අවෛරී සිතකට ධර්මයේ උපකාරය
මෛත්‍රී භාවනාව සුවිශේෂී ය. එමඟින් මිනිසාගේ සිතෙහි තමා කෙරෙහි හෝ අනෙකුත්
ප්‍රාණීන් කෙරෙහි හෝ හටගත් යම් කෝපයක්, අප්‍රසාදයක්, පළිගැනීමේ අවශ්‍යතාවක් ආදි
“ද්වේශය” නම් චෛතසික කාණ්ඩයට අයත් සිතිවිල්ලක් ඇත්නම් ඒවායෙහි ප්‍රබල බව අඩු කර
ගැනීමට හෝ සම්පූර්ණයෙන් ම නැති කර දැමීමට හෝ පුහුණුවක් සපයන බැවිනි.
මෛතී‍්‍ර භාවනාව යනු, සිතෙහි හටගත් ද්වේශය නැති කිරීමේ පිළියමකි. මනෝ විද්‍යා විෂය
ක්ෂේත්‍රයෙහි දියුණුව සමඟ පුද්ගලයකුගේ සිතෙහි පවත්නා ද්වේශය දුරු කිරීමට නොයෙක්
න්‍යායාත්මක ක්‍රම කියා දෙනු ලැබේ. ඉතා සරල ක්‍රමවල සිට සංකීර්ණ ක්‍රම තෙක් ඒවා
විහිදී ඇත. ද්වේශය හා බැඳුණු සරල මානසික ගැටලු ඇති අයට, තමාට ම ක්‍රියාත්මක කළ හැකි
සරල පිළියම් ක්‍රම ද, පුද්ගලයාටත්, සමාජයටත් හානි කරවන මානසික ගැටලු ඇති අයට වෛද්‍ය
අධීක්ෂණය මත ක්‍රියාත්මක වන සංකීර්ණ ක්‍රම ද, මනෝ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු
ලැබේ.
ඉහත ක්‍රමවල අරමුණ වනුයේ තාවකාලික පිළියමක් සැපයීම ය. එනම්, සිතෙහි හටගෙන තිබෙන
තමන්ට පාලනය කර ගත නොහැකි සිතිවිලිවල තීව්‍රතාවය, තමන්ටත්, සමාජයටත් හානි කර නොවන
මට්ටමක් තෙක් අඩු කිරීමයි. නමුත්, සිතෙහි හටගන්නා නොයෙක් සිතිවිලිවල මූලික හේතුව
සොයා ගනිමින් වඩාත් තිරසර විසඳුමක් ලබා දීමට එම ක්‍රම සමත් නොවේ.
එබැවින්, අවශ්‍ය විටෙක එම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වන නමුත්,
එසේ වීමට පෙර, ධර්මයට අනුව තම සිතෙහි හැසිරීම නිරීක්ෂණය කරමින්, සිතිවිලි මනා ලෙස
කළමනාකරණය කරන ආකාරය දැන ගැනීම අත්‍යවශ්‍ය ය.
මානසික රෝගයක් වැලඳුණු පුද්ගලයකුට ලබා දෙන ඖෂධ මඟින් සිදු කෙරෙනුයේ රසායනික
ද්‍රව්‍ය උපකාරයෙන් ඔහුගේ කායික ක්‍රියාකාරිත්වය නැවත නිවැරැදි කර දීම යි. එලෙස
කායික හා මානසික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්වූ පසු ඔහුට, අනෙකුත් සාමාන්‍ය
පුද්ගලයකු මෙන් සිතීමටත්, කල්පනා කිරීමටත් හැකියාව ලැබේ.
එබැවින් ඔහු විසින් මීළඟට කළ යුතු ව ඇත්තේ නැවත එවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර,
සුදුසු ගිහි හෝ පැවිදි හෝ අයකු වෙත ගොස් තම සිතිවිලි නිවැරැදි ව කළමනාකරණය කර ගන්නා
ආකාරය අසා දැන ගැනීමයි. මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස ලබා දෙන ඖෂධ මෙන් ම, අනෙකුත්
රසායනික නොවන ක්‍රම මඟින් ද සිදු කරනුයේ, අදාළ මානසික අසහනකාරි තත්ත්වය සඳහා
තාවකාලික පිළියමක් ලබාදීම පමණි.
