Print this Article


තුන්සිංහලය ම අත්වැල් බැඳගෙන නිවහල් සුවය විඳියි

තුන්සිංහලය ම අත්වැල් බැඳගෙන නිවහල් සුවය විඳියි

මාතෘ භූමිය අපේ හෙළ දෙරණ බුද්ධස්පර්ශ ලද පුණ්‍ය භූමියකි. ගෞතම බුදුරදුන් තෙවරක් වැඩි මේ රට ධාතූන් වහන්සේ උදෙසා මෙන් ම, සම්බුදු සසුනට ද පූජා කළ භූමියකි. තථාගතයන් වහන්සේගේ වැඩමවවීමෙන් අතිශය පාරිශුද්ධියට පත් ශ්‍රී පාද කන්ද හෙවත් සමනල කන්ද පූජනීය තැනකි.

ජෝතිපාල ශූරීන් ගයන "සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි" ගීතය අප රටේ දැක්මයි. එහෙත් එය කොතෙක්දුරට ඉටුවී ද යන්න අප තුළ ඇති සැකය යි.

රටට අලුයම උදාවන්නේ ශ්‍රී පාද පද්මයට සූර්යයා නමස්කාර කිරීමක් සමාන ආකාරයකිනි. එය මහත් ආස්වාදය පිරුණු ආශීර්වාදයකි.

සැනසිලි සුවදෙන නව මල් සුවඳින් - දැහැමි දැයක් පිබිදෙයි. සොබා දහම, රටේ පිහිටීම, භූමියෙහි පින්වත් බව පමණක් එයට ප්‍රමාණවත් නොවේ. මානව ක්‍රියාකාරකම්, සිතුම් පැතුම්, අවංක උත්සාහය, කැපවීම, පරහිතකාමී බව, පව - පින විශ්වාස කිරීම මෙන් ම බෞද්ධ දර්ශනයේ උගන්වනු ලබන යහපාලන සංකල්පය සහ පාලක පාලිත සබඳතාව අතිශයින් ම වැදගත් වේ.

සමාජයේ සෑම කණ්ඩායමක් ම තමන්ට නියමිත කාර්යය ඉතා අංවක ව, වගවීම් සහිත ව කළ යුතු වේ. පටු වාද භේද, පවුරු පදනම්, අනවශ්‍ය බෙදීම්, ජාතිවාදී, ආගම්වාදී, කෛරාටික අදහස් සැඟවුණු න්‍යාය පත්‍ර නොතබා කටයුතු කළ යුතු වේ.

“කුලමල ධනබල
නොතකන හෙළ දැය
සුදු බුදුරැස් පැතිරෙයි.”

දහමෙහි ආශීර්වාදය පාලක පාලිත දෙපක්ෂයට ම ලැබෙන නියම පිළිවෙළ වන්නේ ප්‍රදර්ශනාත්මක ආගමික ඇදහිලි තුළින් නොවේ. ඉහත ගුණාංග තමතමන් දියුණු කිරීම තුළ පමණි.

එනම්, බුද්ධ රශ්මිය ලද හැකි වන්නේ පටු සීමාවන්ගෙන් ඉවත්වීම තුළ පමණි. බුදුරදුන් නිරන්තර ව දේශනා කළේ සමඟි වන්න. අනවශ්‍ය විවාද සිදු කිරීමෙන් වළකින්න. දිය හා කිරිමෙන් එකිනෙකා පිළිබඳ පි‍්‍රය ඇසින් බලමින් කටයුතු කරන්න යනුවෙනි.

විකල්ප අදහස් තිබීම වැදගත් වේ. එහෙත් පෞද්ගලික කෝන්තර නොතිබිය යුතු ය. පොදු අරමුණු වෙනුවෙන් සෑමවිට ම කටයුතු කළ යුතු වේ.

