Print this Article


හිසට සාදාගත් සෙවණ හිතට නිවනක් කර ගන්න

හිසට සාදාගත් සෙවණ හිතට නිවනක් කර ගන්න

දහමේ ඉගැන්වෙන සතුට දෙයාකාර ය. සාමිශ සහ නිරාමිශ යනුවෙනි. යමක් ලබාගෙන විඳින සතුට සාමිශ සතුටයි. අත්හැරීමෙන් ලබන සතුට නිරාමිශ සතුටයි. බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරාමිශ සතුට ම භුක්ති වින්දෝ ය. එය වර්ණනා ද කළහ.

මඟඵල නොලැබූ පුහුදුන් අය නිරාමිශ සතුටට වඩා සාමිශ සතුට විඳිති. එය අගය කරති. ඇසින් පි‍්‍රය රූපත්, කනින් පි‍්‍රය ශබ්දත්, නාසයෙන් හොඳ සුවඳත්, දිවෙන් රස පහසත්, කයෙන් සුබ පහසත්, මනසින් පි‍්‍රය අරමුණුත් ගෙන විඳිමින් සතුටු වෙති. ලෝක ස්වභාවය එයයි. බුදුරජාණන් වහන්සේ මේ ලෞකික සතුට ප්‍රතික්ෂේප නොකළහ. වර්ණනා කළේ ද නැත.

පෘථග්ජන පුද්ගලයාට අරමුණුවලින් විඳගන්නා සතුට සදාචාරාත්මක සීමාවක් තුළ විඳගැනීම ගැන දහමේ විරෝධයක් නැත. අංගුත්තර නිකාය අණන සූත්‍රයේ දී පුද්ගලයකුට ලැබිය හැකි සැප හතරක් ගැන බුදුන් වහන්සේ වදාළහ.

එනම් තමාට යමක් ඇත යන සතුට (අත්ති සුඛ)

තමාට හිමි සම්පත් නිසි සේ පරිභෝජනය කරනවා යන සතුට (භෝග සුඛ)

තමා අනුන්ට ණය නැත යන සතුට (අණන සුඛ) සහ

නිවැරැදි ව උපයා ගෙන ජීවත් වෙනවා යන සතුට (අනවජ්ජ සුඛ) යනුවෙනි. මෙලොවත්, පරලොවත් දෙක ම රැක ගෙන, තමන්ටත්, අනුන්ටත් හානියක් නොවන පරිදි සතුටින් ජීවත්වීම බුදුදහම අනුමත කර ඇති බව පැහැදිලි ය.

පවුල තුළ සාමය, සමඟිය, සංහිඳියාව සහ නිරවුල් බව මුළු සමාජයේ ම පැවැත්මට හේතු වේ.

පවුල් පරිසරය තුළ පැවතිය යුතු සාමකාමී යහපත් තත්ත්වය පිළිබඳ දේශනා රාශියකි. සිඟාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය, කරණීය සූත්‍රය, අණන සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වේළුද්වාර සූත්‍රය, ධම්මික සූත්‍රය කිහිපයක් පමණි. එම උපදෙස් එදා සමාජයට මෙන් ම අද සමාජයට ද එක සේ වැදගත් ය.

වර්තමාන සමාජය සංකීර්ණ ය. මිනිස්සු සතුට සොයා ජීවිත අරගලයක යෙදී සිටිති. එය අසමඟිය, බිඳවැටීම, ඉක්මන් කර ඇත. පවුල් ජීවිත තුළ අඬදබර බොහෝ ය. වැඩිහිටියෝ තම තමන්ගේ ලෝකවල අතරමං ව සිටිති. දූ දරුවෝ ද තමන්ට ආවේණික ගැටලු අතර තම තමන්ගේ ලෝක මවාගෙන ජීවත් වෙති. ළමා ලෝකය අහිමි වී තිබේ. ගැටුම්, අසමගිකම් දරුවන්ගේ ජීවිතවලට ඛේදනීය ලෙස බලපා ඇත. නවීන විද්‍යාත්මක මෙවලම් ළමයා සම්පූර්ණයෙන් ම අතරමං කර ඇති බව පෙනේ.

දරුවන් මේ තත්ත්වයෙන් මුදා ගැනීමට සම්බුදු දහහමේ මඟපෙන්වීම සහ ආශිර්වාදය වැදගත් වනු ඇත.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මය රකින්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනු ඇත.

දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ගේ ජීවිතවලට ආරක්ෂාවකි. අවහිරතා දුරු කොට දහම් අධ්‍යාපනයට දරුවන් යොමු කළ යුතු ය. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය වැදගත් ය. වැඩිහිටියන්ගේ පෙළඹවීම මෙන් ම වැඩිහිටි ආශිර්වාදය ද දරුවන්ගේ සංවර්ධනයට බෙහෙවින් වැදගත් ය.

ස්වාමි, භාර්යා සුහද සම්බන්ධතාව පවුලේ අභිවෘද්ධිය යි. වාද විවාද, අඬදබර පවුලේ සංහිඳියාවට බාධා ඇති කරයි. අංගුත්තර නිකාය සංවාස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පවුලේ ප්‍රධාන දෙදෙනා වන සැමියා සහ බිරිඳ දෙවියෙක් සහ දෙව්දුවක් ලෙස කටයුතු කළ යුතු බව දේශනා කළහ.

“දේවෝ දේවියා සද්ධිං සංවසති” යනුවෙන් වදාළහ.

