බ්‍රහ්ම විහරණ ගුණැති පින්කෙත
නිතින රැක ගත යුතුයි අදරින
මව දරුවාට බොහෝ උපකාර ඇති කෙනෙකි. දරුවා ඇගේ කුසැ ඉන්දැ දී ඒ දරු ගැබ බොහෝ ම
පරිස්සමින් රැක ගන්නී ය. දරුවා කුසින් බිහි වුණාට පසු ඇගේ ම ලේ කිරිපොවමින් හදාවඩා
ගන්නී ය.
දරුවාගේ අත්, පා, කන්, නාසා, අඹමින් උහුගේ ළදරු ඇඟට උවටැන් කරන්නී ය. ශීතයක් හෝ තද
උණුසුමක් හෝ උහු ඇඟට වැදෙන්නට නො දී එ දරු රැක ගන්නී ය. මැසි මදුරු මකුණු ආදි
සතකුවත් දරුවාගේ ඇඟට ළං වන්නට නො දෙන්නී ය. උවදුරුවලින් බේරෙන්නට දන්නේ නැති, ඒ
දරුවා හැම එකෙකින් ම ඕ බේරාගෙන රකින්නී ය.
තමාගේ යම් වස්තුවක් ඇත්නම්, ඒ සියල්ල ම දරුවා වෙනුවෙන් රැක ගන්නී ය. දරුවාට
කවන්නේත්, පොවන්නේත්, ඉඳින්නට, හිටින්නට, නිදා ගන්නට, ඇඳුම් අඳින්නට උගන්වන්නේත් මව
ය. “මේ ඔබේ තාත්තා, මේ අයියා, මේ අක්කා, මේ මාමා” යන ආදීන් කියා තෝරා දී ඒ හැම
දෙනාම අඳුන්වා දෙන්නී මවු ය. යන්තමින්වත් දරුවාට අසනීපයක් හැදුණොත් රෑ තිස්සේ නිදි
වරාගෙන දරුවා තුරුලු කොට ගෙන උහුට සාත්තු කරමින් සනීපය ලබා දෙන්නට වෙහෙස මහන්සි
ගන්නී මවු ය. ටිකක් අසනීපය අමාරු වෙන හැඩයක් පෙනුණොත්, දරුවා දිහා බලමින් ඇඬූ
කඳුළෙන් මව කොතරම් දුක් වන්නී ද?
මව තරමට ම දරුවාට ආදරය ඇති තව කෙනෙක් වෙති. ඒ පියා ය. දරුවා මෑණියන්ගේ කුසේ ඉන්දැ
දි ඇයගේ සනීපය රැක ගන්නට, කුසේ උන් දරුවාට විපතක් නොවී සුව සේ වැඩෙන්නට, යමක්
වුවමනා නම්, ඒ සියල්ල සපයන්නේ පියා ය. දරුවා උපන් දා සිට වඩ වඩා වෙහෙස මහන්සි දරා
හරි හම්බ කරනුයේ ඒ දරුවා වෙනුවෙනි. දරුවාගේ ලෙඩට දුකට සියලු වියදම් කරන්නේත් පියා
ය. හේ දරුවා වඩාගෙන සුරතල් වචන කියමින් ඒ ඒ දෑ පෙන්වමින් ඒවායේ නම් කියා දිදී ඒවා
අඳුන්වා දෙයි.
දරුවා ටිකක් ලොකු වුණාට පසු ඔහුගේ මතු දියුණුව බලා ගෙන පාසලට භාර දී දරුවාට ඉගැන්මට
උදවු උපකාර කරන්නෝ ද මැණියෝත්, පියාණෝත් දෙදෙනා ය. මෙසේ උගන්නා, රැකී රක්ෂාවක් ලබා
දෙවා දරුවා පෝසතකු කරන්නට, රටේ කාගෙනුත් සැලකිලි ලබන කෙනකු කරන්නට, ඉහළ පන්තියේ
කෙනකු කරන්නට, හැම අතින් ම දියුණු කරන්නට මෑණියෝත් පියාණෝත් නිතර ම උත්සාහ කරති.
සමහර විටෙක අසුවලා එක්ක කතා බස් කරන්නට එපා. යාළුකම් කරන්නට එපා” කියා මෑණියෝ හෝ
පියාණෝ හෝ කියති. ඒ ඔවුන් එක්ක යාළු වීමෙන් දරුවා නරක් වෙනවා ඇති කියා හිතා දරුවා
කෙරෙහි කරුණාවෙනි.
දරුවා නරක දැයක් කීවා ම, කළා ම සමහර විට පියාණෝ සැර කරති. සමහර විට තළති. ඒ
වෛරයකින් නොවේ. දරුවා හික්මවන්නට ය. දරුවා නරක කෙනකු වෙන්නට ඉඩ නොදී හොඳ දරුවකු
කරන්නටයි එසේ දඬුවම් කරන්නේ.
