දයා කරුණා ගුණ සුපූජිත සිතුල්පව්වේ නායක හාමුදුරුවෝ
ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මගුල්
මහාවිහාරය ප්රමුඛ තදනුබද්ධ අෂ්ට මහාවිහාරාධිපති, ගාල්ල හෙට්ටාචල පරිවේණාධ්යක්ෂ,
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධුරන්ධර, ශ්‍රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය,
සද්ධර්මකීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර, ශාස්ත්‍රපති, අග්ගමහාපණ්ඩිත, මැටරඹ හේමරතන
නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම් මාලාව නොවැම්බර්
30 හා දෙසැම්බර් මස 1 දිනවල සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ දී සහ දෙසැම්බර් මස
14,15 දිනවල යටගල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබේ.
දක්ෂිණ ලංකාවේ, ගාලූ දිස්ත්‍රික්කයේ උණවටුනට නුදුරු මැටරඹ ග්‍රාමවරයේ අහංගම
නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර මහෝපාසකතුමන්ගේ සහ අක්මීමන පල්ලියගුරුගේ
ඇලිස්නෝනා මහෝපාසිකාතුමියගේ දරුවන් සය දෙනා අතුරින් පස්වැන්නා ලෙස ජන්ම ලාභය ලද
අහංගම නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාර දරුවා යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාර
ප්රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති ව වැඩ විසු කවිකුලතිලක පණ්ඩිත කලහේ ශ්‍රී
ගුණරතනාභිධාන නාහිමි වෙතින් ප්රභවය වූ යටගල මැල්කම් මහා විදුහලෙන්
ශාස්ත්‍රෝද්ග්‍රහණය කළේ ය.
කුඩා කල ම තම පියාගේ වියෝවෙන් පසුව 1956 අප්‍රේල් මස 5 වැනි දින ඓතිහාසික යටගල
සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති ධුරින ව වැඩ
විසූ ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතනාභිධාන නාහිමි, වත්තේහේනේ ශ්‍රි රතනසාරාභිධාන ගාලු
තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හිමි විද්‍යානිධි, රාජකීය පණ්ඩිත වත්තේහේනේ
පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස මැටරඹ හේමරතන නමින් පැවිදි විය.
හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙන, යටගල හෙට්ඨාචල පිරිවෙන, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය
යන පිරිවෙන්වලින් ද පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනින් ද ධර්ම
ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට 1965 දී මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී
උපසම්පදාව ලද හේමරතන හිමියෝ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්,
කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන ඩිප්ලෝමාවත්, විද්‍යාලංකාර විශ්ව
විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස ආයතනයෙන්
ප්‍රවීණාචාර්ය සහතිකයත් ලබා ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු නිමවා හෙට්ඨාචල පිරිවෙනෙහි
ආචාර්ය පදවියකට පත් වූහ.
1976 දී පණ්ඩිත වත්තේහේනේ පියරතන නා හිමියන්ගේ හදිසි අපවත් වීමෙන් පසු හෙට්ඨාචල
පරිවේණාධිපති ධුරයෙන් සහ ධර්ම විද්‍යාලයීය ප්‍රධානාචාර්ය ධුරයන්ගෙන් පිදුම් ලැබූහ.
අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ මහා ලේඛකාධිකාරි පදවිය දස වසරකට ආසන්න
කාලයක් හෙබවූ නාහිමිපාණෝ ගාලූ දිස්ත්‍රික් පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරි සංගමයෙහි
ලේඛකාධිකාරි පදවියෙන් ද සම්මානිත වූහ. 1990 දී එවකට අක්මීමන පාර්ලිමේන්තු මන්ත්‍රී
හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රිචර්ඩ් පතිරණ
මැතිතුමන්ගේ ද සහයෙන් ඓතිහාසික යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට රජය මගින්
ප්‍රකාශයට පත් කිරීම නා හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වූ සුවිශේෂී සද්ක්‍රියාවකි.
ග්රන්ථ කර්තෘවරයකු වශයෙන් ද සම්භාවනාවට පත් නා හිමිපාණෝ උසස් පෙළ බෞද්ධ ධර්ම
සංග්‍රහය, ලේඛන රේඛා, ඉන්දු ආර්ය සංස්කෘතිය, අපතේ යන අධ්‍යාපන සම්පත්, වන්දනා ගාථා,
ඓතිහාසික මගුල් මහා විහාරය ආදී ග්රන්ථ රැසක් මුද්‍රණද්වාරයෙන් එළිදැක්වූහ.