පුද්ගලයකු මානසික ව රෝගි වූ අයකු ලෙස හඳුනාගනුයේ, ඔහුගේ සිතෙහි සිතිවිලි
ක්‍රියාත්මක වන ආකාරය අනුව, ඔහුට ම හෝ අන් අයකුට හෝ හානියක් සිදු වේ යැ’යි නිගමනය
කළ විට පමණි. නිදසුනක් ලෙස, අප බලාපොරොත්තු නොවන ආකාරයෙන් යම් සිදුවීමක්
ක්‍රියාත්මක වන විට ඒ සම්බන්ධයෙන් සිතෙහි යම් තරහවක්, අප්‍රසාදයක්, අකැමැත්තක්
ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් හටගනී. නමුත්, එකම පීඩාකාරි සිදුවීමකට මුහුණ දෙන පිරිස
අතරින් බොහෝ දෙනා සමාජයේ සිරිත් විරිත්, සාරධර්ම, පොදු පිළිවෙත්වලට අනුකූල වෙමින්,
තම තරහ සහගත සිතිවිලි මැඬපවත්වා ගෙන සිටී. එයට “ඉවසීම” යි ද කියනු ලැබේ. එසේ
නැතිනම්, ප්‍රකෝපකාරි නොවන අයුරින් තම අප්‍රසාදය පිටකරයි.
නිදසුනක් ලෙස, මඟතොට දී කෙනකු ඔබේ කකුල පාගමින් ගියහොත්, ඔහු දෙස අප්‍රසාදයෙන්
බැලීම හෝ “මිනිස්සුන්ගෙ කකුල් පාගගෙන යන්න එපා”යි සාමාන්‍ය හඬින් කීම සාමාන්‍ය
සිරිතයි. මෙවැනි වූ සිතිවිලි ප්‍රකාශ කිරීම් “මානසික රෝගී මට්ටම” ලෙස හඳුනා නොගනී.
බුද්ධ දේශනාව අනුව නම්, අවම වශයෙන් සෝවාන් ඵලයවත්, සාක්ෂාත් කර නොගත් අයකුට, තම සිත
දැකීම සහ පාලනය කර ගැනීම ඉතා අපහසු ය. නමුත්, ඉහත සඳහන් කළ පරිදි, සමාජයේ බොහෝ
දෙනා, සාමාන්‍ය සිරිතක් ලෙස තම සිතෙහි හටගන්නා සෑම සිතිවිල්ලක් ම සපුරා ගැනීමට
ක්‍රියා නොකරති. ඒවා පාලනය කර තබා ගනිති.
එසේ වුවද, සමාජයේ සුළුතරයක්, තමාගේ සිතිවිලිවල කිසිදු පාලනයක් කිරීමට අකැමැති වෙති.
තම සිතෙහි හටගත් සිතිවිල්ල සාධාරණ වුව ද, නැත ද, එම තීව්‍රතාවයෙන් ම ක්‍රියාත්මක
කරති. සිතිවිලි පාලනය කළ යුතු ය’ යන්න වත් ඔවුහු නොදනිති. තම කකුල පෑගූ අයකුට
වැරෙන් පහරක් එල්ල කිරීමටත්, මහ හඬින් සියල්ලන්ට ඇසෙන පරිදි බැණ වැදීමටත් මොවුහු
නොපැකිළෙති. එය තමාගේ අයිතිවාසිකමක් යැ’යි සිතති. තම අතපයේ ශක්තියෙනුත්, මහ හඬිනුත්
ප්‍රයෝජනයක් ගත යුතු යැ’යි සිතති.
