මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වය සදන අනුත්තරිය ධර්ම
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
අපි හැමවිට ම උත්සාහවත් වෙන්නේ ඉහළම තැනට යාමට යි. ඉහළම සැප ලබා ගැනීමටයි.
පාසලේ ඉගෙනුම ලබන දරුවා පන්තියේ පළමු වැනියා වීම, පන්තියේ සියලු ම ළමුන්ට වඩා ඉහළ
තැනක සිටීම, ක්‍රිඩාවට ගියා නම් එයින් පළමු තැන ලැබීම, ධාවන තරගයට ගියහම එයින් පළමු
තැන ලැබීම, බලයෙන්, ධනයෙන්, වත්පොහොසත්කම්වලින් අනිකුත් අය අභිබවා ඉහළ ම තැනට
පත්වීම කියන මේවා තමයි මේ පෘතග්ජන ස්වභාවයට අනුව අපි කාගේත් පැතුම වන්නේ. අප මෙහි
දී මේ කියන සිතිවිලි ක්‍රමයේ වරදක් දකිනවා නොවෙයි. ධර්මානුකූල ව සිතා බැලීම
වැදගත්කමයි අවධාරණය කළ යුතු වන්නේ. මේ චින්තන රටා අපට උරුම වෙලා තිබෙන්නේ අපි
හැමවිට ම ආශාව, මුළාව වගේ ම තරහ, වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් ගතිවලින් යුක්ත වන
නිසා. තරගයේ දී තමන්ගේ දරුවා ඉහළ තැනකට ඔසවා තැබෙනවා නම්, ඒක තමා මව්පියන්ගේ
ප්‍රාර්ථනාව.
ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො යන
බුදු වදන අනුව නම් ඉහළ ම ජය තවත් අයකුගේ වෛරයට හේතු වෙනවා. පරාජිතයා දුකින්
තැවෙනවා.
බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා අතර එනවා අනුත්තරිය සුත්ත කියලා සූත්‍රයක්.
මෙයින් විස්තර කොට දක්වා තිබෙන්නේ ධර්මානුකූල ව අපේ සිතිවිලි, ආකල්ප ශුභවාදී ව සකස්
කර ගැනීමෙන්
ඉහළ ම තැනට ගමන් කරන ආකාරය යි. ඉහළ තැන ලබා ගන්නා ආකාරය යි. එහිදී
බුදුරජාණන් වහන්සේ අනුත්තරිය ධර්ම හයක් පැහැදිලි කර තිබෙනවා. ඒ වගේ ම උන්වහන්සේ
එහිදී මුලින් ම පෙන්වා දී තිබෙන්නේ ඉහළ ම ස්ථරය, නැති නම් තවත් ඊට අභියෝග කළ නොහැකි
තත්වයක් අනුත්තරිය අර්ථයෙහි ඇති බවයි. තවත් විදියකින් කියනවා නම්, ඒ ඉහළ ම තත්වයට
ගියාට පස්සේ ඉන් එහාට ගිය තවත් උත්තරයක් සොයා ගත නොහැකි බවයි. එහිදී පෙන්වා දෙන
උත්තරිය හෙවත් ශ්‍රේෂ්ඨ ධර්ම හයක් තිබෙනවා. පළමු වැන්න තමා දස්සනානුත්තරිය කියන
තත්වය. සුන්දරම දර්ශනය කුමක් ද? ශ්‍රේෂ්ඨ දැකීම කියන මේ කරුණ. අද තමන්ගේ හිත්ගත්
සුන්දරම රූපය තමන් සතු කර ගන්නට නොහැකි වූ බොහෝ අවස්ථාවල ජීවිත හානි පවා සිදු කර
ගන්න අවස්ථා කොපමණවත් තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා මේ ලෝකයේ පුහුදුන් පුරුෂයාට ස්ත්‍රී රුපය වගේ ම,
පුහුදුන් ස්ත්‍රියට පුරුෂ රුපය තරම් සිත් ගන්නා දෙයක් නැති බව. මේ නිසා මේ රූප තමන්
සතු කර ගන්නට යාමෙන් මොනතරම් ගැහැට විඳීන අවස්ථා තිබෙනවා ද? ඉතින් ඒ නිසා විවිධ
රන්රුවන්, මුතු මැණික්, යාන වාහන, ස්ත්‍රිපුරුෂ දර්ශන මේ දස්සනානුත්තරියට වැටෙන්නේ
නැහැ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ජීවමාන බුදුරුව, එසේත් නැති නම් බුද්ධ ප්‍රතිමාව,
සන්සුන් ඉන්ද්‍රියයන් ඇති භික්ෂූන් වහන්සේගේ රුව, එහෙමත් නැති නම් තමන්ට සසර ගමන
නැවැත්මට උපකාර වන අසුබ දර්ශනයක්, මළ කඳක් වුව ද දැක්ම සැනසීම පිළිබඳ ධර්මානුකූල
සිතිවිලි ගොඩනඟා ගැනීමට හේතු වන නිසා එය දර්ශනයක් බවට පත් වන බවයි.
