ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ
ලක් මව තුන් සිත පහදා පිදුණේ
ආචාර්ය
මුල්ලේගම සුමන හිමි
ධර්මාශෝක රජතුමා මහා සංඝයා වහන්සේට දන් පිළිගන්වා ශ්‍රී ලංකාවට මහා බෝධි ශාඛාව
යැවිය යුතු දැයි අසා තිබේ. එය යහපත් බව සඳහන් කොට මොග්ගලිපුත්තතිස්ස මහ රහතන්
වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා අධිෂ්ඨාන පහ රජතුමාට දේශනා කළහ.
"අශෝක නම් රජු විසින් ගනු ලබන ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව තොමෝ ම සිඳී රන්කටාරමෙහි
පිහිටාවා.
ඒ ශාඛාව එසේ පිහිටා ඵල පත්‍රයන්ගෙන් ෂඩ් වර්ණ රශ්මි විහිදාවා.
ඒ ශාඛාව රන් කටාරම සමඟ අහසට නැඟී වළා ගබෙක්හි හත් දවසක් නොපෙනී සිටීවා.
ථූපාරාමයෙහි පිහිටන මාගේ අකුධාතුව අහසට නැඟී යමාමහ පෙළහර කෙරේවා.
ලංකාවට ආභරණ වන ස්වර්ණමාලී චෛත්‍යයෙහි පිහිටන ද්‍රෝණයක් පමණ මගේ ධාතූහූ බුද්ධ
වේශධාරී ව අහසට නැඟී යමා මහා පෙළහර කෙරේවා" යනුවෙනි.
රජතුමා එය අසා සතුටු වී විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවා දෙන ලද රන්කටාරම
රැගෙන මහා පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගිය බව සඳහන් වේ.
දහස් ගණන් රහතන් වහන්සේ ද, අභිෂේක ලත් රජ දරුවන් දහසකට වැඩි ගණනක් ද, අප්‍රමාණ ජන
සමූහයක් ද බෝධීන් වහන්සේ වෙත රැස්ව සිටිය දී රජතුමා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා
ඇඟිලි බැඳ ගෙන ශ්‍රී මහා බෝධිය දෙස බලා තිබේ. දක්ෂිණ ශාඛාව සම්බන්ධ වූ සතර රියන්
තැන හා ස්කන්ධය ද තබා සියලු ශාඛාවෝ අන්තර්ධාන වූහ. මේ ප්‍රාතිහාර්යයෙන් අතිශය
ප්‍රීතියට පත් රජතුමා රාජ්‍යයෙන් මහා බෝධිය පුදා රාජ්‍යයෙහි අභිෂේක කර මල් ආදිය
පුදා බෝධිය ප්‍රදක්ෂිණා කරමින් අටතැනක දී නමස්කාර කොට, ශාඛාව දක්වා උස් වූ රන්
පුටුවක රන් කටාරම තබා නැඟී රන් තෙල්ලෙන් රන් සිරියෙල් ගෙන රේඛාවක් ඇඳ මේ බෝධි ශාඛාව
ශ්‍රී ලංකාවට යා යුතු නම් මා සර්වඥ ශාසනයෙහි විමති රහිත නම්, මේ ශාඛාව තමා ම සඳී
බඳුනෙහි පිහිටාවාම යි සත්‍ය ක්‍රියා කරන්නට විය.
ඒ අනුව බෝධි ශාඛාව තමා ම සිඳී රන් කටාරමෙහි පිහිටන්නට විය. එයින් අතිශයින්
ප්‍රීතියට පත් රජතුමා හා රැස්ව සිටි පිරිස ද ප්‍රීති ඝෝෂා කරන්නට විය. භික්ෂූන්
වහන්සේ සාධුකාර දී ඇත.
මෙසේ නන් අයුරින් ප්‍රාතිහාර්යය පාන ලද ශ්‍රී මහා බෝධියට ධර්මාශෝක රජතුමා සිය
රාජ්‍යයෙන් පිදූ බවත්, තවත් සත් දවසක් බෝධි පූජා කරවමින් එහි ම වාසය කළ බවත් සඳහන්
වේ. සති දෙකක් ඉක්ම ගිය පසු වප් මස පුරපසළොස්වක දින රජතුමා බෝධිය එතැනින් වඩා ගත්තේ
ය. රජතුමා බෝධිය ඉතා අලංකාරවත් රථයක තබා ගෙන තම නගරයට වැඩම වීය. මනෝඥ මණ්ඩපයක් කරවා
මහා බෝධිය එහි වඩා හිඳ වූහ. දෛනික ව නොයෙක් පූජා පවැත්වීය. බෝධිය ග්‍රහණය කළ දවසින්
සතළොස් වැනි දවසෙහි එකවිට ම බෝ අංකුර නවයක් උපන් නිසා ඉතා ප්‍රීතියට පත් වූ රජතුමා
නැවතත් බෝධිය රාජ්‍යයෙන් පුදා රාජාභිෂේක කොට මහා බෝධි පූජාවක් පවත්වා තිබේ.
