Print this Article


සැනසුමට මඟ බුදුසරණ ම ය

සැනසුමට මඟ බුදුසරණ ම ය

ජීවිතයේ සැනසුම උදා කර ගත හැකි වන්නේ බුදු මඟ අනුගමනය කිරීමෙන් බව පැහැදිලි ය. බුදු මඟ අනුගමනය කරන්නා බුදුසරණ ලබන්නේ ය යන්නෙහි අදහස එය වේ.

බුදුරදුන් තුළ තිබූ ගුණයන් අතර විජ්ජාචරණ ගුණය බුදුසිරිත ඔපවත් කළ විශිෂ්ට ගුණයකි. එය ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ගුණ යනුවෙන් අර්ථවත් වේ. ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යාවන් බුදුරදුන් සතු ඤාණ විශේෂයන් වන අතර, පසළොස් චරණ ධර්මයන් ගුණ විශේෂයන් වේ. එම ගුණ විශේෂයන් තුළ පිහිටා සිටීම, එම ගුණ ස්වකීය ජීවිතයේ භාවිතාවට ගැනීම, බුදු මඟ අනුගමනය කිරීමයි. කෙනකුට බුදුසරණ ලැබිය හැක්කේ ඒ ආකාරයෙනි. ඒ ධර්ම අනුගමනයෙනි.

ඒ අනුව පළමු චරණ ධර්මය සීලය යි. සීලය, ආත්ම ශික්ෂණයට, වරදින් නිදහස් වීමට අවශ්‍ය කෙරෙන මූලික පදනමයි. පුද්ගල ජීවිතයක් ආදර්ශවත් ජීවිතයක් බවට පත්වන්නේ ශීලය පදනම් කර ගෙන ය. මෙහි දෙවැන්න ලෙස දැක්වෙන්නේ ඉන්ද්‍රිය සංවරය යි. චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්‍රියයන්ගේ සංවරය යි. පාලනය යි.

“චක්ඛුනා රූපං දිස්වා, න නිමිත්තග්ගාහී හෝති,

නානුඛ්‍යඤජනග්ගාහී, ආදී වශයෙන් ඉන්ද්‍රියයන් සියල්ල සංවර කර ගත යුතු ආකාරය දක්වා ඇත.

ඇසින් රූපයක් දුටු විට එය නිමිති, අනුනිමිති වශයෙන්, ශුභාශුභ වශයෙන් ගෙන එම අරමුණ නිමිති කොට, ඇලීම්, ගැටීම් ඇති කර නොගත යුතු බව පැහැදිලි කොට ඇත. අරමුණෙහි යථා ස්වරූපය වටහා ගැනීම නිසා, අවබෝධයෙන් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගත හැකි ය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන සියල්ල අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන කල ඉන්ද්‍රියයන්ට ගෝචර වන්නා වූ අරමුණුූ කෙරෙහි මැදහත් ව යථාර්ථාවබෝධයක් ඇති කර ගත හැකි ය.

ඊළඟ චරණ ධර්මය වන්නේ ආහාරයෙහි පමණ දැනීම යි. නොයෙක් දෙනා නොයෙක් අරමුණුූ ඇති ව ආහාර ගනිති. එහෙත් ආහාර ගත යුත්තේ ආහාරයේ ප්‍රයෝජනය සලකාගෙන ය. කය පවතිනු පිණිස, දිවි නොනැසෙනු පිණිස ය. උපන් සාගිනි නැති කර ගනු පිණිස ය. පීඩා දුරු කරනු පිණිස ය, ත්‍රිශික්ෂා සංඛ්‍යාත ශාසන ප්‍රතිපත්තිය පිරිය හැකිවීම පිණිස ය. පිණ්ඩපාත ප්‍රත්‍යාවේක්ෂාවේදී සිහි නුවණින් ආහාරයේ ප්‍රයෝජනය සලකා ම ආහාරගත යුතු බවත්, ආහාරයෙහි පමණ දත යුතු බවත් මැනවින් දක්වා ඇත්තේ ය.