ඊළඟට අපේ වැදගත්ම ඉන්ද්‍රියයක් වන කණ නිසා අපි යම් දෙයක් ශ්‍රවණය කරනවා. අපට ඇහෙන
විවිධ ශබ්ද අතර ව්‍යාජ ගුණ කථා, ඕපාදූත, විවිධ සංගීත ගායනා, ස්ත්‍රී පුරුෂ කටහඬ ආදි
මේ කියන ශබ්දවලට අපි මහත් ආශාවෙන් කණ යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා
ශ්‍රද්ධාව මැනවින් වැඩි දියුණු කළ අයට නිතර ම බණ කථා, තෙරුවන් ගුණ, ත්‍රිපිටක බුද්ධ
වචනය නිතර ඇහෙන්නට ලැබෙනවා නම්, එය ඉහළ ම, ප්‍රිය ම ඇසීම බවට පත්වෙන බව. එය
සවණානුත්තරිය බවයි.
අපට ලැබෙන විවිධ ලාභ ප්‍රයෝජන අතර සසර පැවැත්මට නොව නැවැත්මට හේතු වන්නේ සද්ධා,
සති, හිරි, ඔත්ත්ප්ප, සුත, චාග, පඤ්ඤා යන මේ සප්තාර්ය ධනය යි. ඒවා ලැබෙන ආකාරයෙන්
ජිවන පැවැත්ම සකසා ගත යුතු වීමේ වැදගත්කම අවධාරණය කරනවා.
ඉගෙනීම අතර ඉහළ ම ඉගෙනීම, ශික්ෂණය කුමක් ද යන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන
සික්ඛානුත්තරිය වන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට
ලබන ශික්ෂණය බව. තෙරුවන් විෂයයෙහි දක්වන වත් පිළිවෙත් ජිවිතයට හුරු කර ගැනීම, මහත්
ශ්‍රද්ධාවෙන් සිල්වත් ගුණවත් උතුමන්ට දන් පැන් දෙමින් කරනු ලබන ඇප උපස්ථාන කටයුතු,
බුදුරජාණන් වහන්සේ පාරිචරියානුත්තරිය වශයෙන් හඳුුන්වා දී තිබෙනවා.
සිතට ආශාව, තරහ, වෛරය , මුළාවීමට හේතු වන කරුණුවලින් බැහැරට ගිය බුද්ධාදි
රත්නත්‍රයේ ගුණ මෙනෙහෙි කරමින්, ඊට අනුගත ව තමන් තුළ එම ගුණ දරා, එම ගුණයන්හි
අංශුමාත්‍රයක් හෝ වැඩි දියුණු වන ආකාරයෙන් හැමවිට ම දවස ගත කිරීමට හෝ ලොව පවත්නා
පරම අනිත්‍යය සිහියෙහි පිහිටුවා ගෙන තම සිත සකස් කර ගැනීම අනුස්සතානුත්තරිය යි.
ඒ නිසා බුදුදහමෙහි විස්තර වන මේ ඉහළ ම ආධ්‍යාත්මික සංකල්පනාවන් හා ඊට අනුව
පෙළගැසුණු චර්යාවන් හය මේ ආකාරයෙන් අනුත්තරිය ධර්ම ලෙස බුදුරජාණන් වහන්සේ මෙම
සූත්‍රයෙන් පෙන්වා දුන්නා. |