මේ පරිද්දෙන් මෑණියන්ගෙත්, පියාණන්ගෙත් හැම වෑයම ම දරුවා දියුණු කරන්නට ය. ඒ දෙ
දෙනා සිය දරුවාට පමණ වෙන කාටවත් ආදරය නො කරති. එසේ වූ මා පිය දෙදෙනාට දරුවන් විසින්
නිතර ම ආදරය දැක්විය යුතු. කළ උපකාර සැලකියැ යුතු. හැකි තරම් හොඳට උදවු කළ යුතු.
හැම දා ම කීකරු විය යුතු.
කෙනකු පදිංචි ගෙයි දෙවිවරු දෙ දෙනෙක් ඉඳිති. දරුවා හදා වඩා ගන්නේ, රැක බලා ගන්නේ,
විපතට වැටෙන්නට නො දී බේරා ගන්නේ අමාරුවේ දී පිහිට වෙන්නේ ඒ දෙවිවරුන් දෙ දෙනා යි.
ඒ දෙදෙනා නම් මෑණියෝත්, පියාණෝ ත් ය.
“මේ අසුවලා ය, මේ අසුවල් දැ ය” යි කිය කියා මුල දී ම ලෝකය හඳුන්වා දෙන්නේ ත්, මුල
දී ම, උගන්වන්නේ ත් ඒ දෙ දෙනා ය. එ බැවින් ඒ දෙ දෙනා මුල් ගුරුවරු ය.
දරුවාට හැම ලෙසකින් ම පිහිට වූ, දෙ ගුරු වූ, දරුවාගේ දෙවි වූ මා පිය දෙ දෙනා ඔහු
විසින් වැන්ද යුතු. දැක හුන් ආසනයෙන් නැඟී සිටිය යුතු. දරුවා වයසින් වැඩෙන්නට
වැඩෙන්නට ඇඟපත ශක්තිය ලැබෙන්නට ලැබෙන්නට, ඔහු විසින් වඩ වඩා ඒ දෙදෙනාට සැලකිලි
දැක්විය යුතු, උපස්ථාන කළ යුතු.
මහලු වූ මෑණියන්හටත්, පියාණන්හටත් හැම උපකාරයට ම ඉන්නේ දරුවා පමණයි. දරුවා කුඩා
කාලයේ, ඔහුට මොකක් වත් බැරි කාලයේ, හදා වඩා ගත් ඒ මව්පියන් දෙන්නා දුබල වුණා ම
ඔවුන් නො සලකා හිටියොත්, එය මහත් ම දුෂ්ට කමෙකි.
සමහරු තමන් මවට, පියාට, ආදර සැලකිලි නො දක්වති. රවති, බණිති. නොසලකා හරිති. ඒ වැනි
අය ලොව ඉන්නා නපුරු ම අය ය. පරම අසත්පුරුෂයෝ ය. ඔහු අන්තිමේ දී පිරිහෙති. හැම
දියුණුවෙන් ම පහත වැටෙති. මැරී මතු අපාය දුකටත් වැටෙති.
මවට පියාට ආදරයෙන් සලකන අය මෙ ලොවදීත් දියුණුූ වෙති. මරණින් මතුත් සැප ලබති. හැම
යහපත් අය ම ඔහුට ආදරය දක්වති.
අග්බෝ රජු
පෙර අනුරාධපුරයේ බොහෝ ගුණවත් අග්බෝ නම් රජෙක් විය. ඒ රජ හැමදාම උදේ, හවස මෑණියන්හට
උපස්ථාන කරයි. මෑණියන් නාවයි. මෑණියන් ගේ ඇඳ සුද්ද කරයි. අලුත් ඇතිරිලි දමා පිළියෙළ
කැරැ මෑණියන්හට එහි සැතපෙන්නට සලස්සයි. හැමදා ම උදේ, දවල් හැන්දෑවේ තුන් විටක්
මෑණියන් වැඳ සමා කරවා ගනී. ගමනක් යතොත් මෑණියන් වැඳ අවසර ලබා ගෙන ම යයි. ගමනක් ගොස්
ආ හැටියේ ම මෑණියන් වෙත එළැඹ වැඳ අවසර ලබා ගෙන තමන්ගේ අනිත් වැඩ කටයුතුවලට යෙයි.
සත්පුරුෂ පුත්‍රයා ඒ අග්බෝ රජු වගේ ම මෑණියන්හට හොඳට සත්කාර කරන්නකු විය යුතු. මෙ
සේ ආදරයෙන් කීකරු ව මෑණියන් හට සැලැකුම් කරන තැනැත්තාට කවරදාවත් පිරිහීමක් නොවේ.