ජාගරියානුයෝග යනු නිදිවැරීම යි. නිදීමෙන් කාලය අපතේ නොයවා, ධෛර්යයෙන් කාමච්ඡන්දා දී නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීමෙහි යෙදෙයි. උපන් නීවරණයන්ට සිතෙහි පවතින්නට ඉඩ නොදී ඒවා වහා ම සිතින් බැහැර කරයි. ඒ අනුව එම චරණ ධර්මයෙන් අදහස් කරන්නේ නිදි වරා කෙලෙසුන් දුරු කිරීමේ ව්‍යායාමය යි. සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම යි.

එතැන් පටන් ඇති චරණ ධර්ම දක්වා ඇත්තේ සප්ත සද්ධර්ම යන නමිනි.

‘සද්ධා, හිරි, ඔත්තප්ප, බහුශ්‍රැත බව, වීය¸ය, ස්මෘතිය, ප්‍රඥාව යන චරණ ධර්ම නිවන් අරමුණුූ කොට ප්‍රතිපදාව පුරන සත්පුරුෂයන් තුළ අනිවාර්ය වශයෙන් පවතින දියුණුූ කෙරෙන ධර්ම සතකි. ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි වූ ප්‍රසාදය යි. විශ්වාසය යි. ආර්ය ශ්‍රාවකභාවයට පත්වන්නෝ, අචල ශ්‍රද්ධාවක් ඇති අය වේ. දැන, දැක ඇති වූ ප්‍රසාදයක් හෙයින් කිසි ලෙසකිනුත් වෙනස් නොවේ. හිරි යනු ලජ්ජාවයි. පව්කම්, දස අකුසල් කිරීමට ඇති ලජ්ජාවයි. පව පිළිකුල් කිරීමයි. ඔත්තප්ප යනු බය යි. පවට, අකුසලයට ඇති බය යි. එනිසා පව පිළිකුල් කර යි. බහුශ්‍රැතභාවය යනු සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් මැනවින් දරා සිටීමයි. නිවන් අවබෝධයට අදාළ ධර්මය විෂයයෙහි පවත්නා බහුශ්‍රැතභාවය යි.

අකුසල ප්‍රහාණයෙහි, කුසලයන් වැඩීමෙහි නොපසුබස්නා බව වීය¸ය යි. ආර්ය මාර්ගයෙහි සම්මා වායාමය යි. සතර සම්‍යක් ප්‍රධාන වීය¸ය යි.

සතිය යනු මීළඟ චරණ ය යි. සතර සතිපට්ඨානාදී භාවනාවෙන් දියුණුූ කළ සිහිය සතිය යි. නාම - රූප සංස්කාරයන්ගේ ඇතිවීම, නැතිවීම වටහා ගන්නා නුවණ ප්‍රඥාවයි. ඒ සඳහා විදර්ශනා භාවනා වැඩිය යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාව වූ සංස්කාරයන්ගේ ස්වභාවය අවබෝධය යි. රූපාවචර ධ්‍යාන සතර ද චරණ ධර්මයන්ට ඇතුළත් ය.

බුදුසරණ ලැබීමට නම් මේ චරණ ධර්ම පිරිය යුතු වේ. අනුගමනය කළ යුතු වේ. පසුගිය වසරක කාලය තුළ බුදුසරණ ලැබීමට අදාළ බුදු මඟ අනුගමනය කළේ දැයි ඔබට ප්‍රත්‍යවේක්ෂා කළ හැකි ය. සිහි නුවණින් සලකා බැලිය හැකි ය. මෙම පසළොස් චරණ ධර්ම භාවිතයෙන් පුද්ගල සන්තානය නිවන් මඟට යොමුවන හෙයින් මෙම ධර්ම තම ජීවිත භාවිතාව බවට පත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතු ය.

කුසල පාක්ෂික ජීවිත භාවිතාවක් ඇති ධර්මචාරී පුද්ගලයන්ගෙන් යුත් දැහැමි සමාජයක් ගොඩනැඟීමට සියල්ලෝ උත්සාහ ගනිත්වා.