ලොව ඕනෑම මිනිසකු සතු ව පහරදීමේ සහ කෑකෝගැසීමේ හැකියාවක් ඇති බවත්, ඇතැමුන් ඒවා
නොකරන්නේ බැරිකම නිසා නොව එසේ නොකළ යුතු නිසා ය යන්නත් මොවුහු නොදනිති. මෙවැනි
සාමාන්‍ය සමාජ නීතිරීතිවලට එකඟ නොවී ක්‍රියා කරන පුද්ගලයන් “මානසික රෝගීන්” ලෙස
මනෝවෛද්‍යවරුන් විසින් හඳුනාගනු ලබයි.
එවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් දෙස බලාසිටින ඔබ ද එම ක්‍රියා කලාප අනුකරණය
කිරීමට පෙළඹිය හැකි නිසා, එවැනි නුසුදුසු ආශ්‍රයන්ගෙන් මිදිය යුතු ය.
පුද්ගලයකු මානසික රෝගියකු බවට පත්වන්නේ එක්වර ම නොව, පියවරෙන් පියවර ය. ක්‍රම
ක්‍රමයෙන් ය. මෙම ක්‍රියාවලිය ඇරඹෙනුයේ සිතෙහි හටගත් සිතිවිල්ලක් කළමනාකරණය කර
ගැනීමට අසමත්වීම නිසා ය. එබැවින්, මනස රෝගි වූ අයකු ලෙස හඳුනා ගැනීමට පෙර, අප
සිතෙහි ඇතිවන නොයෙකුත් සිතිවිලි මනාව පාලනය කර ගැනීමට ඉගෙනීමත්, එම කරුණු එදිනෙදා
ජීවිතයට පුහුණූු කර ගැනීමත් කළ යුතු ය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති
ධර්මය මඟින් ස්ථිර විසඳුමක් සපයනු ලබයි.
වර්තමානයේ ඇතැම් අය බුද්ධ දේශනාව, විද්‍යාව සමඟ සසඳමින් එය නූතන විද්‍යා සංකල්ප සමඟ
සැසඳෙන ආකාරය විග්‍රහ කිරීමට උත්සාහ කරති. මෙවැනි අනවශ්‍ය ක්‍රියාකාරකම් සිදුවනුයේ,
පෙරදිග ආගමානුකූල ඉගැන්වීම් සුළුකොට සලකමින්, නූතන විද්‍යාව මඟින් ලොව සිදුවන සියලු
ක්‍රියාකාරකම් පැහැදිලි කළ හැකිය’ යි මතයක් ගොඩනඟාගත් විට ය. නූතන විද්‍යාත්මක
සංකල්පවල සාවද්‍ය බවක් නැතිමුත්, සම්මත විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම තුළින් තහවුරු කළ
නොහැකි අංශයක් ද ඇත.
එනම්, බුද්ධ දේශනාවේ විස්තර කර දෙනු ලබන මනසෙහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ
ගැඹුරු සංකල්පයි. ඒවා තහවුරු කර ගත හැක්කේ ද තවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට
ම මිස අනෙකුත් කිසිවකුට නම් නොවේ.
බුදුරජාණන් වහන්සේ විසින්, සත්ත්වයන් සිදු කරනු ලබන යහපත් අයහපත් කර්ම සහ ඒවායේ
විපාක පිළිබඳ ව විස්තර කර දෙනුයේ “කර්ම විපාක ඤාණය” නම් වූ විශේෂ ඤාණයක් ඇසුරිනි.
කර්ම සහ ඒවායේ විපාක විමසා බැලීමට ඇති එකම ක්‍රමය නම් මෙම සුවිශේෂී වූ බෝධි ඤාණයයි.
මෙලෙස, අතිශ්‍ය ප්‍රබල තාක්ෂණයක් සහිත වූ ද, විද්‍යාත්මක උපකරණ ආධාරයෙන් එවන් වූ
සුවිශේෂි සංකල්ප අනාවරණය කර ගැනීමක් සිදු කළ නොහැකි ය.
එසේ වුව ද, බටහිර මතය ම උසස් කොට සලකන, ශ්‍රද්ධාවක් රහිත බෞද්ධයන් පවා විද්‍යාවට
අනුව බුදුදහම විස්තර කිරීමට ගොස් නොයෙක් පටැලැවීම් ඇතිකර, ධර්මයෙහි අරුත ද වෙනස්
කරති.
