “දේවෝ වස්සතු කාලේන සස්සසම්පත්ති හෝතු ච” යන ගාථාව සජ්ඣායනය කරන්නේ දෙවියෝ සුදුසු කල්හි වැසි වසිත්වා, ධාන්‍ය සම්පත්තිය වැඩිදියුණු කරත්වා යන්න ප්‍රාර්ථනා කිරීමටයි. එදිනෙදා වන්දනා මාන සඳහා අප ව්‍යවහාර කරන ගාථා තුළින් ප්‍රකාශ කෙරෙන බුදුගුණ හා බුදුදසුන අවබෝධ කර ගැනීමට කාලය පැමිණ ඇත.