2004 දී ස්වකීය ආචාර්යෝත්තම වත්තේහේනේ ශ්‍රී රතනසාරාභිධාන නා හිමියන් අපවත් වීමෙන්
පුරප්පාඩු වූ ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව් රාජමහා විහාරය,
ඓතිහාසික මඟුල් මහා විහාරය, තල්පේ සේලූත්තරාරාමය, යද්දෙහිකන්දේ අමරසිංහාරාමය,
උණවටුණේ වැල්ලේ දේවාල විහාරය, උණවටුණේ බෝධිරුක්ඛාරාමය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන
අෂ්ට මහා විහාරාධිපති ධුරයට පත් වූහ.
අවස්ථා ගණනාවක දී විදේශ ධර්ම ප්රචාරයට ද යොමු වූහ. මැටරඹ හේමරතන නාහිමියන්ගේ ලෝක
ශාසනික මෙහෙවර කෙරෙහි පැහැදුණු මල්වතු මහා විහාරයීය විංශත් වර්ගික කාරක සංඝ සභාව
මඟින් 2009 දී සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාමය සහිත දක්ෂිණ ලංකාවේ උප
ප්‍රධාන සංඝ නායක පදවිය ද, 2019 දී පල්ලත්තර සුමනජෝති නාහිමියන් අපවත් වීමෙන්
පුරප්පාඩු වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හා උපාධ්‍යාය පදවිය ද පිරිනමන
ලදී. බුරුම රාජ්‍යයෙන් 2022 වර්ෂයේ අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධිය ද නාහිමිපාණන් වහන්සේ
වෙත පිරිනමන ලදී.
යාල වනයේ දිවි ගෙවූ අලි ඇතුන්, මුවන්, වලසුන්, ඌරන් වැනි සතුන් ද නාහිමිපාණන්
වහන්සේගේ කරුණාව හමුවේ දමනය වූ බව අතිශයෝක්තියක් නොවේ. නිරතුරුව ම තමා හමුවට
පැමිණෙන කාහටත් සිනාමුසු මුහුණින් අනතිමානී ව සත්කාර සංග්‍රහ කළ කරුණාවේ
ප්‍රතිමූර්තියක් බඳු වූ මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ 2023 දෙසැම්බර් මස පළමු වන
දින අපවත් වී වදාළහ.
උන්වහන්සේ සිහිකර නොවැම්බර් මස 30 වන දින සන්ධ්‍යා බුද්ධ පූජාව පවත්වා බස්නාහිර
පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන
නාහිමියන් විසින් පවත්වන ධර්ම දේශනා පින්කමකි. පසුදා උදෑසන විහාරවාසී මහා සංඝරත්නයට
උදෑසන දානය පූජා කිරීමෙන් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කොට තිබේ. ලෝකය
පුරා විසිරී සිටින සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ දායකත්වයෙන්
දහවල තෛ‍්‍රනිකායික මහානායක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අර්ධ ශතාධික මහා
සංඝ රත්නය විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව පිරිනැමේ. අපරභාග 2.30 ට මැටරඹ හේමරතන
නාහිමි පදනම මගින් තෝරා ගත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් සිදු
කෙරෙන පළමු ශිෂ්‍යත්ව ප්රදානය සිදු කෙරේ.
යටගල රාජමහා විහාරය මඟින් දශක අටකට ආසන්න කාලයක් විහාරාධිවාසී ව වැඩ සිටි ගරුතර මහා
සංඝ රත්නයට පුණ්‍යානුමෝදනා කරමින් දෙසැම්බර් 14,15 දිනවල පවත්වන වාර්ෂික ගුණසමරු
දානමය පින්කම මෙවර ද සිදු කෙරෙන අතර, එහිදී නාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා
කිරීම සිදු කෙරේ.
වර්තමාන අෂ්ටමහා විහාරාධිපති තල්පේ අරියජෝති මාහිමි, අෂ්ටමහා විහාරාධිකාරී ලේල්වල
සමිත මාහිමි, උණවටුණ බෝධිරාජ විහාරාධිකාරී මිරිස්වත්තේ සුමන හිමි, අම්පිටියාගොඩ
ගුණරතනාරාමාධිකාරී වත්තේහේනේ සුධම්ම හිමි, යටගල රාජමහා විහාරාධිකාරී කෙහෙල්වල
සුමංගල හිමි, හෙට්ඨාචල පරිවේණාධිපති පදලංගල අස්සජි හිමි, අමෙරිකාවේ වැඩසිටින
සිතුල්පව්ව රාජමහා විහාරාධිකාරී, වේපතඉර බෝධික හිමි, මඟුªල් මහාවිහාරාධිකාරී
බෝපාගොඩ නාගිත හිමි ඇතුළු විහාර පරපුරේ වර්තමාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා
පරිදි මෙම පින්කම් මාලාව සිදු කරනු ලැබේ.
- දිමුතු පුන්සර කොළඹගේ |