Print this Article


සංතෘප්ත ජීවිතයකට බෞද්ධ නිර්දේශ අනුගමනය කළ යුතුයි

සංතෘප්ත ජීවිතයකට බෞද්ධ නිර්දේශ අනුගමනය කළ යුතුයි

අවිවාහක ගිහි ජීවිතය පෙරදිග රටවල වැදගත් කොට නොසලකයි. ගිහියකු නම් විවාහ විය යුතු ය. නොඑසේ නම් පැවිදි විය යුතු ය යන්න පිළිගත් අදහසකි. බෞද්ධ සාහිත්‍යයේ තරුණ වියේ දී විවාහ වීමත්, සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමත් සඳහා සැපයෙන උපදේශ රාශියක් වේ.

තරුණයකු හෝ තරුණියක හෝ විසින් කළ යුතු වැදගත් ම කරුණ වන්නේ, තමාට සුදුසු ප්‍රතිවිරුද්ධ ලිංගික සහකරුවා සොයා ගැනීමයි. සමසීල, සමසද්ධා, සම පඤ්ඤා යනාදී ගුණාංගවලින් හෙබි තැනැත්තා හෝ තැනැත්තිය හෝ තෝරා ගැනීමයි. එම ගැළපීම නැති කෙනකු තෝරා ගන්නා අය විවාහ ජීවිතයේ අනේකවිධ ගැටලුවලට මුහුණ දීමට සූදානම් විය යුතු ය.

මහෞෂධ කුමරු අමරා දේවිය විවාහ කරගැනීමට පෙර කරන ලද පරීක්ෂණය සිහිපත් කර ගැනීම ප්‍රයෝජනවත් ය.

බුදුන් වහන්සේ වදාළේ දෙවියෙක් දෙවඟනක් සමඟ වසන්නාක් මෙන් මෙකී සුසංයෝගය විය යුතු බවයි. රූපය හෝ ධනය හෝ පමණක් සලකා විවාහ වීම සදාචාරමය ගැටලු රාශියක් ඇතිවීමට හේතු වේ. මොනරා කොතරම් ලස්සන වුවත් ඔහු රංගනයේ යෙදෙනුයේ අධෝමුඛය කාහටත් පෙනෙන පරිදි පිල් විදහාගෙන ය. අප සමාජයේ වෙසෙන ඇතැම් සුරූපී නළු නිළියන්, ව්‍යාපාරිකයන් වැනි ප්‍රසිද්ධ තරුණ, තරුණියන් බහුල වශයෙන් බහු භාර්යා හෝ බහු පුරුෂ සේවනයට යොමු වන්නේත්, ඉතා කෙටි කලකින් දික්කසාද වන්නේත් ආචාරමය ශික්ෂණයක් නොමැති නිසා ය.

බෞද්ධ ජාතක කතාවල මෙම උපදේශය අපට නිබඳ ලබා දෙයි. විවාහප්‍රාප්ත තරුණයකුගේ කාර්යභාරය වන්නේ කුටුම්බ සංරක්ෂණය යි. මංගල සූත්‍රයෙහි විවාහකයකු අනුගමනය කළ යුතු වැදගත් ම කරුණු කිහිපයක් දක්වයි.

මව්පියන්ට සැලකීම

(මාතු පීතූ උපට්ඨානං)

අඹුදරුවන් පෝෂණය කිරීම

වැඩකටයුතු අවුල් කර නොගැනීම,

(අනාකූලාච කම්මත්තා)

දන් දීම (දානං)

දැහැමි ලෙස හැසිරීම

(ධම්මචරියං)

ඥාතීන් විෂයයෙහි වන යුතුකම්

ඉටුකිරීම. (ඤාතකානඤ්ච සංගහො)

නිවැරැදිව ක්‍රියා කිරීම

(අනවජ්ජානි කම්මානි)

අකුසලයන්හි මනසින් නො ඇලීම හා

වරදින් වෙන් වීම. (ආරති විරතී)

මත්ද්‍රව්‍ය භාවිත නොකිරීම

(මජ්ජපානා ච සඤ්ඤමො)

නිතර සිහි කල්පනාවෙන් කටයුතු

කිරීම (අප්පමාදොච ධම්මෙසු)

ගරු කළ යුත්තන්ට ගරු කිරීම

(ගාරවො ච)

යටහත් පහත් පැවැත්ම (නිවාතො ච)

ස්වකීය අඹුදරුවන්ගෙන් සහ ලද

දෙයින් සතුටට පත්වීම (සන්තුට්ඨි)

වෙනත් අය කුදු මහත් වශයෙන්

තමාට කළ අනුග්‍රහ පිළිබඳ

කෘතඥවීම (කෘතඤ්ඤතා)

ඉඩ ලද අවස්ථාවන්හි ධර්මය ඇසීම

(කාලෙන ධම්ම සවණං)

ඉවසීම (ඛන්තී)

අන්‍යයන්ට ඇහුම්කම් දීම (සුවච)

ශ්‍රමණයන් දැකීමට යාම

(සමණානංච දස්සනං)

ධර්මය සාකච්ඡා කිරීම.

(ධම්ම සාකච්ඡා)

මෙම කරුණු පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කිරීමේ දී තරුණ අඹුසැමි යුවළකට ගැටලු සහ අභියෝග හමුවෙහි ඒවා ජය ගනිමින් සාර්ථක පරම්පරාවක් බිහිකරමින් සුඛිත මුදිත ලෙස දිවි ගෙවිය හැකි ය. තරුණ වියේ දී වගකීම් මඟහරිමින් චතුරාර්ය සත්‍යය පසක් කිරීමෙහිලා නිරත ව සිටීම රටක තරුණ ප්‍රජාවගේ වගකීම නොවන බව පැහැදිලි කර ගත යුතු ය.

කායික ශක්තිය තරුණ වියේ සිටින පුද්ගලයකුට ලැබී ඇති ලාභයයි. එම ශක්තිය මෙහෙයවා හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමට වෑයම් කිරීම බුද්ධි හීනත්වය ප්‍රකට කරන්නකි. ස්වකීය ශ්‍රමය, බාහු බලය, කැපවීම මෙහෙයවා ඔවුන් විසින් ස්වකීය වර්ගයා විෂයයෙහි දැවැන්ත මෙහෙවරක් කළ යුතු ය. කිසි ලෙසකත් ස්වකීය ශක්තිය අනුන් පෙළීම සඳහා නොවිය යුතු ය. තම අභිලාෂයන් කෙරෙහි අවදියෙන් සෙසු අයගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දායකත්වය සැපයිය යුතු ය.

දිනක් පිඬු පිණිස වඩින බුදුරජාණන් වහන්සේට සර්පයකු දඬු මුගුරුවලින් හිංසා කරනු ලබන තරුණයන් පිරිසක් හමුවිය. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් කුමක් කරන්නේ දැයි විචාළහ. එහිදී ඔවුහු අපි නාගයකු මරමුයි කීහ. මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ සියලු අය මරණයෙන් තැති ගන්නා බවත්, මරණයට බිය බවත් එහෙයින් තමා උපමාවට ගෙන හිංසා කිරීමෙන්, ඝාතනය කිරීමෙන් වළකින්නැයි අවවාද කළහ. මෙයින් ඔවුහු ඒ පිළිබඳ දැනුවත් වූහ.

තරගකාරීත්වය හමුවේ මානව හිතවාදිත්වය භූමදානය කරන ඇතැම් පිරිස් සිටින බව වටහාගත යුතු ය. කෙසේ වෙතත් තාරුණ්‍යය භුක්ති විඳින ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය තාරුණ්‍යයේ වටිනාකම යුතුකම් හා වගකීම් අවබෝධ කර ගනිමින් ක්‍රියා කළ යුතු වන අතර, ස්වකීය කායික හා බුද්ධිමය ප්‍රදානයන් ද ලෝකය වෙනුවෙන් යොදවමින් සංතෘප්ත ජීවිතයක් ගෙවීමට බෞද්ධ නිර්දේශයන් අනුගමනය කිරීම ඵලදායක වන බව අවබෝධ කර ගත යුතුය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.