දිවි මඟ බබළවන කෘතගුණ සැලකීම
ගලගෙදර
රතනවංස හිමි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කොට ගෙන පළමුව ධර්මය දේශනා කිරීමට පෙර
සිද්ධ කළේ කෘත ගුණ සැලකීමේ උතුම් සත් ක්‍රියාවයි.
බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා ඉඳ
උන්වහන්සේගේ කෘතඥතාවය පෙන්වූහ. එය කිසිවකුට කළ නොහැකි තරමේ ධෛර්ය සම්පන්න හා උට්ඨාන
වීර්යයෙන් කළ ක්‍රියාවකි. සාමාන්‍ය පෘථග්ජනයාට පුංචි වේලාවක් වත් ඇස් පිය නොගසා
සිටිය නොහැකි ය. එසේ වුව ද බුදුරජාණන් වහන්සේ සතියක් එක ඉරියව්වෙන් ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ දෙස බලා සිටීම මොන තරම් ආශ්චර්යවත් ද?
උන්වහන්සේ අපමණ වෙහෙසක් දරා අවබෝධ කරගත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමටත් පෙර
උන්වහන්සේ කෘතගුණ සැලකීම නම් වූ උතුම් පාඩම ලෝකයාට කියා දුන්හ. බෝධිය යනු
අවිඤ්ඤාණික වස්තුවකි. එසේ වුව ද ඒ තුළින් දුන් පාඩම ඉතා ගැඹුරු ය. එය මානව සත්වයාගේ
ම ගමන් මඟ යහපත් කර ගැනීමෙහි ලා සිදුකළ ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. එය ඉස්මතු වූයේ ලොවට
උතුම්ම දර්ශනයක් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයකුගෙනි. එනිසා සෑම කෙනෙක් ම එම
උතුම් පාඩම ජීවිතයට සම්බන්ධ කොට ගෙන එය අනුගමනය කිරීමට උත්සාහවත් විය යුතු ව ඇත.
බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතය පුරා ම මෙම උතුම් ගුණාංගය දැකිය හැකි ය. එනිසා ම
උන්වහන්සේ දේශනා කළේ “කතඤ්ඤෝ කතවේදී දුල්ලභො පුග්ගලො ලොකස්මිං” යනුවෙනි. ලෝකයේ කෘත
ගුණ සලකන අය දුර්ලභ බවයි. ඒ තරමට ම මිනිසුන්ට ඉක්මනින් තමන්ට උදව් උපකාර කළ අය අමතක
වනු ඇත. ඔවුන් හඳුන්වන්නේ අකෘතඥ පුද්ගලයින් ලෙස ය. එවැනි සමාජයක් තුළ බුදුරජාණන්
වහන්සේ තරම් කෘතගුණ දත් ශ්‍රේෂ්ඨ උත්තරීතර මිනිසෙක් මිහිපිට තවත් පහළ වී නොමැත.
උන්වහන්සේ ස්ව ඤාණයෙන් ම ධර්මය අවබෝධ කොට ගෙන පළමු ව ධර්මය දේශනා කිරීම පිළිබඳ
විමසීමේ දී ද එම ගුණාංගය ඉස්මතු කළ ආකාරය පැහැදිලි වේ. පළමු ව ධර්මය දේශනා කිරීමේ
දී උන්වහන්සේට තමන්ට උදව් උපකාර කළ පස්වග තවුසන් දෙස තම ඤාණයෙන් බැලීය. එයට හේතුව
තමන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමට වෙහෙසෙන කාලයේ දී උදව් උපකාර කළ පිරිසක්
සිටි බැවිනි. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන තවුසන් පස් දෙනා
බුදුරජාණන් වහන්සේට උදව් උපකාර කළ අතර, දුෂ්කර ක්‍රියාවෙන් පසු නැවත බුදුරජාණන්
වහන්සේගේ ශරීරය ප්‍රකෘති තත්ත්වයට පත්වීම නිසා බුද්ධත්වය අවබෝධ නොකර ගනු ඇතැයි යන
සැකය තුළ ඔවුන් සිද්ධාර්ථ තාපසයන් හැර ගියහ.
එසේ වුව ද සිද්ධාර්ථ තාපසයාණෝ කම්පාවට පත් නොවී අධිෂ්ඨාන ශක්තියෙන් දිගට ම භාවනා
කළහ.