එබැවින්, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි, සාමාන්‍ය ජනයාට විශය වන “කර්ම -
විපාක අවබෝධය” ආදි සංකල්ප තමන් විසින් විස්තර කරන්නට නොගොස්, බුදුරජාණන් වහන්සේගේ
ගුණය විශ්වාස කර, ඒවා පිළිගෙන, ධර්මාවබෝධය ලබා, නිවන් මඟෙහි හැකිතාක් දුර ඉදිරියට
යාමට තම කාලයත්, බුද්ධියත් යෙදවිය යුතු ය.
අවෛරී ව සිටීමේ ප්‍රතිපදාව ද, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ තමන්
වහන්සේගේ විද්‍යා ඤාණ ඇසුරු කර ගනිමිනි. “විද්‍යාත්මක පැහැදිලි කිරීමක්” යනු, තම
පුද්ගලික හැඟීම්, තීරණ, වටිනාකම් ආදියෙන් තොර ව ලෝකයෙහි සිදුවන ඕනෑම සිදුවීමක් හෝ
ක්‍රියාකාරීත්වයක්, සිදුවන සත්‍ය ස්වරූපයෙන් ම අනාවරණය කිරීමයි.
තමන් වහන්සේගේ විද්‍යා ඤාණ ඇසුරින් ම පැහැදිලි කළ බැවින්, සිතෙහි සහ චෛතසිකවල
ක්‍රියාකාරිත්වය පිළිබඳ බුද්ධ දේශනාව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ම වේ.
තමන් වහන්සේගේ ඤාණය ඇසුරින් විමසීමේ දී බුදුරජාණන් වහන්සේට අවබෝධ වූ කරුණක් වූයේ,
වෛරයෙන් වෛරය ජය ගත නොහැකි බවයි. මෙහි “ජය ගැනීම” යනු එදිනෙදා ජීවිතයේ දී අප
අත්දකින ලෞකික ජය ගැනීම් නොවේ. රටවල්, ප්‍රදේශ, ඉඩකඩම්, නිවාස ඇතුළු අනෙකුත් වස්තු
සම්පත් තමා වෙත අත්කරගෙන
“දැන් මටයි ඒවා අයිති. සියල්ල ම මට පවරා ගත්තා”
යනුවෙන් ජය ප්‍රකාශ කිරීමක් පිළිබඳ ව නොවේ.
පෘථග්ජන මිනිසා පිළිගෙන ඇති සම්මතය අනුව, පුද්ගලයන් දෙදෙනකු අතර ගැටුමක දී, නිහඬ ව
සිටින, ඉවසිලිවන්ත ව සිටින තැනැත්තා “පරාජිතයා” ලෙසත්, ප්‍රකෝපකාරි ලෙස හැසිරෙන, මහ
හඬින් ගුගුරන තැනැත්තා “දිනන්නා” ලෙසත් පිළිගැනේ. මෙම සම්මතය පුහුදුන් මිනිස්
සමාජයෙහි ඕනෑම කලෙක නොවෙනස් ව පවතින අතර, අද මෙන් ම හෙට ද, මිනිසා වෛරය ජය ගැනීමට
වෙනදාටත් වඩා වෛරය ම උපයෝගි කර ගනු ඇත.
එහෙත්, බුද්ධ දේශනාවක විස්තර කෙරෙන ‘දිනීම” යනු, “නිවනට වඩාත් සමීපවීම” යනුයි.