ඔහුට දෙලොවින් ම දියුණුව සැලසේ.
ගිරවාගේ උපස්ථානය
පෙර එක් ලොකු ගිරවෙක් අවුත් කුඹුරකට වැදි වී කාලා තවත් වී කරල් ටිකක් අර ගෙන යයි.
දවෙසක කුඹුර බලන මිනිහා පා මලක් අටවා, ඒ ගිරවා අල්ලා ගෙන ගොස් කුඹුර අයිති
පුද්ගලයාට භාර දුන්නේ ය. කුඹුර හිමිකරු
“ආ ගිරවෝ, උඹ වී කන එක නම් හරි. තවත් වී කරල් ටිකක් ගෙන යන්නේ කොහාට ද?” කියා ඇසී
ය.
එවිට ගිරවා
“අනේ මගේ අම්මාත්, තාත්තාත් බොහොම වයසයි. ඒ දෙ දෙනාට පියඹා මොකවත් හරි හොයා ගන්නට
ශක්තිය නෑ. ඉතින් මා තමා ඒ දෙන්නට කෑම ගෙන ගොසින් දෙන්නේ”යි කීය.
මේ කතාව අසා කුඹුරු හිමියා බොහෝ ම සතුටු වී ඒ ගිරවා ගේ ප්‍රයෝජනයට තමාගේ කුඹුරෙන්
කොටසක් වෙන් කොට දුන්නේ ය. ගිරවා මුදා හැරියේ ය.
ගිරවා අප තරම් නුවණ ඇති, සතෙක් නොවේ. එහෙත් හේ ත් තමාගේ මා පිය දෙ දෙනාට කෑම දී
උපකාර කළේ ය. ඌට වඩා නුවණ ඇති ඌට වඩා ශක්තිය ඇති අප කොතරම් ඉහළින් අපගේ මා පිය
දෙන්නාට සැලැකිලි කළ යුතු ද?
පෙර කැලෑවෙක හොඳ ලස්සන තරුණ ඇතෙක් විය. උගේ මෑණියෝ, එනම් මහ ඇතින්න, අන්ධ ය. ඒ
මෑණියනට කෑම බීම ආදි සියල්ල සපයා ගෙනවුත් දෙන්නේ අර මුලින් කී තරුණ ඇතා ය. එක්
දවසක් මිනිස්සු අවුත් මේ ඇතා අල්ලා ගෙන ගියහ. ගොහින් රජ්ජුරුවන් හට භාර දුන්හ.
රජ්ජුරුවෝ ඌ ඇත් ගාලට දමා බොහෝ සත්කාර කළහ. නොයෙක් රස කෑම ගෙන ගොස් දෙවූහ. එහෙත්
ඇතා ඒ කිසිවක් කෑවේ බීවේ නැති වැ නිතර ම මවු ගැන හිත හිතා ශෝකයෙන් සිටියේ ය.
රජ්ජුරුවෝ ඌ ලිහා යවා ඌ යන්නේ කොහාට දැයි බලන්නට මිනිසුන් යැවූහ. ඇතා කෙළින් ම මව
උන්න තැනට ගියේ ය. ගොසින් බලා හොඬයට වතුර පුරවා ගෙන අවුත් ඈට වතුර පෙවී ය. කැලෑවේ
ඇවිද ගෙඩි ජාති ගෙනවිත් ඈට කන්නට දුන්නේ ය. මිනිස්සු මේවා බලා හිට ගොස් රජ්ජුරුවනට
මේ සියලු විත්ති කීහ. රජ්ජුරුවෝ එය අසා බොහෝ සතුටු වී , එතැන් පටන් කොට ඒ ඇතාටත්,
ඇතින්නටත් සියලු උපස්ථාන ලැබෙන්නට සැලැස්සූහ.
පසු කලෙක ඒ රජ්ජුරුවෝ ඒ ඇතා සිහිවීමට උගේ රූපය ගලෙන් කැප්පීය. එයට පූජා සත්කාර කළහ.
සෙසු අය ලවාත් කැරැවූහ.
මෙසේ තිරිසන් සත්තු ද තමන් මවට පියාට සැලැකීමෙන්, මිනිසුන්ගෙන් පවා ගරු බුහුමන්
ලැබූහ. මවට පියාට සැලැකීම සත්පුරුෂ ධර්මයෙකි. ස්වර්ගයට මාර්ගයෙකි.
