Print this Article


සතර අපා දුකෙන් මිදෙන්නතෙරුවන පිළිසරණ කර ගන්න

සතර අපා දුකෙන් මිදෙන්න තෙරුවන පිළිසරණ කර ගන්න

ආරම්භයක්, කෙළවරක් නොදකින සසර ගමනක යනෙන සත්ත්වයා සතර අපාය සිය වාසස්ථානය, මහ ගෙදර කරගෙන සිටිනා බවයි ලෝක විදූ ගුණැති භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ.

පුද්ගලයකු ජීවිතයේ අධිකතර වූ කාලයක් ගත කරන්නේ සිය නිවෙසේ. එනම් සිය වාසස්ථානයේ. අන් තැනක රාත්‍රියක් දෙකක් ගත කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් අපට සසරේ දී සතර අපාය වාසස්ථානය වූවා නම්, එයින් ම අප ගෙවූ සසර ගමනේ දී සතර අපායේ සිටි කාලයත්, සුගතියේ සිටි කාලයත් සිතා ගන්නට පුළුවන්. එයිනුත් නිරයේ ගත කළ කාලය ම යි වැඩි.

සතර අපාය මහගෙදර යන අරුතින් ගත් කල, මහගෙදර වනාහි අපට ඉපදීමත් සමඟ ම උරුමය ලබනා තැන ය. ලෝක ධර්මයන්ට පිටුපා ත්‍රිවිධ දුශ්චරිතයේ යෙදෙන්නකුට ගමේ, රටේ, ලෝකයේ සියලු දොරවල් වැසුණ ද, මහ ගෙදර නම් දොර නොවැසේ. ඒ කරුණු දෙකක් නිසාවෙනි. එකක් නම් උපත සමඟ ඇති උරුමය යි. අනෙක කොතෙක් ශාපලත් අපරාධකරුවකු වුව ද පුරුදු සෙනෙහසින් ම පිළිගන්නට මහගෙදර මවුපියන් නිබඳ ව සූදානම් ව සිටින නිසාවෙනි.

එපරිදි ම ය මෙලොව දී ත්‍රිවිධ දුශ්චරිතයේ හැසිරෙන්නවුන්ට සතර අපාය උරුමයි. සතර අපාය ම බැහැර නොකර පිළිගනී. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් සසරට බැඳුණු සත්ත්වයා ස්වභාවයෙන් ම අකුසලයට බර නිසා නිබඳව ම සතර අපායට යොමුව සිටී. මෙලොව දී කයින්, වචනයෙන්, මනසින් පව්කම් කොට මරණින් මතු නිරයෙහි උපදින අසත්පුරුෂ බාලයා හට එහිදී විඳින්නට සිදුවන අනිෂ්ට විපාක ගැන ලෝක විදූ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“මහණෙනි, නිරයේ ඇති භයානක දුක් කොතරම් ද යත්, උපමාවක් පැවසීමත් ලේසි දෙයක් නොවෙයි.”

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, උපමාවක් වදාරන්නට පුළුවන් ද?”

“පුළුවනි, භික්ෂුව“ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“භික්ෂුව, ඒක මෙවැනි දෙයක්. දරුණු අපරාධ කරපු සොරෙක් ව අල්ලගෙන ගිහින් රජතුමාට පෙන්වනවා.

“දේවයන් වහන්ස, මෙන්න ඉන්නවා දරුණු අපරාධ කරපු භයානක සොරා. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැති නම් එය පණවන්න.

එතකොට රජතුමා මෙහෙම කියනවා.

‘භවත, මේ පුද්ගලයා අරගෙන ගිහින් උදේ වරුවේ හුල් පහර සියයකින් අනින්න’ කියලා. එතකොට ඒ පුරුෂයා අරගෙන ගිහින් උදේ වරුවේ හුල් පහර සියයක් අනිනවා. මහ දවල් කාලයේ දී රජතුමා රාජපුරුෂයන්ට කතා කරනවා. ‘එම්බා පුරුෂය, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, සොරා තව ම ජීවත් වෙනවා’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ගිහින් ඒ පුරුෂයාට මහ දවාලටත් හුල් පහර සියයකින් අනින්න. එතකොට මධ්‍යාහ්න කාලෙදීත් රාජපුරුෂයන් අර හොරාට හුල් පහර සියයක් අනිනවා. රජතුමා සවස් වරුවෙදීත් මෙහෙම කියනවා.

