සිත රැකගෙන පින් කරන්න
අපේ ජීවිතේ ආධ්‍යාත්මික දියුණුව කරා යන්න යම් සංසාරික පිනක් තිබුණත්, අපි ඊට නිසි
උත්සාහයක්, ධර්මයේ හැසිරීමක්, කල්‍යාණ මිත්‍ර ඇසුරක් නොකළොත් ඒ පින සැඟවී යනවා. ඒ
පිනට විපාක දෙන්න අවස්ථාව උදාවන්නේ ඊට උපකාරී විදිහට අපි ම කරන වීර්යයම යි. ඒ පින
මෝරා යන විදිහට යළි යළි එබඳු ම පින් කිරීම යි. ධර්මයේ හැසිරීමයි.
රජගහනුවර හිටපු කෝටිපතියෙක් තමයි මහධන සිටුතුමා. ඔහුගේ ආදරණීය පුතු වෙහෙසන්නට
අකැමැතිකමට ශිල්ප ඉගැන්වූයේ නැහැ. නැටුම්, ගැයුම්, වැයුම් පමණයි ඉගැන්වූයේ. සුදුසු
කල ඒ වගේම ධනවත්, නැටුම් ගැයුම් හැරුණු කොට වෙන කිසිවක් නොදන්නා සිටු කුමරිකාවකට
සරණ පාවා දුන්නා.
කිසිදු ශිල්පයක් නොදන්නා, ජීවිතයේ බරපතළකමක් කිසිදා නොසිතු මේ සිටු පුත්‍රයා පිනක්
කර ගන්නට ඕනෑ කියලා කිසි දිනක සිතුවේ නැහැ. සුරාවට, සූදුවට ඇබ්බැහිවූ පාප මිත්‍රයෝ
පිරිසක් ඇසුරු කරමින් ජීවිතය ගෙවා දැමූවා.
මවුපියන් මියගියාට පසුව මේ දෙදෙනාගේ සියලු ම ධනය අවසන් වනතුරු යහළුවන් සමඟ විනෝද
වුණා. අන්තිමට ණයකාරයන්ට සිටු මැදුර දී පාරට වැටුණා. සිඟමන් යදිමින් අනාථ ශාලාවක
දිවි ගෙව්වා. නුවණක් නැති, කිසිදු ශිල්පයක් නොදන්නා, හොඳ නරක නොතේරෙන සිටුතුමා
සොරුන් රැලකට බඳවා ගත්තා. දිනක් සොරුන් නිවෙසක් බිඳින්නට ගොස් සොර සිටුවරයාට
මුගුරක් අතට දී නිවැසියන් ආවොත් කියන්න කියා නිවෙස තුළට ගියා.
නොසිතූ වෙලාවක නිවැසියන් ආවා. සොරු ටික මොහොතින් පැන ගත්තා. පැන යන්නටවත්, පහර
දෙන්නටවත් කිසිවක් නොදන්නා නූගත් කුමාරයා ගෙහිහිමියාගේ අතට හසුවුණා. රජු වෙත කැඳවා
ගෙන ගියා. ඔහුට මරණ දණ්ඩණය නියම වුණා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ සිටුවරයා තරුණ වයසේ මහන්සි වෙලා මුදල් උපයා ගත්තා නම්
මධ්‍යම සිටු කෙනකු වෙනවා. අන්තිම කාලයේ උත්සාහ ගත්තා නම් සුළු සිටුවරයෙක් වෙනවා.
තරුණ කාලයේ දී පව් වැඩ අතහැරලා පැවිදි වුණා නම් රහත් වෙන්නටත් පින තිබ්බා. මැදිවියේ
පැවිදි වූවා නම් සකදාගාමී හෝ අනාගාමී වෙන්න පින තිබුණා. අන්තිම කාලයේ පැවිදි වූවා
නම් සෝවාන් වෙන්න පින තිබුණා. පාප මිත්‍ර ඇසුර, සල්ලාලකම, බේබදුකම නිසා රහත් වෙන්නට
තිබූ පිනයි නැසුණේ.
එනිසා නිතර නිතර පින් කළ යුතු වෙනවා. කරන පින සුළු යැයි කියා නොසිතා එක ම පින වුව ද
නැවත නැවත කළයුතු වෙනවා. තුන්සිත පහදවා ගෙන, කිලිටි නැතිව පින් කිරීම සිතන තරම්
පහසු නැහැ. ඉතා දුෂ්කරයි. නමුත් වීර්යයෙන් හෝ සිත රැක ගත්තොත් දෙලොව ම ජය ගන්නට
පුළුවන්කම තිබෙනවා.
-
නයනා නිල්මිණී |