බුද්ධත්වයෙන් පසු ඔවුන් බරණැස් නුවර ඉසිපතනාරාමයේ මිගදායේ සිටින බව දුටුහ. ඔවුන්
සොයා ගෙන ගොස් ඔවුනට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට පිළිවෙළින් සෝවාන්,
සකෘදාගාමී, අනාගාමී, අර්හත් තත්ත්වයට පත් කොට වදාළහ. බුද්ධ ශාසනයේ පළමු ශ්‍රාවක
පිරිසට ඔවුන් ඇතුළත් වන්නේ එම හේතුවෙනි.
බුදුරජාණන් වහන්සේ කෘතගුණ සැලකීමක් හැටියට පස්වග තවුසන්ට පළමුව ධර්ම දේශනා කළහ. එය
බුද්ධ ශාසනයේ සිදු වූ සුවිශේෂිතම සිදුවීමකි.
අද සමාජය විමසීමේ දී නොයෙක් දෙනා කළ උපකාර අමතක කරන බවක් පෙනේ. මවුපිය - දූදරු,
ගුරු - සිසු, ස්වාමි - භාර්යා, ස්වාමි - සේවක ආදී වශයෙන් සමාජයේ සෑම කොටසක් තුළ ම
අන්‍යොන්‍ය වශයෙන් තිබිය යුතු ගුණධර්මයක් ලෙස කෘතගුණ සැලකීම හැඳින්වීමට පුළුවන. එය
සෑම දෙනෙක් තුළ ම තිබිය යුතු උතුම් ගුණාංගයකි. එම ගුණාංගය නොමැති කල සිදුවන්නේ
අකෘතඥකම වර්ධනය වීම ය. එය සමාජයට අයහපත පිණිස ම පවතී.
බුදුරජාණන් වහන්සේ තම මවට, පියාට උපකාර කළ ආකාරය ද ඉතා වැදගත් වේ. සිද්ධාර්ථ
කුමාරයා බිහි වී දින 7කින් මව මහාමායා දේවිය කලුරිය කළා ය. සිද්ධාර්ථ කුමාරයා
ගිහිගෙය අතැර බණ භාවනා කර බුද්ධත්වය අවබෝධ කොට ගෙන මවට උපකාරයක් කිරීමට සිතීමේ දී ඒ
වන විට මහාමායා දේවිය තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය පුත්‍රයා වී ඉපිද සිටි
නිසා, එහි වැඩම කොට අභිධර්මය දේශනා කළ බව සඳහන් වේ. මවට සැලකීම (කෘත ගුණ සැලකීම)
බුදු කෙනකුට වුව ද එකලෙස බලපාන බව ඉන් පැහැදිලි ය.
සුද්ධෝදන රජතුමා වූ තමන් වහන්සේගේ පියා ලෙඩ හැදී වයසට ගොස් මරණ මංචකයේ ඉන්නා විට
බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන්, ආනන්ද, නන්ද, රාහුල ආදී ශ්‍රාවකයින් ද සමඟ රජ
මාලිගාවට වැඩම කොට පිරිත් කියා ආශීර්වාද කළ ආකාරය පැහැදිලි වේ.
සුළු මව වූ ප්‍රජාපති ගෝතමිය, මහාමායාදේවිය කලුරිය කළාට පසු සිද්ධාර්ථ කුමාරයා ඇති
දැඩි කොට රැක බලා ගත් සුලුමව යි. එතුමියට කෘත ගුණ සැලකීමක් වශයෙන් ප්‍රජාපතී
ගෝතමියට බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා දුන්හ. එපමණක් නොව ප්‍රජාපතී භික්ෂුණිය
පිරිනිවන් පෑමට විහාරයට යන මොහොතේ පසු පසින් ගමන් කළහ. එයට හේතුව කෘතගුණ සැලකීමක්
වශයෙන් තම යුතුකම ඉෂ්ඨ සිද්ධ කිරීම ය.
බුද්ධ චරිතය පුරාම ඇත්තේ කෘතගුණ සැලකීමේ උතුම් ශ්‍රේෂ්ඨ ගුණාංගය යි. එය ශ්‍රාවකයින්
තුළ ද වර්ධනය වන අයුරින් අවශ්‍ය අවවාද අනුශාසනා සිදු කළහ. ශ්‍රාවකයින් තුළ ද එම
උතුම් ගුණාංගය පැහැදිලි වේ. සැරියුත්, මුගලන් චරිත තුළ එය මනාව පිළිබිඹු වේ.
