Print this Article


ධම්ම පදයෙන්

ධම්ම පදයෙන්

වසසිකා විය පුප්ඵානි
මද්දවානි පමුච්චති
එවං රාගං ච දොසං ච
විප්පමුඤ්චෙථ භික්ඛවො

අදහස :–

පරවී ගිය දෑසමන්මල, නටුවෙන් බිම හෙලන්නාක් මෙන් ඔබ ද රාගයත්, කෝපයත්, සිතින් පහකරන්න.

හැඟුම -

කොච්චර ලස්සන මලක් වුවත් පරවුනායින් පසු ගසේ රැඳෙන්නේ නැහැනේ. ඔබත් එහෙම තමයි. වයසට ගියායින් පස්සේ එහෙම ම ඉන්නේ නැහැ. මිය යනවා. මලට මිනිසා උපාම කොට ඇත්තේ ඒ නිසා ය. රාගාදි කෙලෙස් පහකර දමන්න පුළුවන් නම් ඔබ මහා වීරයෙකි.

සන්තකායො සන්තවාචෙ
සන්තවා සුසමාහිතො
වන්තලොකාමිසො භික්ඛු
උපසන්තොති වුච්චති

අදහස :–

කයින් ශාන්ත වූ, වචනයෙන් ශාන්ත වූ, පස්කම් සැපතේ ආසාව පහකළ තැනැත්තා උපශානන්තයෙකි.

හැඟුම -

සන්සුන් ගති පැවතුම් ඇති හොඳ අදහස් දරන කෙනකු සමඟ එක මොහොතක් කතා කළ හැකි නම් එය කෙතරම් පී‍්‍රතියක් ද? ඕනෑම කුරිරු මිනිසකු ශාන්ත බවෙන් හික්මවිය හැකි ය. ඔබත් ශාන්ත පුද්ගලයකු වන්න. හොඳ අදහස් තියෙන පුද්ගලයෝ ඇසුරු කරන්න. එතකොට ඔබටත් හොඳ අදහස් ඉස්මතු වේවි.

හිත්වා මානුසකං යොගං
දිබ්බං යොගං උපච්චගා
සබ්බයොග විසං යුත්තං
තම්හං බ්‍රෑමි බ්‍රාහ්මණං

අදහස :–

මිනිස් සැපතෙහි හා දෙවි සැපතෙහි ආශාව දුරු කළ, සියලු බැඳුම්වලින්, මිදුණු තැනැත්තා බ්‍රහ්මණයෙකැයි කියමි.

හැඟුම :–

දුප්පත් පොහොසත් සැමට බුදුදහම පිළිපැද නිවන් දැකීමට හැකි ය. හොඳ දේ කරන අයට හොඳ ප්‍රතිඵල ලැබේ. නරක දේ කරන අයට නරක ප්‍රතිඵල ලැබේ. තේරීම ඔබ සතුයි. ඔබ දකින නිවන වෙනෙකකුට නොව ඔබටයි.