පෙර හිමාලය පැත්තේ කැලෑවෙක පන්සලෙක පියාත් මවත් පුත්තු දෙ දෙනාත් යැයි සිවු දෙනෙක්
විසූහ. දෙදෙනාගෙන් වැඩිමහල්ලා ගේ නම සෝණ පණ්ඩිත ය. බාලයාගේ නම නන්ද ය. මේ දෙදෙනා
උදෙන් නැඟිටිති. පන්සලත් මිදුලත් අමදිති. මා පිය දෙ දෙනාට වුවමනා අන්දමට උණුවතුර,
ඇල්වතුර ගෙනවුත් දෙති. කැලේ ඇවිද පලවැල ගෙනවුත් මා පියනට කන්නට දෙති. ඔවුන් නාවති.
ඔවුන් ගේ අත් පා මිරිකීම් ආදි හැම සත්කාර ම කරති.
කලකට පස්සේ බාල පුත්‍රයා වන නන්දයා තමා ම මා පිය දෙ දෙනාට පලවැල ගෙනවුත් දී උවටන්
කරන්නට සිතී ය. එසේ හිතා ළඟ කැලෑවෙන් යම් යම් පලවැල ගෙනවුත් කන්නට දෙයි. සෝණ
පණ්ඩිතයෝ වඩ වඩා මිහිරි පලවැල සොයා බොහෝ ඈත ඇවිදිති. ඇවිද ඒවා සොයා ගෙන අවුත් මා
පියනට දෙති. එහෙත් එයට කලින් නන්දයා ගෙනවුත් දුන් පලවැල කා බඩ ගිනි නිවා ගෙන ඉන්න
බැවින් ඒ සෝණයන් ගෙනෙන දෑ නො කති. කීප දිනක් ම මෙසේ ගත විය. දවසක් සෝණ පණ්ඩිතයෝ “
මේ නන්දයා හොඳට ඉදුණේ නැති පලවැල ගෙනවුත් මවටත් පියාටත් දෙති. මා ඈතින් ගෙනෙන හොඳට
ඉදුණු පලවැල කන්නට නො ලැබෙයි. තවදුරටත් මෙසේ වුණොත් මගේ දෙමාපියන් වැඩි කාලයක්
ජීවත් නො වෙතියි, සනීප වී මිය යාමට ද පුළුවන. තමා එන තුරු මා පියන්හට කෑම දීම
පරක්කු කරන්නට කීවත් නන්දයා එය ගණන් නො ගෙන, කල් ඇතිව තෙමේ ම පලවැල ගෙනවුත් මා
පියන් කවයි.
අන්තිමේ දී සෝණ පණ්ඩිතයෝ නන්දයාට “නන්ද, ඔබ මට කීකරු නැත. මා පියනට උවටන් කිරීම
වැඩිමහලු මට යි භාර, මාපියන් දෙන්නා රැක බලා ගන්නට මට පිළිවනි. ඔබ මෙහි ඉන්න එපා යන
අතක යන්නැ’යි කීහ.
මේ කතාව ඇසූ නන්දයා ආයෙත් එහි ඉන්නට හැකි නොවී ය. හේ මා පිය දෙන්නාත් සෝණ,
පණිඩිතයනුත් වැඳ අවසර ගෙන පිටත්ව ගියේ ය.
එදා පටන් මෑණියෝ කනගාටුවෙන් කල් ගත කළහ. ඕ හැම දා ම රෑ හීනෙන් නන්දයා, ආවා දැයි
අසයි. නන්දයාත් ගොස් එක් රටක මහ රජකු යහළු කැරැ ගත්තේ ය. ඔහු ගේ උදව්වෙන් තවත්
රජවරුන් යහළු කර ගත්තේ ය. ඉන් පස්සේ ඒ රජවරුන් එක්ක හිමාලය කැලෑවේ තම මාපියන් ඉන්න
තැනට ආයේ ය. අවුත් ඔවුන් ලවා කියවා සෝණ පණ්ඩිතයන් සමා කරවා ගෙන මව්පියන් ගේ කැමැත්ත
විචාළේ ය. මෑණියෝ”මවට උපස්ථාන කරන්නට නන්දයාට ඉඩ දෙන්න. සෝණයා පියාට උවටැන්
කරන්නැ’යි කීහ. ඒ එසේ ම විය.
ඒ ආ රජවරුන් පිරිසත් සෝණ පණ්ඩිතයන්ගේ අවවාද අසා ගෙන තම තමන්ගේ රටවලට ගොස් මා පිය
උවටන් ආදි පින් දහම් කළහ.
“පෙර සිටි සත්පුරුෂයෝ කො තරම් ආදරයෙන් මවුට, පියාට උපස්ථාන කළෝ ද” යන මෙයින් හෙළි
වෙයි.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහනාහිමියන්ගේ
බුද්ධ භක්තිය කෘතිය ඇසුරිනි |