බුදුරජාණන් වහන්සේ මොන තරම් කෘතගුණ සැලකීම පිළිබඳ අවධානය යොමු කළේ ද යත් මෙලොවට
පමණක් නොව පරලොවට ද එම සිතුවිල්ල දියත් කර ඇත. උන්වහන්සේ යුතුකම් හා වගකීම් පිළිබඳ
සිඟාලෝවාද සූත්‍රය තුළින් දේශනා කිරීමේ දී දරුවන්ගෙන් මවුපියන්ට කරුණු පහක් ඉෂ්ඨ
සිද්ධ විය යුතු බව දේශනා කළහ. එයින් කරුණු හතරක් මෙලොව වශයෙන් ද, එක් කරුණක්
නොපෙනෙන පරලොවට ද දේශනා කළහ.
“අථච පන පෙතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සන්ති” වශයෙන් කලුරිය කළාට පසු ඔවුන්
වෙනුවෙන් අතින් අත දෙයක් නොදිය හැකි නිසා සිතින් සිතට දිය යුතු වූ පින්වලින්
සංග්‍රහ කිරීම කළ යුතු බව දේශනා කළහ. මිය ගියාට පසු දිය හැකි උසස් ම දායාදය වන්නේ
පින් පමණි. එනිසා මිය ගියාට පසු මවුපියන් අමතක නොකොට මවුපියන්ට උපකාර කරන ලෙස
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.
එය බෞද්ධාගමික චාරිත්‍රයක් ලෙස මහින්දාගමනයත් සමඟ අපට උරුම වූ දායාදයකි. අද දක්වා ම
එම උතුම් චාරිත්‍රය බෞද්ධ පින්වතුන් ඉෂ්ඨ සිද්ධ කර ගෙන එනු ඇත. එය ශ්‍රේෂ්ඨ
ගුණාංගයකි. ළමා පරපුරට ද ආදර්ශවත් ක්‍රියාවකි. සමහර වැඩි මහල්ලන් පින්කම් කරන විට
කුඩා ළමයින් එතැනින් ඉවත් කරනු ඇත. එය එතරම් සුදුසු ක්‍රියාවක් නොවේ.
එම කෘතගුණ සැලකීමේ ක්‍රියාවලිය සමාජයේ කුඩා දරුවන්ගෙන් ඈත්වීමට එක් හේතුවක් වන්නේ ද
එයයි. ඇතැම් වැඩිමහල්ලන් විසින් කුඩා දරුවන් හොඳ වැඩවල දී ඈත් කිරීමත්, නරක වැඩවල
දී ළං කර ගැනීමත් සිදු කරනු ඇත.
සමහර මවුපියන් දරුවන් ලවා මත්ද්‍රව්‍ය පවා ගෙන්වා ගැනීම ද සිදු කරනු ඇත. එවැනි දුවා
දරුවන් තුළින් ඔවුන්ගේ ම මවුපියන්ට විශාල කරදරවලට මුහුණ දීමට සිදුවනු නිසැක ය.
මවුපියන්ගේ වැරදිවලින් එවැනි පරිසරයක හැදෙන දුවා දරුවන් කළගුණ නොදත් දුදනන් බවට
පත්වනු නියත ය.
“කොපමණ ගුණ කළත් -
දුදනෝ නොවෙති යහපත්
අකෘතඥ පුද්ගලයාගේ ස්වභාවය වන්නේ තමනට කෙනෙකු උපකාරය කළත් එය අමතක කිරීමේ ලක්ෂණය යි.
ඉහත කවිය තුළින් ද ඒ බව පැහැදිලි වේ. දුර්ජනයින්ට, අකෘතඥයින්ට කොපමණ උදව් උපකාර කළ
ද, ඒ ගුණ අමතක කරනු ඇත. හරියට කිරි බඳුනක අඟුරු කෑල්ලක් යෙදීමෙන් එම කිරි බඳුන ම
අපිරිසිදු වන්නාක් මෙනි. පන්සිය පනස් ජාතක පොතෙහි සඳහන් වන මහා කපි ජාතකය තුළින් ද
අකෘතඥකම විදහා දැක්වේ.
වඳුරා විසින් අතරමං වූ මිනිසකු බේරා ගැනීමට උදව් කළ ද, එම අකෘතඥ මිනිසා වඳුරා
මරාගෙන කන අදහසින් වඳුරාගේ ඔළුවට ගලකින් ගසයි. එසේ වුව ද වඳුරා එම අකෘතඥ මිනිසාට
ගමට ඒමට පාර පෙන්වීම ද සිදු කරනු ඇත.