එනම්, නොඇලී, නොගැටී සිටීමට උත්සාහ කිරීමයි. එය ම “නිවනට මඟ” වේ. සමාජයේ සම්මත කර
ගෙන ඇති දෙය කුමක් වුව ද, බුද්ධ දේශනාව අනුව, එක් අයකු තමාට හිරිහැර, පීඩා කරන විට,
තම සිතෙහි ඔහු කෙරෙහි තරහවත් ඇති කර නොගෙන සිටීම “නොගැටීම” වේ. “නොගැටීම” නිවනට
පාදක වේ. එබැවින් ම, “නොගැටීම” හෙවත් “වෛර නොකිරීම, “දිනීම” ම වේ. වෛර නොකරන්නා
ජයග්‍රාහකයකු වන්නේ එසේ ය. එනම්, අනෙකුත් මිනිසුන් වෛර කරමින් සසරේ නැවත නැවතත්
ඉපදීමට මඟ පාදා ගනිද්්දී, වෛර නොකරන තැනැත්තා නොගැටී සිටිමින්, සසර ගමන නවතා දැමීමට
මඟ පාදා ගනී. නැවත ඉපදීමක් ඇතිවීමට හේතු නැති කර ගත් තැනැත්තාට ඉතිරි වී ඇත්තේ
වර්තමාන භවයෙහි ඇති පීඩාවන් පමණි. පිරිනිවනින් පසු ඔහුට නැවත දුකක් නැත. එහෙයින් ම
ඔහු ජය ගෙන ඇත.
මේ සඳහා ප්‍රකට නිදසුනක් වන්නේ බුදුරජාණන් වහන්සේ අරබයා දේවදත්ත ස්ථවිරයන්ගේ
ක්‍රියා කලාපය යි.
පෙර ආත්මභාවයන්හි දී අප බෝසතාණන් වහන්සේ සමඟ ඇති කර ගත් වෛරය “කෙසේ හෝ පිරිමසා ගත
යුතු ය’ යන අනුවණකාරි අරමුණ ඇති ව, උතුම් පැවිදිභාවය ද සිහිනොකරමින්, තමාට අපරිමිත
මෛත්‍රී සිතකින් අනුකම්පා කරන බුදුරදුන්ගෙන් සමාව ගෙන වෛරය අමතක කර දමා තම නිවන්
අරමුණ සාක්ෂාත් කර බියජනක සසරෙන් ගැලවී නිදහස් වනු වෙනුවට, බුදුරජාණන් වහන්සේට
නොයෙක් පීඩා කරමින් සිට නැවතත් සසර උපතක් ආරම්භ කළහ.
ඔබ, ඔබේ ජීවිත කාලය තුළ වෛරය නැති කිරීම පිළිබඳ ව උපදෙස් සපයන ධර්ම දේශනා කොපමණ නම්
අසා ඇත්ද? නමුත්, එම උපදෙස් ක්‍රියාත්මක කිරීමට තබා එසේ කිරීමට සිතීම ම අප සිතෙහි
බියක් ඇති කරවයි. මෙම බිය අන් කිසිවක් නොව, අපට අයත් ව ඇති සජීවි, අජීවි වස්තුන්වලට
අනෙක් පුද්ගලයන් විසින් හානි කරති’යි යන බියයි.
බුද්ධ දේශනාවෙහි විස්තර කර ඇති පරිදි, මොණරකුට තම විසිතුරු පිල් කළඹ හා සමාන ව,
ගිහියකුගේ සමාජීය වටිනාකම රඳාපවතින්නේ ඔහු සතු වස්තු සම්පත්, තනතුරු, රැකියාවේ උසස්
බව, පවතින සමාජ සම්බන්ධතා ආදිය මත ය. මිනිසා පීඩාවට පත්වන්නේ ද තමාගේ අවශ්‍යතාව
ඉක්මවා එවැනි වටිනා දෑ උපයා ගැනීමට දරන වෙහෙස මහන්සිය නිසා ය. නමුත්, අනවශ්‍ය
පීඩාවකට පත්වන්නේ’ය කියා එවැනි සමාජ සම්මතයන්ගෙන් සම්පූර්ණයෙන් ම ඉවත්වී සිටීමට ද
නොහැකි ය. එබැවින්, තමාට අයත් වස්තූන්ට හානි කරන පුද්ගලයන්ගෙන් එම වස්තූන් ආරක්ෂා
කර ගැනීමට අපට සිදුවන බැවින් එවැනි ක්‍රියාමාර්ග ගන්නා විට ධාර්මික ව කටයුතු කිරීමට
උත්සාහ ගන්න. එසේම, අසත්පුරුෂයන්ගෙන් හැකිතාක් ඈත්ව සිටීම මඟින් ද ඔබට විඳීමට
සිදුවන පීඩා අවම වනවා සේ ම, ඔබ කෝපවන අවස්ථා ගණන ද අවම වනු ඇත.
එසේ ම, වෙනත් පුද්ගලයකු නිසා තම සිතෙහි හටගත් කෝපය, නොසන්සුන්තාව, අප්‍රසාදය,
පළිගැනීමේ චේතනාව ආදි සිතිවිලි පාලනය කර ගැනීමට ද අප පුහුණු වී සිටීම වැදගත් ය.
මෛත්‍රී භාවනාව පුහුණූු කිරීමේ දී හුදෙක් වාක්‍ය කිහිපයක් මතකයේ තබා ගෙන නිතිපතා
කියැවීමෙන් සිතෙහි ද්වේශය දුරුවීමක් සිදු නොවේ. ඔබට ඕනෑම සිතිවිල්ලක හිඳිමින් ම එම
වාක්‍ය කියැවිය හැක. සිතෙහි ද්වේශය තිබියදී ම “ද්වේශය දුරු කරමි”යි සිතා වැරෙන්
මෙන් “සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා” යනාදී පාඨ කියැවීමෙන් ඔබේ සිතෙහි හටගත් ද්වේශය
දුරු නොවේ. එය අප ඉහත ඡේදයක සඳහන් කළ පරිදි ස්ථිර පදනමක් රහිත විසඳුමක් වනු ඇත.
ධර්මයට අනුව තම සිතෙහි ක්‍රියාකාරීත්වය විමසා බැලීමට හුරු වූ තැනැත්තාට යම්
අවස්ථාවක දී ම තම සිතෙහි බලවත් ව පවතින ඕනෑ ම ආකාරයක අකුසල සිතිවිලි හඳුනා ගත් විට
එම සිතිවිලි මඟහැරවීම පිණිස ක්‍රියා කළ යුතු ආකාරය ද වටහා ගැනීම පහසු ය. සසර
පැවැත්ම ගොඩනැඟෙන ආකාරය විස්තර කරන අසිරිමත් “පටිච්චසමුප්පාද දේශනාව“ වැනි දේශනාවන්
තුළින් අප සසරට බැඳ තැබීම පිණිස සිත ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගත හැකි ය.
මෙම දේශනාවන් විමසා බලන කල්හි තම සිතෙහි ද්වේශය හටගැනීමට හේතුවූ කරුණුත්, ද්වේශය
ඇති කිරීමට එම කරුණු පෙළගැසුණූ ආකාරයත් හඳුනා ගත හැකි ය. එසේ ම, සතිපට්ඨාන ආදි
භාවනා ක්‍රම මඟින් ද තම සිතෙහි පවතින සිතිවිලි හඳුනාගත හැකි ය. ඒවා නිසි ලෙස
පාලනයටත් අවශ්‍ය උපදෙස් සපයා ඇත.
“තමා ද්වේශයෙන් සිටී” යන්න තේරුම් ගැනීම පවා තම සිතෙහි ද්වේශය අවම කිරීමට උපකාර වේ.
ධර්මය වඩාත් ගැඹුරින් වටහා ගෙන, ක්‍රමානුකූල අනුපිළිවෙළකට අනුව භාවනාදියෙහි
යෙදෙන්නා ද්වේශය ඇතුළු සියලු ආකාරයේ අකුසල සිතිවිලි නැවත නූපදින පරිදි ඉවත් කර
ගැනීමට සමත් වේ. නමුත්, එතෙක් වූ ගමන බොහෝ දිගු බැවින්, හැකි පමණ ධර්මානුකූල
පිළිවෙත් පුරා තම සිතෙහි හටගත් අකුසල සිතිවිලි යටපත් කර තබා ගැනීම හෝ වැදගත් ය. ඒ
සඳහා තථාගත ධර්මය තුළින් ලැබෙන උපකාරය ආශ්චර්යවත් ය. තිරසර ය.
- ටී. සේනානායක |