සිල්වත් දුසිල්වත් බව නොසොයා සංඝරත්නයේ
ගුණ සිහි කරමු
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අපි හැමෝම ගුණවත්, සිල්වත්, සත්පුරුෂ ගති ලක්ෂණ ඇති මිනිසුන් ඇසුරු කරන්න කැමැතියි.
ඒකට එක හේතුවක් තමා ඒ අය කියපු දේ කරනවා, කරන දේ කියනවා. ඒ වගේම හිතේ එකක් තියාගෙන
තව එකක් ක්‍රියාවේ නඟන්නේ නෑ.
හැබැයි මේ ගති ලක්ෂණ නැති විට අපි ඔවුන් ප්‍රතික්ෂේප කරනවා, පිළිකුල් කරනවා. ඒක
මිනිස් ස්වභාවය නැත්නම් ලෝක ධර්මයක් කියලා කියන්න පුළුවන්. හැමෝම කැමතියි සිල්වත්
ගුණවත් අය ඇසුරු කරන්න.
එක් ගමක හිටියා සැදැහැති තරුණ උපාසකයෙක්. ඔහු ධර්මය ගැනත්, දානසීලාදියේ විපාක ගැනත්
හොඳ අවබෝධයකින් ජීවත් වුණා. දවසක් ඔහුට හිතුණා සංඝරත්නයට දානයක් දෙන්න ඕන කියලා.
තීරණය අනුව ගමේ විහාරයට ගොස් නායක තෙරුන් මුණගැසී
‘ස්වාමීනී, අපේ ගෙදර දාන පින්කමක් සූදානම් කරනවා. කාලෙකින් නිවෙසේ දානයක් පූජා කර
ගන්න බැරි වුණා. අප කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂුන් වහන්සේ නමක් හෙට දහවල් දානෙට ලබා
දෙන්න’යි ඉල්ලා සිටියා.
අධිපති තෙරුන් වහන්සේත් ආරාධනාව පිළිගෙන පසුදා දහවල් දානෙට වැඩම කරන ලෙස භික්ෂුවකට
පැවරුවා. දායකයා නිවස සෝදා පිරිසුදු කළා. භික්ෂූන් වහන්සේ වැඩ සිටින තැන උඩුවියන්
බැන්දා, රසවත් ව්‍යංඤ්ජන සැකසුවා, මිහිරි කැවිලි වර්ග සකසා ගත්තා. පලතුරු වර්ග ද
කැප සරුප් ආකාරයෙන් සකසා ගත්තා. අසල්වැසියන්ටත්, ඥාතීන්ටත් ආරාධනා කළා. පා දෝවනයටත්
අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තා. කටයුතු සියල්ල ම සැලසුම් කරගෙන විහාරයට ගොඩවෙලා
නායක තෙරුන් වන්දනා කර පින්කමට එක් භික්ෂුවක් ඉල්ලා ගත්තා. එම භික්ෂුවට දණ්ඩ
නමස්කාර කරලා පසුපස ගමන් ඇතිව නිවෙසට වැඩමවා ගත්තා.
දායකයා ම උන්වහන්සේගේ පා දෝවනය කර පිස දමා නිවෙස තුළට වැඩම කරන කොට නැවතත්
පිළිගැනීමක් වශයෙන් නමස්කාර කළා. ඇතිරිලි දැමූ ආසනයේ වැඩ සිටීමට අවස්ථාව සලසා දී
ගමන් වෙහෙස නිසා පාදයන්හි තෙල් ගල්වා වෙහෙස දුරු කළා. සුවඳ මල් පිළිගන්වලා නැවතත්
වන්දනා කළා. අනතුරුව බුදුරජාණන් වහන්සේ ගැන, සංඝරත්නයේ ගුණ සිහිකරමින් තමන්ගේ
නිවෙසට වැඩම කළාක් විදිහට භික්ෂූන් වහන්සේට දානයෙන් සංග්‍රහ කළා. පිරිකර ආදියත්
පූජා කළා. ධර්ම දේශනාවකටත් ඇහුම් කන් දී තෙරුන් වහන්සේ විහාරයට නැවතත් වැඩම කරවූවා.
නැවතත් නමස්කාර කර නිවෙස බලා පිටත් වුණා.
සවස් යාමය ටිකෙන් ටික ගෙවී යන්න පටන් ගත්තා. හිරු බැහැගෙන යන වේලාවේ දවල් නිවෙසට
වැඩි භික්ෂූන් වහන්සේ තමාගේ නිවෙසට එනවා දැක්කා.
දායකයා නිවෙසේ මිදුලේ ආසනයක ඉඳගෙන හිටියත්, ළඟට ම එනවා දුටුවත් පුටුවෙන් නැඟිට්ටේ
නෑ. ආචාර කළෙත් නැහැ. ඒ වගේම වන්දනා කිරීමක් හෝ දෑත් එකතු කිරීමක් හෝ කළේ නෑ.
භික්ෂුව ආසනය ළඟට ඇවිත් ‘උපාසක මහත්තයෝ, මට උදැල්ලක් ඕන පන්සලේ මළුව පිරිසුදු
කරන්න.’ යි කියමින් උදැල්ලක් ඉල්ලා සිටියා.
මේ තරුණයා ඉඳගෙන ම පයින් උදැල්ල විසි කර දමා, ‘අරගනුව‘ යි කියා සිටියා.
එදින දාන පින්කමට පැමිණ සිටි ඥාතීනුත්, අසල්වැසියනුත් කියන්න ගත්තා.
නුඹ උදේ ඒ භික්ෂුවට කළ සත්කාර ගරු සම්මාන කියා නිම කරන්න බැරි තරම් වුණා.
බුදුරජාණන් වහන්සේ නිවෙසට වැඩම කළාක් මෙන් සංග්‍රහ කළා. දැන් නැඟිටලා ගරු කළේවත්
නෑ. ඇයි මෙහෙම කළේ? මොකක්ද හේතුව? යි ප්‍රශ්න කළා.
මම ඒ සත්කාර ගරු සම්මාන කළේ මහා සංඝරත්නයට. මොහුට නෙවෙයි. මොහු දුශ්ශීලයි. සංඝයාගේ
සීල ගුණය නිමක් නෑ. සංඝයාටයි මම උදේ දන් දුන්නේ’’’ යි යනුවෙන් කියා සිටියා.
මජ්ක්‍ධිම නිකාය අටුවාවේ දක්කිණා විභංග සුත්‍රයේ මෙම කථා පුවත සඳහන් වෙනවා.
පින්වත්නි, පුද්ගලයා දුශ්ශීල වුවත් මහා සංඝයාගේ ගුණ සිහිපත් කිරීමෙන් කරන පූජාව
මහත් ආනිශංස ගෙන දෙන පින්කමක් වන බව මේ කතා පුවතින් කියා දෙනවා. දුශ්ශීල භික්ෂුවක්
වුවත් බුද්ධ, ධම්ම සහ සංඝ තෙරුවන් ආරක්ෂා කර ගන්නත්, පවත්වා ගෙන යන්නත් කැපවීමක්
කරනවා. තෙරුවන් වැඩ සිටිනවා'යි සිහි කර ගැනීමට, සිතිවිලි ඇති කිරීමට මිනිසුන්ට
අවස්ථාව උදාකර දෙනවා. එයම මහත් කාර්යයක් බවට පත් වෙනවා. |