තව ද ස්වර්ණහංස ජාතකයේ ද තමන්ට ජීවත්වීමට රත්රන් පිහාටුවක් ගානේ දිනපතා ලබා දුන්
හංසයකු මරා සියලු පිහාටු එක්වර ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් එක පිහාටුවක්වත් නොලැබෙන
ආකාරයක් පැහැදිලි වේ.
ජාතක කතා තුළ ද බෞද්ධ සාහිත්‍යයේ ද, තවත් නොයෙක් බෞද්ධාශි‍්‍රත කෘති තුළ ද මේ
පිළිබඳ කරුණූු අනාවරණය වේ. අද සමහර දරුවන් මවුපියන් මහලු මඩම්වලට, අනාථ නිවාසවලට
ඇතුළත් කරනු ඇත. මවුපියන් මුළු ජීවිත කාලය ම දරුවන් වෙනුවෙන් ඇප කැප කළ ද අවසානයේ
මවුපියන්ට දුක් විඳීමට සිදු වේ. එය අකෘතඥ දරුවන්ගේ ක්‍රියාකලාපය මත සිදුවන්නකි.
සමහර මිනිසුන් ගවයන් ඇති කොට කිරි, ගොම ආදිය රැගෙන අවසානයේ මසට විකුණනු ඇත. මේ ආදී
වශයෙන් සමාජයේ නොයෙක් ආකාරයේ අකෘතඥ කටයුතු සිදු වේ. ඒවා තුළින් සමාජය තව තවත්
ප්‍රපාතයට ඇද වැටෙනු ඇත. එනිසා වැඩිහිටි පිරිස් විසින් ආදර්ශවත් අයුරින් කටයුතු
කිරීමට වගබලා ගත යුතු ව ඇත.
විශේෂයෙන් ළමා පරපුර මෙම අගාධයෙන් වහා ගලවා ගත යුතු ව ඇත. ළමා පරපුර අකෘතඥ පිරිසක්
වුවහොත් අපේ රට, සමාජය, ගම, පළාත අයහපත් වනු ඇත. එතුළින් ගුණ ධර්ම නොහඳුනන, සමාජ
චාරිත්‍ර වාරිත්‍ර නොදන්නා පිරිසක් බිහි වනු ඇත. අද පුංචි ළමයි තුළ වුව ද එම අගුණ,
අධර්ම වර්ධනය වෙමින් පවතී. දෙමවුපියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, වැඩිහිටියන්ට
ගරු නොකරන දරදඬු ගති ඇති ළමා පිරිසක් බිහි වෙමින් තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ
වැඩිහිටියන්ගේ පරිසරයයි. වැඩිහිටියන් කරන කියන දේ පුංචි මනසට අනුකරණය වීම එයට
ප්‍රධාන හේතුවයි.
එම හේතුව නිසා වැඩිහිටියන් හැටියටත්, වගකිවයුත්තන් හැටියටත් අප කවුරුත් ආදර්ශවත්
විය යුතු අතර ම, ළමා පරපුරට එම උතුම් ගුණාංගය පිළිබඳ අවබෝධයක් ලබා දීම ද, මනාව කළ
යුතු ය. ඒ සඳහා ගුරුවරුනට, මවුපියනට, භික්ෂූන් වහන්සේට, වැඩිහිටියන්ට විශාල වගකීමක්
පැවරෙනු ඇත. ජාතක කතා, චරිත කතා ආදිය උපයෝගී කොටගෙන පාසල් තුළින් දහම් පාසල් තුළින්
ළමා පරපුර යහපත් අතට හරවා ගැනීමට නිරන්තරයෙන් උත්සාහවත් විය යුතු ය.
එසේ සිද්ධ කිරීමෙන් ළමා පරපුරේ ගමන් මඟ යහපත් පැත්තට යොදවා ගැනීමට පුළුවන් වනු ඇත.
එය නිවෙසෙන් පටන් ගෙන මුළු රටට ම විසිරෙන පරිදි දියත් කළ යුතු ය. එවැනි දූ දරු
පිරිසක් නිර්මාණය කරනවා යනු ගුණධර්මයෙන් පිරි රටක් බිහි කිරීමක් වැනි ය.
ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින්නේ අද සිටින දූ දරුවන් ය. එබැවින් අප සැම දෙනකු ම
ඇපකැප වීමෙන් යුතුව දූ දරුවන්ගේ නෙත් පාදා දීමෙන්, ගුණධර්මවලින් පිරිපුන් සමාජයකට
නෑකම් කියනවා සේ ම යහපත් රටක් නිර්මාණය කිරීමට ද දායක වූවෝ වන්නෙමු. |