‘එම්බා පුරුෂය, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, සොරා තවම ජීවත් වෙනවා.’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ගිහින් ඒ පුරුෂයාට සවසටත් හුල් පහර සියයකින් අනින්න. එතකොට සවස් කාලෙදීත් රාජපුරුෂයන් අර හොරාට හුල් පහර සියයක් අනිනවා.

මහණෙනි, ඒ ගැන කුමක් ද සිතන්නේ? අර පුද්ගලයා හුල් පහර තුන්සියයකින් ඇනුම්කද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවානේ”

“ස්වාමීනී, ඒ පුරුෂයා එක හුල් පහරකින් ඇනුම්කද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවා ම යි. එහෙම එකේ හුල් පහරවල් තුන්සියයකින් ඇනුම් කද්දී විඳින දුක ගැන කවර කතාද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ අතින් මිට මොළවා ගතහැකි කුඩා ගලක් ගෙන භික්ෂූන් අමතා වදාළා.

“මහණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් විශාල කුමක්ද? මා අතින් මිට මොළවාගෙන සිටින මේ ගල් කැටය ද? නැත්නම් හිමාල පර්වත රාජයා ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් මිට මොලවා ගෙන සිටින ගල් කැබැල්ල ඉතාමත් ම කුඩයි. හිමාල පර්වත රාජයා සමඟ සසඳා බැලීමේ දී ගණන් කොට කියන්නට බැහැ. කොටස් කොට කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.”

“මහණෙනි, ඔන්න ඔය විදිහමයි යම් පුරුෂයෙක් හුල් පහර තුන් සියයකින් පහරකද්දී ඒ හේතුවෙන් විඳින්නා වූ යම් දුකක්, දොම්නසක් ඇද්ද, එය නිරයෙහි ඇති දුක සමඟ සසඳා බලනවිට ගණනකට ගන්නට බැහැ. කොපමණ ප්‍රමාදයක් ද කියලා කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.

මහණෙනි, නිරයේ ඉපදුණු කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනය නම් වූ දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණුූ අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් වම් අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් වම් පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලෙන් පපුවට අනිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, එතකොට යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරිවලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද? ඒතාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව කකුල් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවනවා. හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක්කල් ඔහුගේ ඒ පාප කර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ගිනිගෙන දිලිසෙන රථයක ගැටගහනවා. ගැටගහලා හාත්පසින් ගිනි ඇවිළි ඇවිළී තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ හාත්පසින් ගිනි ඇවිළ ගත් ගිනියම් වූ, ගිනි අඟුරු පර්වතයකට මොහුව නග්ගවනවා, බස්සවනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද?, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව කකුල් උඩුඅතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිළ ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතැනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු වූ දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවකට උඩට එනවා.ආයෙමත් යටට බහිනවා. ආයෙ වතාවක් හරස් අතට කරකැවෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඇදලා දානවා. මහණෙනි, ඒ මහා නිරයේ නම්,

කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙන ම කොටස් වශයෙන් බෙදලයි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලයි තියෙන්නේ.

ඒ නිරයේ බිමත් යකඩින්මයි කරලා තියෙන්නේ. ගිනි ගන්නවා. ගිනි දැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් සියයක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා.

මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං නිරය පිළිබඳ විස්තර කියා දෙනවා. මහණෙනි, එහෙත් නිරයේ තිබෙන දුක් මෙපමණක් ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්නට නම් පුළුවන්කමක් නෑ.