පසුව ධර්මාශෝක රජතුමා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා විවිධ කුලවලට භාරකොට ගංගා
නදියේ සරසන ලද නැවට බෝධීන් වහන්සේ නංවා, සංඝමිත්තා තෙරණිය ඇතුළු උත්තරා, හේමා,
මාසගල්ලා, අග්ගිමිත්තා, තප්පා, පබ්බතච්ඡින්නා, මල්ලා, ධම්මදාසිකා තෙරණිවරු ද මහා
අරිට්ඨ ඇමතිවරයා ඇතුළු පිරිස ද නැව් නංවා නුවරින් තාම්‍රලිප්ත තොටට පැමිණ තිබේ. එහි
දී බෝධීන් වහන්සේ දෙවි මිනිසුන්ගේ නොයෙක් පුද පූජාවලට ලක්විය. බෝධීන් වහන්සේ
ඔසවාගෙන රජතුමා ග්‍රීවය දක්වා ජලයෙහි බැස උඳුවප් මස ශුක්ල පක්ෂයේ පෑලවිය දිනයෙහි
බෝධිය නැවෙහි තැන්පත් කළේ ය. පෙර සඳහන් කරන ලද ලංකාගමනයට ආ සියලු පිරිස ද නැවට
නැංවූහ.
දේවානම් පියතිස්ස රජතුමා බෝධිය පිළිගැනීම සඳහා වෙරළේ සිටින විට මහ සෘද්ධි බලයෙන්
මුහුදෙහි එන නැවෙහි බෝධිය දැක සමුද්දාසන ශාලාව (වර්තමානයේ කදුරුගොඩ, කන්තරෝදය යන
නම්වලින් හඳුන්වයි.) කරවා නැව වෙරළට එනතුරු බලා සිටියේ ය. ග්‍රීවය තෙක් ජලයට බැස
බෝධීන් වහන්සේ හිසින් දරාගෙන වෙරළට පැමිණ එහි අලංකාර වූ මණ්ඩපයෙහි වඩා හිඳුවා
ලක්දිව රාජ්‍යය පිදීය.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කොට පරිභෝග කළ ස්ථානයන්හි ද, තිවක්ක නම්
බ්‍රාහ්මණ ග්‍රාමයාගේ ගම්දොර ද, ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ වඩා හිඳුවා දිවා රෑ දෙකෙහි
ම පුද පූජා පැවැත්වූහ. පිළිවෙළින් ගොස් තුදුස්වක දින අනුරාධපුර සමීපයට බෝධීන්
වහන්සේ වැඩමවා සවස් කාලයේ උතුරු දොරටුවෙන් නගරයට ඇතුළු වී බෝධීන් වහන්සේ වැඩමවා ගෙන
දකුණු දොරින් නික්මුණු රජතුමා ප්‍රධාන මහා පෙරහර මේ කල්පයේ සිව් බුදුවරුන්ගේ
පරිභෝජනයට ලක් වූ ස්ථානය වන මහමෙව්නා උයනට පැමිණ සුමන රහතන් වහන්සේ විසින් මනා ලෙස
සරසන ලද පූර්ව බෝධීන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියට පැමිණීමෙන් අනතුරුව එහි රෝපණය
කිරීම සඳහා සූදානම් විය. ඒ අවස්ථාවේ බෝධීන් වහන්සේ අසූ රියනක් පමණ අහසට නැඟී සවනක්
රැස් විහිදුවා තිබේ. එය දකින ලද දස දහසක් පමණ පුරුෂයෝ විදර්ශනාව වඩා රහත් ඵලයට පත්
වී තිබේ.
එදින සවස් කාලයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෙහෙන නැකතින් මහමෙව්නා උයනෙහි තැන්පත් කළ
පසු පොළොව කම්පා විය. මහජනයා සුවඳ මල් ආදියෙන් බෝධීන් වහන්සේ පිදීමෙන් අනතුරුව මහා
මේඝයක් ද ඇද හැළුණි. බෝධීන් වහන්සේ හිම වළාකුළුවලින් වැසී ගොස් අනතුරුව දෘෂ්‍යමාන
වී තිබේ.
මහින්ද මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා තෙරණිය ද සපිරිවරින් පැමිණෙන අතර රජතුමා ද
විශාල පිරිසක් සහිත ව පැමිණ තිබේ. දේවානුභාවයෙන් එම අවස්ථාවට පැමිණි අතිවිශාල පිරිස
ප්‍රාතිහාර්ය දැකීමෙන් පුදුමයට පත්වූහ. රජතුමා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව
රෝපණය කිරීමෙන් අනතුරුව රැස්ව සිටි සියලු දෙනා බලා සිටිය දී ම උන්වහන්සේගෙන් අංකුර
අටක් පැන නැඟී තිබේ. එය දැක අතිශයින් විශ්මයට පැමිණ සේසතින් පුදා අභිෂේක කරන්නට
විය.
මෙම ලිපිය සවිස්තරාත්මක විස්තර සහිතව උඳුවප් අව අටවක පෝදා (22) අන්තර්ජාලය කලාපයෙන්
පළ වේ. |