නකුළ මාතා සහ නකුළ පිතා යන දෙපළ බුදුහිමියන්ගේ ප්‍රශංසාවට ලක් වූයේ ඔවුන් තුළ පැවති සාමකාමී, සහජීවන පැවැත්ම හේතුවෙනි. මෙම ආදර්ශවත් මව්පිය දෙපළ ළඟ තිබූ යහපත් ගුණ හතරක් බුදුන් වහන්සේ ‘සමජීවි’ සූත්‍රයේ දී දේශනා කළහ. එනම්, සම සද්ධා, සම සීල, සමචාග සම පඤ්ඤා ගුණධර්ම හතරයි. මින් අදහස් වන්නේ ස්වාමියාත්, භාර්යාවත්, සමාන ගුණධර්මවලින් සමාන අදහස්වලින් සමන්විත විය යුතු බවයි. එවිට ආරවුල්, කලකෝලාහලවලින් තොර වූ යහපත් පවුල් පරිසරයක් සකස් වේ.

වැඩිහිටියන් දූ දරුවන්ට ආදර්ශවත් ව කටයුතු කළ යුතු ය. “තමා සම්මතයෙහි පිහිටා “ සිට දරුවන්ට අවවාද උපදෙස් ලබා දිය යුතු අතර, නිතර ම දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා කැප විය යුතු ය. දරුවන්ගේ දියුණුව, අධ්‍යාපන අවශ්‍යතාවන් මනා ලෙස සපුරාලිය යුතු අතර ආදරය, සෙනෙහස, යොමු විය යුතු ය. දූ දරුවන්ට ඇහුම්කන් දීම සෑම වැඩිහිටියකුගේ ම වගකීමකි. දරුවන් නොසලකා හැරීම තුළින් හා ළමා හිංසනය, විවිධ අතවරවලට ලක්කිරීම තුළින් දරුවන්ගේ ජීවිත මහත් ව්‍යසන, විපත්තිවලට භාජනය වේ. දෙමව්පියන් වැඩිහිටියන් ඒ පිළිබඳ නිරන්තර සැලකිල්ලෙන් කටයුතු කළ යුතු අතර, “වුද්ධාපචායනය” එනම් වැඩිහිටියන්ට සැලකීම, ගරු කිරීම, අවවාද අනුශාසනා පිළිගැනීම, චරිතවත් බව තුළින් නිවස තුළ සදාචාරාත්මක, සංසිඳුණු පරිසරයක් නිර්මාණය වනු ඇත.

“මගේ නිවන මගේ පැල්පතයි” යනුවෙන් කිව හැක්කේ එවිට ය.

බොහෝ විට අසමඟිකම් වර්ධනය වන්නේ අනවශ්‍ය වාද විවාද, අනවබෝධය, වැරැදි ලෙස වටහා ගැනීම්, අන්‍යොන්‍ය විශ්වාසය බිඳවැටීම, අවිශ්වාසය, සැකය වැනි කාරණා නිසා ය. ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්න ද, තමා අනෙකාට වඩා වැදගත් ය, උසස් ය, ආදි වශයෙන් ආත්මාර්ථකාමී සිතිවිලි හේතුවෙන් ද පවුල් අවුල් වන තත්ත්ව උද්ගත වෙයි. මෙහිදි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මානව ගුණධර්ම මේ තත්ත්වයන් සමනය කර ගැනීමට උපකාරි වන බව සඳහන් කළ යුතු ය.

සමානාත්මතා ගුණය ඇති කර ගත යුතු ය. සෑම කෙනකුගේ ම, ජීවිතවල වටිනාකමක් ඇති බව වටහා ගත යුතු ය. අන්‍යොන්‍ය ගෞරවය, විශ්වාසය සෑම කෙනෙක් ම පිළිගත යුතු අතර මමත්වය සහ ආත්මාර්ථකාමි හැඟීම් නැති කර ගෙන නිවස තුළ කටයුතු කිරීමට සෑම වැඩිහිටියකු ම වගබලා ගන්නේ නම්, පවුල් ආරවුල් අවම කර ගත හැකි ය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වර්තමාන සමාජ පවුල් පසුබිම තුළ දක්නට ලැබෙන මහා ඛේදවාචකයක් බවට පත්ව තිබේ. පවුලට අලුතින් එකතු වන (මව හා පියා නැති වූ විට) සුළු පියා, සුළු මව වැනි චරිත නිසා බොහෝ පවුල්වල මෙම දුක්ඛදායක තත්ත්වය උද්ගත වී ඇත. මෙහිදී ඔවුන්ගේ අනාදරයන්ට හසුවන දරුවෝ විවිධ හිරිහැර, අතවරවලට ලක්ව අසරණ ව ජීවිත ගත කරති. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා “ යන බුද්ධ වචනය මෙහි දී සිහිපත් කළ යුතු ය. සෑම දරුවකු ම තම දරුවකු ලෙස සලකමින් කටයුතු කළ යුතු බව දහමේ නිර්දේශය යි.

සෑම පුද්ගලයකු ම තම භූමිකාව අවබෝධ කර ගත යුතු ය. තම යුතුකම්, වගකීම් හඳුනාගෙන ඒවා සපුරාලිය යුතු ය. ධර්මය ජීවිතයට ප්‍රායෝගික ව සම්බන්ධ කර ගෙන, ධර්මානුකූල ව ජීවිතය සකස් කර ගන්නා යහපත් පවුල් පරිසරය තුළින් නිවස ජීවත්වීමට සුදුසු යහපත් තැනක් බවට පත්වේ.

එම පරිසරය තුළ දූ දරුවන් ද මව්පිය, වැඩිහිටියන් ද සතුටින් ජීවත් වනු ඇත. අඬදබර තුරන් ව සාමය, සතුට ඒ නිවස තුළ උද්ගත වනු ඇත. හිසට හදාගත් සෙවණ හිතට නිවනක් වන්නේ එවිට ය.