මුලදී තිබූ වුවමනාවන් පසුව නැතිවීම ඛේදනීය තත්ත්වයකි. නෙල්සන් මැන්ඩෙලාට තිබූ වුවමනාව එම පක්ෂයේ සෙසු අයට, අනාගතයේ පහළ වූ අයට නොවූ නිසා අද අපි‍්‍රකාව හඳුන්වන්නේ අපි‍්‍රකානුවන්ගේ සොහොන් බිම වශයෙනි. මැන්ඩෙලා අද දිනයේ පවා ලෝකයේ ගෞරවයට පත් වුව ද පසුපෙළ පාලකයන්ට ඒ තත්ත්වය අත්කර ගැනීමට නොහැකි විය. අප රටේ වුව ද ඇතැම් රජවරුන් අද ද දේවත්වයෙන් පිදේ. මහසෙන් රජ්ජුරු බණ්ඩාර ඒ සඳහා උදාහරණ වේ.

රටවැසියන් ලෙස අපගේ නිරන්තර පැතුම

“සම මෙත් කරුණා බුදු බණ පදයක - සිහිලෙන් රට සැනසෙයි” යන්නයි. එහෙත් ඒ පැතුම මේ දක්වා ම යථාර්ථයක් වීමට බලපෑ ප්‍රශ්නය වූයේ බොහෝ දෙනෙකුගේ චේතනා පිරිසුදු නොවීමයි. දහම සරණක් කොට පවත්වා ගැනීමට අපොහොසත් වීමයි. මේ ගීතයෙන් කියැවෙන යථාර්ථය අප සියල්ලන්ගේ ම පැතුම වේ නම්, එය අපහසු ඉලක්කයක් ද නොවේ.

“මිනිසා මිනිසකු විලසින් සැලකෙන
නව යුගයක් ඇරඹෙයි
තුන් සිංහලය ම අත්වැල්
බැඳගෙන - නිවහල් සුවය විඳියි”

එකිනෙකාට ගෞරව කිරීම, තමා උපමා කොට ජීවත්වීම ඉතා වැදගත් වේ.

ධර්මාශෝක රජු රාජ්‍ය පාලනයේ දී සඳහන් කළේ "සියලු රටවැසියෝ මාගේ දරුවෝ ය" යන්නයි. එය ශ්‍රේෂ්ඨ අදහසකි. පාලකයා යන්න බුදු දහම නිර්වචනය කරන්නේ ජනතාව රංජනය කරන්නා යන්නයි. අප පිළිබඳ ස්වයං විවේචනයක් ඇති කර ගත යුතු ය. දහමට අනුව ආයති සංවරය මෙහිලා වැදගත් වේ.

එයින් අදහස් වන්නේ සමාව ගැනීම නොවේ. වරද තේරුම් ගෙන, අතීත පාඩම් ඉගෙන ගෙන, වැරදුණ තැන් හඳුනාගෙන, වඩා පරිස්සමෙන් තීන්දු තීරණ ගෙන රට ඔසවා තැබීමට කටයුතු කිරීම යි. ඉහළින් එම ආදර්ශය ලබා දෙන්නේ නම් පහළ ප්‍රජාව ඊට අනුගත වේ.

එවැනි පරිසරයක “තුන් සිංහලය ම අත්වැල් බැඳගෙන නිවහල් සුවය විඳී” යන්න සැබෑවක් කොටගෙන අපට ද එහි සාඩම්බර කොටස්කරුවන් විය හැකි ය.

කර්ම, කර්මඵල තේරුම් ගත් පිරිසක් බවට අප පත්වීම ඉතා වැදගත් වේ. යක්කඩුවේ ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේ වරක් සඳහන් කළේ

අපායට යන්ට ඕනෑ නම් නුඹට
කරපන් මහ ඇමැතිකම එක දවසකට
නැත්නම් දේවාලයක පන්සලක සිට
අධිපතිකම ගනින් තුන් දවසකට

මෙහිදී දක්වන්නේ පූජක පූජ්‍ය පක්ෂය තම වගකීම නොකරන්නේ නම්, පාලකයන් තම කාර්යභාරය සිදු නොකරන්නේ නම් ඔවුන් අපාගත වන බවයි.

ලාභ ප්‍රයෝජන, කීර්ති, ප්‍රශංසා ඉතා තියුණු ය. සියල්ලෝ ම එය මනාව තේරුම් ගන්නේ නම් දෙලොව දියුණුව සකසා ගත හැකි වේ. එපමණක් නොව මිනිසා මිනිසා ලෙස සැලකෙන නව යුගයක් ආරම්භ කිරීමට හැකියාව පවතී.