පින් කිරීමට මුදල් අවශ්‍යම ද?
පින් කිරීම සඳහා මුදල් අවශ්‍යම ද? මුදල් නැති අයකුට පින් කළ නොහැකි ද? යනාදී වශයෙන්
නූතන ජන සමාජයේ කතාබහට ලක්වන කරුණක් පිළිබඳ ව ධර්මානුකූලව විමසා බැලීම ඉතා වැදගත්.
බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ දහදිය මුගුරු වගුරවමින්, අතපය වෙහෙසවමින් ධාර්මික ව ධනය
උපයාගත යුතු බවත්, ධාර්මික ව උපයාසපයා ගත් ධනය නිවැරැදි ව අයවැය සමබරතාවයෙන් යුක්ත
ව විය පැහැදම් කළ යුතු බවත් ය. ඒ පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් ව ඇත.
එයින් අංගුත්තර නිකායේ සත්තකම්ම සූත්‍රයත්, උග්ගමහාමත්ත සූත්‍රයත් නිදසුන් කොට
බැලීම වැදගත් ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රද්ධාවෙන් ධනය උපයාගත යුතු බවයි. එහිදී ශ්‍රද්ධා
යනු කුමක්දැයි විමසීම වැදගත්. ශ්‍රද්ධාව යනු බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීමයි.
බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීම යනු බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවත්වීමයි.
“භෝගාමී උප්පජ්ජන්ති සහධම්මේ ඥාති” මට භව භෝග සම්පත් දහම නොබිඳගෙන උදාවෙත්වා'යි
ප්‍රාර්ථනා කිරීම දුර්ලභ කරුණක් වශයෙන් දහමෙහි සඳහන් වේ. එසේ දුර්ලභ ව ධාර්මික ව
උපයාගත යුතු භෝග සම්පත් නිසි සේ නිවැරැදි ව පරිභෝජනය කරමින්, සමාජ යුතුකම් ද ඉෂ්ඨ
සිද්ධ කිරීම පින්කමක් වශයෙන් බුදුදහමේ සඳහන් වේ.
බුදුදහම ධනය වශයෙන් විග්‍රහ කර ඇත්තේ මූල්‍යමය පදනමක් පමණක් පදනම් කොට නොවන බව
වටහාගත යුතු ය. තවද ශීල, ධනය, පව් කිරීමට ඇති ලජ්ජා භය, දානය, පරිත්‍යාගය, ප්‍රඥාව
යන කරුණු ධනෝපාර්ජනයට හේතුවන ආධ්‍යාත්මික සිද්ධීන් වශයෙන් සඳහන් කළ හැකි ය. එනිසා
බුද්ධ දේශනාවට අනුව යම්කිසි පුද්ගලයෙක් ධාර්මික ලෙස උපයා සපයා ගෙන විශිෂ්ට ජීවිතයක්
ගත කරනවා නම්, එය මහත් පින්කමක් වශයෙන් අවබෝධ කර ගත යුතු ය. එනිසා පින් කිරීම සඳහා
අමුතුවෙන් ධනය විය පැහැදම් කළ යුත්තක් නොවන්නා සේ ම උපයන ධනය ධර්මානුකූල ව උපයමින්
විය පැහැදම් කිරීම පින්කමක් බව පැහැදිලි ය.
සත්තකම්ම සූත්‍රයට අනුව ශාන්ත වූ, මනාප වූ, දුල්ලභ වූ දහම් කරුණු හතරක් පිළිබඳ ව
අනේපිඬු සිටුතුමාට දේශනා කොට ඇත. ඒවා නම්,
මට භෝග සම්පත්තිය ධර්මය නොඉක්මවා උදාවෙත්වා. එය ලෝකයේ පළවෙනි දුර්ලභ කරුණයි.
දහම නොඉක්මවා ගෙන භෝග සම්පත් ලැබ ඥාති මිත්‍රාදීන් නොහැර පරිවාර සම්පත් උදාවෙත්වා.
දහම නොබිඳගෙන භෝගයන් ලැබ නෑයන් නොහැර මිත්‍රයන් නොහැර, පරිවාර සම්පත් ලැබ කලක්
ජීවත්වේවා. දීර්ඝායුෂ ලැබේවා. දහම නොබිඳගෙන භෝගයන් ලැබ, නෑයන් නොහැර, මෙලොව
මිත්‍රයන් නොහැර, පරිවාර සම්පත් ලැබ දිගුකලක් ජීවත්ව මරණයෙන් පසු සුගතියේ උප්පත්තිය
ලබත්වා. යන කරුණු දුර්ලභ වන්නේ ධාර්මික ව ලබා ගැනීම නිසා ය. එසේම මෙම ඉලක්ක හතර
සපුරාගත යුතු ආකාරය තවදුරටත් බුද්ධ දේශනාවේ ඇතුළත් වන්නේ ය.
ධාර්මික ව උපයා සපයාගත් ධනය, භව භෝග සම්පත් මසුරුකමක් නැති ව පරිභෝජනය කිරීමයි.
මෙහිදී, මෙම පරිභෝජනය කිරීම හෙවත් පරිත්‍යාගය, දානය වශයෙන් හඳුන්වයි.
මූල්‍ය සම්පාදනය කිරීමේ දී නොකළ යුතු වෙළෙඳාම් පිළිබඳව ද බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.
සත්තකම්ම සූත්‍රයේ සඳහන් වන්නේ ඉධ ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි
බාහාබල පරිචිතෙහි සෙදාචක්ඛිතේතහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි අත්තානං සුඛෙති පීනෙති
සම්මා සුඛං පරිහරති, මාතා පිතරො සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති. පුත්තදාරදාසකම්ම
කරපොරිසෙ සුඛෙති පීනෙති සම්මා සුඛං පරිහරති. මිත්තානාමචේච සුඛෙති පීනෙති සම්මා සුඛං
පරිහරති ඉදමස්ස පඨමං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං”
මෙලොව ආර්ය ශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ, ධර්මයෙන් ලැබූ
භෝගයෙන් තමා සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි මොනවට සැප සේ වැඩෙයි. මවුපියන් සුඛිත
කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනවට සැප සේ පරිහරණය කෙරෙයි. අඹුදරු, දස් කම්කරු ජනා
සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනවට සැප සේ පරිහරණය කෙරෙයි. මිතුරු යහළුවන්
සුඛිත කෙරෙයි.බලසම්පන්න කෙරෙයි. පරිභෝජනය කිරීම මෙහිදී කෙරෙයි. මොනවට සැප සේ
පරිහරණය කෙරෙයි. ඔහුගේ මේ පළමු කිස තැනට ගියේ වෙයි. යුක්ති සහගත වෙයි. කරුණු අනුව ම
වැළඳුණේ වෙයි.
මෙයින් පැහැදිලි වන්නේ ධාර්මික ව ජීවත්වීම පිනක්, කුසලයක් බව තහවුරු වන බව ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |