Print this Article


වැපිරූ දෙයට ලැබෙන අස්වැන්න

වැපිරූ දෙයට ලැබෙන අස්වැන්න

අයහපතක්, පාපයක් කළ මොහෙතේ ම ඇතැම් අයකුට එහි විපාක නොලැබිය හැකි ය. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම ආදී ලෙසින් අකුසල කර්ම විපාක දෙන ආකාර හතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

යම් අරමුණක්, ඉලක්කයක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන ඕනෑකම, උත්සාහය පුද්ගලයෙක් තුළ හට ගත්ත ද ඒ වෙනුවෙන් වීර්යයක් ඉපදවිය යුතු ය. යමක් කෙරෙහි උත්සාහවත් වන පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග තුනකි. එනම් උත්සාහයේ ලක්ෂණ තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු වශයෙනි.

ආරම්භක ධාතු - යම් දෙයක් ආරම්භ කිරීමට පටන් ගැනීමක් අවශ්‍යයයි.

නික්ඛම ධාතු - ආරම්භ කළ දේ ක්‍රියාත්මක කර ගෙන යෑම අවශ්‍යයයි.

පරක්කම ධාතු - කවර විදිහේ බාධක ආවත්

මගේ අරමුණ, ඉලක්කය මෙතැනයි. ඒ අරමුණ, ඉලක්කය, ඉටුවෙන තුරු මම මේ ගමන යනවා යැයි අධිෂ්ඨානයක් ඇතිකර ගැනීම අවශ්‍යයයි. එයයි සතර සම්‍යයක් ප්‍රධන් වීර්යය ලෙස පවසන්නේ.

යම් කෙනකුගේ චිත්ත සන්තානයෙහි යම් වූ අකුසල ධර්මයක් ඇති වුණා නම්, ඒ අකුසල ධර්මය ඉපදීමට, හටගැනීමට ඉඩනොදිය යුතු ය. එසේ ඉඩ දීමෙන්, අකුසල ධර්ම වඩා වර්ධනය විය හැකි ය. අකුසල නම් අදක්ෂ යන්නයි. අදක්ෂයෝ පව් කරමින් දුගතිගාමී භවවල උපත ලබති. දක්ෂයෝ පින්කම් කරමින් සුගතිගාමී භවවල උපත ලබති.

පින් කිරීම අපහසු ය. පව් කිරීම පහසු ය. හොඳ දේ පුරුදුවීම අපහසු ය. නරක දේ පුරුදු වීම පහසු ය. බොහොම අපහසුවෙන් පුරුදු වූ යහපත් ගති සිරිත් අත්හැරීම පහසු ය. එලෙස ම බොහොම පහසුවෙන් පුරුදු වූ නරක ගති සිරිත් අත්හරින්නට අපහසු ය.

අකුසල් යැයි කියන්නේ මොනවා ද? ධම්මපදයේ යමක වග්ගයේ සඳහන් වන්නේ.

‘මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

යමෙක් දූෂිත වූ සිතින් ක්‍රියා කරන්නේ නම්, නපුරු වචන කියයි නම්, එය කරණකොට ගෙන ඔහු පසු පස දුක ගමන් කරයි. ඒ කරත්තය බැඳි ගොනා පසුපස කරකැවී යන කරත්ත රෝදය මෙනි.

පව යනු කුමක්ද? පවෙ හි ස්වභාවය කුමක්ද? පව් කරන්නෝ කෙසේ තැවෙන්නේ ද කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. “අප්පති සෝචති” තැවෙනවා, ශෝක කරනවා. තැවෙන්නේ, ශෝක කරන්නේ කවුද? පව්කරන්නෝ ය. “මම යම් කිසි කතාවක් කරමි. ඒ කතාවෙන් ලෝකයාට විපතක්, අයහපතක්, හානියක්, විනාශයක් වේ නම් එයින් මට සැපතක් වෙයිද? නැත. මට ද විපතක්, විනාශයක් ම යි සිදුවෙන්නේ.

ඒ සිදුකළ අයහපත් කතාව, ක්‍රියාව මගේ සිතට, මනසට, හදවතට මතක් වන , සෑම මොහොතක් පාසා ම මගේ සිතට දරාගත නොහැකි බියක් හටගනියි. යනුවෙන් සිතනවා නම්, එයයි පවේ වෙනස. අකුසලයේ වෙනස.

ඒ වගේම අකුසල් කරන අය, පව් කරන අය, විපත් කරන අය, හානිදායක, විනාශකාරි දේ සිදුකරන අය අවස්ථා පහක දී තැවෙනවා.

අත්තානුවාද භය - යමෙක් අපරාධයක්, අකුසල කර්මයක් සිදු කරයි ද, එම අපරාධය සමාජය ඉදිරියේ සඟවා ගෙන සිටියත්, තමාගේ සිතට එම අපරාධය සැඟවිය නොහැකි ය. සිදුකළ අකුසල කර්මය සිතට මෙනෙහි වන සෑම මොහොතක ම තම සිත තමාට ම චෝදනා කර ගනියි.

පරානුවාද භය - පර යනු අනුන් විසින්, තමන්ගේ ජීවිතයට බොහෝ කිට්ටු සමීපතමයන්ගෙන් එල්ල වන නින්දා, අපහාස, චෝදනා නිසා තමන්ගේ සිතට ඇතිවන බියයි.

ලෝකානුවාද භය - ලෝකයාගෙන් තමන්ට එල්ලවන චෝදනා නිසා හට ගන්නා වූ බියයි.

දණ්ඩානුවාද භය - පවතින නීති, රීතිවලට අනුකූලව මා කළ වරදට නීතියෙන් දඬුවම් ලැබෙයි යන බියයි.

විපාකානුවාද භය - “යාදිසං වපතෙ බීජං” පැළ කළේ, වැපුරුවේ යම් බීජයක් ද, තාදිසං හරතේ ඵලං” පැළ කරන ලද වපුරන ලද බීජයට අදාළ අස්වැන්නයි බලාපොරොත්තු විය යුත්තේ.

කවර තරාතිරමක පුද්ගලයෙක් වුව ද හොඳ, යහපත් ක්‍රියාවක් සිදු කළ විට යහපත් ප්‍රතිඵලයක් ලැබෙන අතර, නරක අයහපත් දෙයක් සිදු කළේ නම් නරක පාපකාරී ප්‍රතිඵල ලබයි.

ඉතා දුර්ලභ ව ලැබූ මේ මනුෂ්‍යාත්මභාවය අප විසින් රැක ගත යුතු වන්නා සේ ම ඊළඟ භවය ද සුවපත් කර ගැනීමට මේ ලැබූ මනුෂ්‍යාත්මභාවය තුළදී ධර්මානුකූල ව අප කොයි ආකාරයෙන් කුසල් අකුසල් පින් පව් කළ යුතු ද යන්න හොඳින් වටහා ගත යුතු ය.