Print this Article


අපේ උරුමය වැවයි දාගැබයි

අපේ උරුමය වැවයි දාගැබයි

ලංකා ද්වීපය කුඩා දිවයිනක් වුවත් එයට, ඓතිහාසික වටිනාකමක් ඇති සජීවී සංස්කෘතික උරුමයක් තිබේ.

ඒ සංස්කෘතියේ ඇති විශේෂත්වය නම් ‘සත්වයන්ගේ සහ ස්වභාව ධර්මයේ පැවැත්මට අනුකූල වූ ත්, මනුෂ්‍ය ප්‍රජාවගේ බාහිර හා අභ්‍යන්තර සංවර්ධනයට අවශ්‍ය වූ ත් හර පද්ධතියක් අන්තර්ගත වීමයි. එය ප්‍රදර්ශනය කෙරෙන්නේ වැවයි, දාගබැයි, ගමයි, පන්සලයි යන සංකේතවලින් ය.

වැවෙන් අර්ථවත් කෙරෙන්නේ මිනිසුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය භෞතික සංවර්ධනය යි. එම සංවර්ධනය උදාකර ගත යුතු වන්නේ සියලු සත්වයන්ගේ සහ ස්වභාව ධර්මයේ පැවැත්මට බාධාවක් නොවන ලෙසින් හෙවත් උතු නියාමයට හා බීජ නියාමයට අනුකූල ව ය.

එවැනි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක ඇති සුවිශේෂී ලක්ෂණය නම්, තිරසර සංවර්ධනයක් වීමත්, අනාගතයේ දී තව තවත් ප්‍රවර්ධනය කිරීමට හැකියාව පැවතීමත් ය. එය ලාංකික වාපි සංස්කෘතියේ පැහැදිලි ව ඇත.

වාපි සංස්කෘතියේ මූලධර්මය නම් ස්වභාව ධර්මය විකෘති නොකරමින් එම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමත්, අනාගතයේ දීත් ආර්ථික ප්‍රවර්ධනයට අවස්ථාව විවෘත ව පැවතීමත් ය. එනිසා වර්ධනය වන්නා වූ ලාංකේය ජනගහනයට අවශ්‍ය තරම් ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාණවත් වන්නා වූ ස්වභාවික සම්පත් ලක්බිම තුළ ආරක්ෂා වී ඇත.

“ඌනො ලොකො අතින්තො තණ්හා දාසො.” තණ්හාවට දාසයකු වූ මිනිසා නිතර ම ජීවත් වන්නේ සම්පූර්ණ නොවූ ආශාවන් ඇතිව ය. මෙය බුද්ධිමත් ව අවබෝධ කර ගත් පැරැණි ලාංකිකයෝ, මිහිකතට වධ නොදෙමින් තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයක් උදා කර ගත්හ. එහි පදනම වූයේ යථා ලාභ, (සුදුසු පරිදි ලැබෙන දෙයින් සතුටට පත්වීම), යථා බල (තමාගේ ශක්තියේ ප්‍රමාණය දැනගෙන කටයුතු කිරීම), යථා සාරුප්ප (තමාට සහ අන්‍යයන්ට ගැළපෙන ලෙසින් කටයුතු කිරීම) යන දැක්ම ය.

මේ දැක්ම ඇති ලාංකිකයෝ අත්ථිසුඛය (ජීවත් වීමට ප්‍රමාණවත් ධනයක් ඇතිව සිටීම) අණනසුඛය (සමාජයට ණය නොවී ආර්ථික ශක්තියක් ඇති ව සිටීම) භෝගසුඛය (නිවැරැදි ව ධනය පරිභෝග කිරීම) අනවජ්ජසුඛය (තමාටත්, අනුන්ටත් විපතක් නොවන ලෙසින් මෙලොව - පරලොව ශක්තිමත් කෙරෙන නිවැරැදි ජීවිතයක් ගත කිරීම) වැනි සැපවලින් පිරිපුන් ජීවිතයක් ගතකිරීමට මාර්ගෝපදේශය ලබා දීමයි. මේ තිරසාර ජීවන දැක්ම ඇති ලාංකිකයෝ මහේච්ඡතාවෙන් තොර වූ අල්පේච්ඡ ජීවන රටාවකට නැඹූරු වූහ. එනිසා ම ලාංකිකයෝ තෘප්තිමත් ව, ප්‍රබෝධවත්, සරල ජීවිතයක් ඇත්තෝ වූහ. මේ දැක්ම ඇති ව ජීවත් වූ ලාංකික ජනතාවගේ ජීවන දැක්ම සංකේතවත් කෙරෙන්නේ, වැවෙන් සහ දාගැබෙන් ය. එවැනි ජීවන දර්ශනයක් අනාගත ලෝකයාට ම අවශ්‍ය ය.

මිනිසා ක්‍රියා කළ යුතු වන්නේ තමාටත්, අන්‍යයන්ටත්, පරිසරයටත් විපත්තියක් නොවන ලෙසිනි. එවැනි සත්පුරුෂයන් තුළ සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා වැනි ගුණධර්ම වර්ධනය වන්නේ ය. මේ දැක්ම ඇති අල්පේච්ඡතාවෙන් යුක්ත මිනිසුන්ගෙන් පිරිපුන් සමාජයක් වූ මෙරට වසර දෙදහසකට වැඩි කාලයක් සතුටින් ජීවත් වූහ. ඔවුහු ජාති, ආගම්, කුල වෙනුවෙන් සටන් නොකළහ.

මේ සංස්කෘතික දැක්ම යාවත්කාලීන කරමින් සජීවිකරණය කරන ලද්දේ භික්ෂූන් වහන්සේ විසින් පාලකයන්ටත්, ජනතාවටත් අනුශාසනා කරමින් ය. එම මාර්ගෝපදේශය නිසා ‘වැවයි දාගැබයි, ගමයි පන්සලයි’ අන්‍යොන්‍ය උපකාරයෙන්, බාධක ජය ගනිමින් ශත වර්ෂ 25කට වැඩි කාලයක් මෙරට ගම්මානවල සුරක්ෂිත විය. එය විනාශ වූයේ බටහිර ආක්‍රමණිකයන්ගේ පැමිණීමෙන් පසුව ය. එහෙත් තව ම ගම්මාන ආශි‍්‍රත විහාරස්ථාන කේන්ද්‍ර ව, ඉතා සුළු වශයෙන් පෞරාණික සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා වී ඇත.

වර්තමානයේ වාණිජ හා තාක්ෂණික මෙවලම්වල බලපෑම නිසා ලාංකික ජනතාවගේ සංස්කෘතික උරුමය, අභියෝගයකට ලක්වෙමින් පවතී. මෙවැනි සංක්‍රාන්තික අවධියක දී නව නිපැයුම්වලින් හරවත් දේත්, පැරැණි සංස්කෘතියේ අන්තර්ගත සාරයනුත් ගෙන නවීකරණය වූ සංස්කෘතියක දර්ශනයක්, අන්තර්ගත නිර්මාණයක් සකස් කර ගැනීමට අප විමර්ශනශීලි විය යුතු ය.

වියතුන්ගේත්, පාලකයන්ගේත් අවධානය යොමු කළහොත්, අනාගත ලෝකයට අත්‍යවශ්‍ය වන්නා වූ තිරසර සංවර්ධන දර්ශනයක් ශ්‍රී ලංකාවෙන් ලෝකයාට ඉදිරිපත් කළ හැකි ය.