ඒ නිරා දුක ය. තිරිසන් ලොව උපත ද මහත්ම දුකකි. ප්‍රබලයාගේ ගොදුර බවට පත්ව මියයාම ද, නිරන්තරයෙන් පවතින මරණ භය, කුසගින්න, පිපාසය ද තිරිසන් ලෝකයේ සදාතනික උරුමය වේ. තිරිසන් ලොව දුක ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අයුරින් පෙන්වා දුන් සේක.

“මහණෙනි, තිරිසන්ගත ප්‍රාණීන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ තණකොළ කාලා. ඔවුන් තෙත් වූත්, වියළි වූත් තණකොළ දතින් උලා ගෙනයි කන්නේ. මහණෙනි, ඒ තණකොළ කන තිරිසන් සතුන් කවුද? ඒ තමයි අශ්වයෝ, ගොන්නු, බූරුවෝ, එළුවෝ, මෘගයෝ. මහණෙනි, තණකොළ කාලා ජීවත් වෙන තවත් තිරිසන්ගත සතුන් ඉන්නවා. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳන්න ගිහින් පව් කරලා, කය බිඳී මරණින් මතු තණකොළ කාලා ජීවත් වෙන සතුන් සිටිත් නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුර දී ම අසූචි ගඳ ඉව කර ගෙන දුවන්නේ ‘මෙතැන දී ම කන්න ඕන, මෙතැන දී ම කන්න ඕන’ කියලයි. ඒක හරියට බ්‍රාහ්මණයන් යාග සුවඳට ඉව අල්ලගෙන ‘මෙතැන දී ම අනුභව කරන්න ඕන. මෙතැන දී ම අනුභව කරන්න ඕන’ කියල දුවනවා වගෙයි. ඔය විදිහමයි මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුරදීම අසූචි ගඳ ඉව කර ගෙන දුවන්නේ ‘මෙතැන දී ම කන්න ඕන, මෙතැන දී ම කන්න ඕන’ කියලයි.

මහණෙනි, අසුචි අනුභව කරන තිරිසන්ගත සතුන් කවුද? කුකුළෝ, ඌරෝ, බල්ලෝ, හිවල්ලු ආදී සතුන්. ඒ වගේම අසූචි අනුභව කරන තවත් තිරිසන්ගත සතුන් ඇද්ද?, ඔවුනුත් අයිතියි. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු අසූචි කාලා ජීවත් වෙන සතුන් සිටිත් නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ අන්ධකාරයේ ම යි. ඔවුන් වයසට යන්නෙත් අන්ධකාරයේ ම යි. මැරෙන්නෙත් අන්ධකාරයේ ම යි. මහණෙනි, අඳුරේ ඉපදී, අඳුරේ දිරලා, අඳුරේ මියයන තිරිසන්ගත සතුන් කවුද? කීටයෝ, පණුවෝ, ගැඩවිල්ලු ආදියයි. ඒ වගේම තවත් අඳුරේ ඉපදී, අඳුරේ දිරලා, අඳුරේ ම මියයන තිරිසන්ගත සතුන් ඇද්ද?, ඔවුනුත් අයිතියි. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අඳුරේ ඉපිද, අඳුරේ දිරලා, අඳුරේ ම මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ වතුරේ ම යි. ඔවුන් වයසට යන්නෙත් වතුරේ ම යි. මැරෙන්නෙත් වතුරේමයි. මහණෙනි, ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේ ම මියයන තිරිසන්ගත සතුන් කවුද? මාළු, කැස්බෑවෝ, කිඹුල්ලු ආදියයි. ඒ වගේම තවත් ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේ ම මියයන තිරිසන්ගත සතුන් ඇද්ද?, ඔවුනුත් අයිතියි. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේ මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ අසූචි ගොඩේම යි. ඔවුන් වයසට යන්නෙත් අසූචි ගොඩේමයි. මැරෙන්නෙත් අසූචි ගොඩේම යි. මහණෙනි, අසූචියේ ඉපදී, අසූචියේ දිරලා, අසූචියේ ම මියයන තිරිසන්ගත සතුන් කවුද? මහණෙනි, යම් සත්ත්වයන් කුණුූ මසෙහි උපදිනවා ද, කුණු මසෙහි ම දිරනවා ද, කුණු මසෙහි ම මැරෙනවා ද........... මළකුණුවල උපදිනවා ද,.......... කුණු ආහාරයෙහි උපදිනවා ද,............... කුණු කාණුවෙහි උපදිනවා ද,............ කුණු වළෙහි උපදිනවා ද,............. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අසූචියේ ඉපදී, අසූචියේ දිරලා, අසූචියේ ම මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං තිරිසන් අපාය පිළිබඳ විස්තර කියාදෙනවා. මහණෙනි, එහෙත් තිරිසන් අපායේ තිබෙන දුක් මෙ පමණක් ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්න නම් පුළුවන්කමක් නෑ.

මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් එක සිදුරක් ඇති වියදණ්ඩක් මහ මුහුදට වීසි කරනවා. එතකොට ඒ වියදණ්ඩ පෙරදිගින් හමන සුළඟින් බටහිර පැත්තට ගෙන යනවා. බටහිරින් හමන සුළඟින් පෙරදිග පැත්තට ගෙන යනවා. උතුරින් හමන සුළඟින් දකුණු දිශාවට ගෙන යනවා. දකුණින් හමන සුළඟින් උතුරු දිශාවට ගෙනයනවා. ඔය අතරේ මුහුදේ එක ඇසක් පෙනෙන කණකැස්බෑවෙක් ඉන්නවා. ඒ එක ඇසක් පෙනෙන කණකැස්බෑවා අවුරුදු සියයකට වාරයක් මුහුදු පතුලේ ඉඳලා උඩට එනවා. මහණෙනි, ඒ ගැන කුමක් ද සිතන්නේ? එතකොට ඒ කණකැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් හිස ඇතුළට දමාවි ද?”

“ස්වාමීනී, ඉතාමත් දීර්ඝ කාලයක් ගිය තැනක දී, යම් දවසක සිදුවෙන්නට පුළුවනි.”

“මහණෙනි, ඒ කණකැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් ඉතා ඉක්මනින් වුණත් හිස ඇතුළට දමන්නට පුළුවනි. නමුත් පින්වත් මහණෙනි, එක් වතාවක් අපායෙහි උපන් අසත්පුරුෂ බාලයා නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවා ය කියන කරුණ එයට වඩා ඉතාමත් ම දුර්ලභයි කියලයි මා කියන්නේ. ඒ මක් නිසාද යත්, මහණෙනි, අපාය තුළ ධර්මයේ හැසිරීමක්, යහපතෙහි හැසිරීමක්, කුසල් කිරීමක්, පින් කිරීමක් නැත. පින්වත් මහණෙනි, අපායේ තිබෙන්නේ එකිනෙකා කාගැනීමයි, දුර්වලයන් කාදැමීම විතරයි.

ප්‍රේත ලෝකයේ කොටස් සතරකි. එක් කොටසක් නිබඳව ම ගින්නෙන් දැවේ. තව කොටසක් ජීවිත කාලය පුරාවට ම කුසගින්නෙන් හා පිපාසයෙනි. තව කොටසක් සෙම්, සොටු බිඳකින් යැපේ. ඉතිරි කොටස ඥාතීන්ගෙන් ලැබෙන පිනෙන් යැපේ. ප්‍රේත ලෝකය ද මහත්ම දුකකි. ප්‍රේත ලෝකයෙහි උපන් සත්වයන් විඳින දුක ගැන වැඩි විස්තර ප්‍රේත වස්තු පාලියට අයත් දේශනාවන් කියවීමෙන් ඔබට තේරුම් ගතහැකි වේවි.

අපාදුක මේ යැයි කිවහැක්කේ සියල්ල දත් සම්මා සම්බුදුවරයකුට ම මිස අන්‍යයකුට නොවේ. නුවණැත්තෝ සිහි උපදවා ගෙන දුලභ බුදු සසුන මුණගැසුණ මේ උතුම් අවස්ථාවේ මේ සතර අපා දුකෙන් නිදහස් වන්නට වෙර ගනිත්වා.