අසූකෙළක් නාගයින් තුන්සරණයෙහි පිහිටි දා
“පස්මරුන් දිනූ සර්වඥයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස් වැනි වස ජේතවන විහාරයෙහි
වැඩවසන සේක. මහෝදර නාගයා හා චූලෝදර නාගයා පිරිස් සහිත ව මිණිපළඟ (මැණික් පුටුව)
හේතුකොට එළඹ සිටියා වූ යුද්ධය දැක බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි නාගයන්ට
අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.
එකල්හි මහෝදර නාග තෙමේ මුහුද 500 යොදුන් රජ කරයි. ඔහුගේ නැඟණිය “කන්වඩමින්” නම්
පර්වතයෙහි නා රජුට දෙන ලදී. ඔවුනගේ පුත්‍ර චූලෝදර ය. චූලෝදරගේ සීයා චූලෝදරගේ මවට
මිණි පළඟ දී කාලක්‍රියා කළේ ය.
මෙයින් මාමා හා බෑනා යුද්ධයකට එළඹ සිටියෝ ය. පර්වත වාසී නාගයෝ මහත් ඍද්ධිමත් ය. පෙර
ආත්මයක නාගදීප වැසියෙක් වූ, එදා කිරිපලු නුගරුක මුල දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේට
උපස්ථාන කළ පිනෙන් එම රුකෙහි ම දෙවියෙක් ලෙසින් පහළ ව බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව
සැලසූ සමිද්ධ නම් දේවතාවා බුද්ධානුමතියෙන් මේ කිරිපලු රුක ඡත්‍රාකාරයෙන් සර්වඥයන්
වහන්සේ මත්තෙහි දරමින් පෙර (නාගදීපයෙහි) විසූ ස්ථානයට පැමිණියේ ය.
මෙසේ වැඩි සර්වඥයන් වහන්සේ යුද්ධ මධ්‍යයෙහි අහසෙහි වැඩ සිටියහ. ඒ නාගයන්ට භය ඇති
කරන්නා වූ අන්ධකාරයක් මවා පෑ සේක. බියගත් ඒ නයින් අස්වසන්නේ ආලෝකයක් පැතිර වූ සේක.
මෙහිදී සර්වඥයන් වහන්සේ දැක සතුටු වූ ඒ නාගයෝ සිරිපා වැන්දෝ ය. එවිට සමඟි ධර්මයන්
ඔවුන්ට දේශනා කළ සේක. සතුටු වූ ඒ නාගයෝ මිණිපළඟ සර්වඥයන් වහන්සේට ප්‍රදානය කළහ. ලෝක
නායකයන් වහන්සේ ඒ මත්තෙහි වැඩහිඳි පසු දිව්‍යාහාරපානයෙන් සතපන ලද සේක. දියගොඩ වාසී
අසූකෙළක් නයින් තුන්සරණයෙහි ද, සීලයෙහි ද පිහිට වූ සේක.
මහෝදර නාගයාගේ මයිල් වූ මණි අක්ඛිත නම් වූ කැලණියෙහි නාරජ තෙමේ යුද්ධ කරනු පිණිස
එහි ආයේ ය. සර්වඥයන් වහන්සේ පළමු මෙහි වැඩි කල සද්ධර්ම දේශනාව අසා සරණ ශීලයෙහි
පිහිටා සිටි මොහු තථාගතයන් වහන්සේට ආයාචනා කරන්නේ
“ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේ අපට කරන ලද්දේ මහත් වූ අනුකම්පාවක් ය. නුඹ වහන්සේ මෙහි
නොපැමිණියේ නම්, අපි සියල්ලෝ අළු වම්හ. තථාගතයන් වහන්ස, මා කෙරෙහි ද වෙන් වශයෙන්
කරුණාව වේවා. නැවත මෙහි ආගමනයෙන් මගේ වාසභූමියට වඩින සේක්වා’යි කීයේ ය. |