දියුණුවේත් සුන්දරත්වයේත් ඇරඹුම විනයානුකූල හැසිරීමයි
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
ගසක් යට ඉපිද, ගසක් යට බුදු වී, ගසක් යට පිරිනිවී ලොව යථාර්ථය පිළිබඳ පූර්ණ ප්‍රඥාව
හා සුන්දරත්වය අතර අතිශය සමීප සබඳතාවක් පවතින බව බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා
දුන්හ. ලොව බිහි වූ විශිෂ්ට පරිසරවේදියාණන් බුදුරදුන් ය. මිනිසා පරිසරය සමඟ ගනුදෙනු
කළ යුත්තේ මිත්‍රශීලී ලෙස බව බුදුසමය අවධාරණය කරයි.
බුදු දහම තරම් පරිසරය ගැන සාකච්ඡා කළ දහමක් තවත් නැත. බුදු සිරිතේ සෑම සුවිශේෂී
අවස්ථාවක් ම පරිසරය සමඟ බද්ධ වී ඇති ආකාරයෙන් එය මොනවට පැහැදිලි වේ. බුදුරදුන් සිය
ශ්‍රාවකයින්ට දේශනා කළේ භාවනා කිරීමේ දී පරිසරය තෝරා ගන්නා ලෙසයි. ආරඤ්ඤගතොවා,
රුක්ඛමූලගතොවා, සුඤ්ඤාගාරගතොවා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ දී ද රමණීය
පරිසරයක් තෝරා ගත්හ. දහම් කරුණු විස්තර කිරීමේ දී උපමා වශයෙන් යොදා ගත්තේ ද පරිසරයේ
විවිධ අවස්ථාවන් ය. උන්වහන්සේ පරිසර හිතකාමී ය. ස්වභාවික පරිසරය තුළ වැඩ සිටීමට
නිරතුරුව කැමති විය. ස්වභාවික පරිසරය ආශි‍්‍රත ව වස් විසීමට ද වැඩි කැමැත්තක්
දැක්වූහ. පරිසර සංරක්ෂණය සඳහා ශ්‍රාවකයින්ට උපදෙස් දුන් සේක. පතිරූපදේසවාසෝච යහපත්
පරිසරයක ජීවත්වීමේ වැදගත්කම පැහැදිලි කළහ.
සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ නිතර නිතර පින් වැඩෙන පින්කම් ගැන සඳහන් වේ. උයන්
වතු වැවීම, ඒ දඬු මං මාවත් ඉදිකිරීම, ළිං පොකුණු සකස් කිරීම සැමදා පින් වැඩෙන
පින්කම් ලෙස පෙන්වා දී ඇත. ගස් වැල් කපා දැමීම, මල් ඵල ආදිය කඩා විනාශ කර දැමීම
නොකළ යුතු බව දක්වා ඇත. පරිසරයේ පවතින සියලු දෑ ආරක්ෂා කිරීමට උපදෙස් දෙන බුදු දහම
වන සංරක්ෂණය, ජල සංරක්ෂණය, ශබ්ද සංරක්ෂණය, භූමි සංරක්ෂණය, සත්ත්ව සංරක්ෂණය, වායු
සංරක්ෂණය පිළිබඳව ද අවධානය යොමු කොට ඇත. ජලයට අපද්‍රව්‍ය එක් කිරීම මඟින් ජලය දූෂණය
සිදු වේ. විනාශ වූ ජලය භාවිත කිරීමෙන් ප්‍රාණීන් විනාශ වීම, රෝගාබාධ ඇතිවීම වැනි
අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ජල සම්පත ආරක්ෂා කිරීම අතිශයින් ම වැදගත් වේ.
සමාජයේ කුඩා ම ඒකකය පවුලයි. සෑම පවුලකට ම පාහේ නිවසක් තිබේ. තමා ජීවත් වන නිවස
පිරිසුදුව තබා ගැනීම පළමුව සිදු කළ යුතු ය. ඔබ ජීවත්වන නිවසේ ප්‍රමාණය, අලංකාරය,
නොව පිරිසුදු භාවයයි වැදගත් වනුයේ. යුරෝපීය ජාතීන් විසින් අප ශිෂ්ටාචාර ගතවීමේ
ප්‍රමාණය නිර්ණය කරනු ලබන්නේ මුළුතැන්ගේ සහ වැසිකිළිය පිරිසුදු ව පවත්වා ගෙන යන
ආකාරය නිරීක්ෂණය කිරීමෙනි. අපගේ නිවස මෙන් ම අප අවට පරිසරය පිරිසුදු ව තබා ගැනීමට
නීති අවශ්‍ය නොවේ. එය පිරිසුදු ව තබා ගැනීමට අප සදාචාරාත්මක ව බැඳී ඇත.
“මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්ත මනුරක්ඛෙ”
මවක් තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරන්නා මෙන් සියලු සත්ත්වයින්ට ද මෙත් සිත් පැතිරවිය
යුතු ය. සියලු ජීවීන් යනු ජීවී අජීවි සියලු පරිසරයේ කොටස් ය.
ජීවත්වන පරිසරය නිසි පරිදි පිරිසුදු ව තබා නොගතහොත් රෝග කාරකයන්ට මෙන් ම රෝග
වාහකයන්ට සුදුසු භූමියක් වනු ඇත. වනාන්තර විනාශ කිරීම, කොරල්පර කැඩීම, ගංගාවල
වැලිගොඩ දැමීම, අවිධිමත් ලෙස සම්පත් හාරා ගැනීම ආදිය නිරතුරුව ම මිනිසා විසින් ම
සිදු කරනු ලබයි.
පරිසරය සකස්වී ඇත්තේ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාට සම්බන්ධිත උප කොටස් රාශියකිනි. මෙම
සෑම කොටසක් ම පරිසර පද්ධතියේ ස්වභාවික ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වේ. මේ එක් උප
පද්ධතියක හෝ සිදුවන හානියක් නිසා මුළු පරිසර පද්ධතිය ම බිඳ වැටේ. නූතනයේ මෙම පරිසර
උප පද්ධතීන්ට වන හානි වෙන කවරදාකටත් වඩා ප්‍රබල ය.
පරිසර සංරක්ෂණ මූලධර්මය මත පිහිටා බුදුරදුන් පවත්වන ලද දේශනා කෙරෙහි අවධානය යොමු
කරමින් පරිසර පද්ධතීන් සුරැකීමට අවැසි කාලය එළැඹ ඇත. මැලේරියා, ඩෙංගු, චිකන්ගුන්යා
මදුරුවන්ට දේශ සීමා නැත. එම නිසා තාප්පයෙන් වට වූ ඔබේ නිවස ගැන පමණක් නොසිතා,
තාප්පයෙන් එහාත් අපේ පරිසරය බව සිතීමට පුරුදු වන්න.
ආත්මාර්ථකාමීත්වය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බාධාවකි. පරාර්ථකාමීත්වය සෞඛ්‍ය සම්පන්න
ජීවිතයකට ආශීර්වාදයකි.
සෑම තැනම කුණු දමන, කාපු ටොෆි කොළය පවා බිමට දමන, හැමතැන ම කෙළ ගසන ක්‍රමය නවතා දමා
විනයානුකූල ජීවන ක්‍රමයකට හුරු පුරුදු විය යුතු ය. සෑම ධර්මානුකූල ජීවිතයක් ම
විනයානුකූල වේ. ධර්මානුකූලභාවය අභ්‍යන්තර ශික්ෂණයකින් ලබා ගත යුතු ව ඇත. බුදුරජාණන්
වහන්සේ චුල්ලවග්ගයේ පෙන්වා දී ඇත්තේ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි ආදිය වේලා දූවිලි
ඉවත් කළ යුතු බවත්, දොර ජනෙල් ඇර තබන ආකාරයත්, වැසිකිළි කැසිකිළි පිරිසුදු ව තබා
ගන්නා ආකාරයත් ය. එමෙන් ම පාචිත්තිය පාලියේ පැහැදිලි ව පෙන්වා දෙන්නේ වැසිකිළිය රෝග
කාරක වර්ධනයට උපකාරී වන තැනක් බවත්, එය හොඳින් පවිත්‍ර ව තබා ගැනීම ඉතා වැදගත් බව
ය.
තැන තැන මළ මුත්‍ර කිරීම, කෙළ ගැසීම, තැන තැන දැහැටි දඬු දැමීම, කුණු කසළ තැන තැන
දැමීම නුසුදුසු බව බුදුරදුන් තවදුරටත් විනය පිටකයේ දී පෙන්වා දී ඇත.
මෙම සියලු කාරණා සැලකිල්ලට ගෙන රට පවිත්‍ර කිරීමේ මහා ශ්‍රමදානයේ එක කොටසක් වන රට
පිරිසුදුව තබා ගැනීමට අප සැවොම සක්‍රිය ව මැදිහත් විය යුතු ය. එවිට පොහොසත් රටක්
ලස්සන ජීවිතයක් නිර්මාණය වනු ඇත. |