Print this Article


සිල්වත් ගුණයට පැහැදුණු පින් සිත

සිල්වත් ගුණයට පැහැදුණු පින් සිත

ලංකා ශාසන ඉතිහාසයේ සංවර ඉඳුරන් ඇති ශ්‍රද්ධාවන්තම රජතුමා තමයි අපේ සද්ධාතිස්ස මහරජතුමා. මේ රජතුමාගේ නම ඇහුවත් හැමෝම දන්නවා කාගේ කවුද ? මොනවද ලංකාවට කරපු ශාසනික සේවය කියලා.

රුහුණු රටේ දිගාමඩුල්ලට ආදරය කළ මේ රජතුමා කුඹුරු ගොවිතැනින් රට ස්වයංපෝෂිත කළා.

ක්‍රියාත්මක කර තිබුණු කෘෂිකාර්මික කටයුතු අධීක්ෂණය කරන්න රාජ්‍ය නිලධාරින් යොදවලා තිබුණා. ඒ වගේම අවශ්‍යතාව අනුව උසස් නිලධාරීන් ද ගොවිබිම් පරික්ෂා කරන්න යැව්වා. දවසක් උසස් නිලධාරියකුට කතා කරලා කියනවා

‘ඔබ වහාම කොට්ටසාල ගමට ගිහින් ගොවිතැන් කටයුතුත්, ජනතාවගේ සුවදුක් ආදියත්, සංවර්ධනය විය යුතු හෝ ප්‍රතිසංස්කරණය විය යුතු හෝ දේ තියෙනවා නම් ඒවාත් බලාගෙන එන්න’ කියලා. මේ උසස් නිලධාරියා රාජ නියෝගයෙන් ‘කොට්ටසාල’ ගමට ගියා. ඒ ආරංචිය කනවැකුණු ගම්වැසියෝ රජතුමාට තමන්ගේ සුවදුක් වාර්තා කරන්න එන නිලධාරියාට හොඳට සලකන්න ඕන කියා හිතාගෙන ගිතෙල් මිශ්‍ර රස කෑම එකක් සකස් කළා. රාජ්‍ය නිලධාරියාත් පෙර දැනුම් දුන්න පරිදි ම උදෑසන කාලයේ කොට්ටසාල ගමට ගියා. ගම්වැසියන් එක්ක කතා බස් කරමින් සිටින අතරේ හැමදාම මේ ගමට වැඩම කරන පිණ්ඩපාතික තෙර නමත් වැඩම කළා. මිනිසුන් පිණ්ඩපාතය පිළිගන්වන්නට ගෙවල්වලට යන්න සැරසෙන විට නිලධාරියා ඔවුන්ව වළක්වා තමන්ට දුන් රසම රසවත් ගිතෙල් මිශ්‍ර කෑම තෙරුන් වහන්සේට පූජා කර නමස්කාර කළා.

මිනිසුන්ගේ කටයුතු වගේම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු පිළිබඳවත් හොයා බලා රජතුමාට ඒ සියල්ල වාර්තා කරන බවට ගම්වැසියන්ට පොරොන්දුව යන්න ගියා. මේ උසස් නිලධාරියා රජතුමාට සේවය කර විශ්‍රාම ගියා. කලක් ගතවත්ම ආයු කෙළවර කලුරිය කර කොට්ටසාල ප්‍රදේශයේ ම ‘වල්ලවහ’ නම් ගමේ අඹුසැමි යුවළකට දාව ඉපදුණා. මව්පියන් ‘සුමන’ කියා මේ සිඟිත්තාට නමක් දුන්නා. ක්‍රමයෙන් වැඩිවියට පත් ඔහු ගොවිතැන් කරමින් ජීවත් වුණා. සුමන තරුණයා නිසි කල මව්පියන්ගේ ආශිර්වාදයෙන් විවාහ ජීවිතයට ඇතුළු වුණා. මව්පියන් හරිම ශ්‍රද්ධා සම්පන්න උදවිය. හැමදාම ගමේ බ්‍රාහ්මණ ආරාමය නම් විහාරයට ගොස් බණ ඇහුවා. දානය පූජා කළා. භාවනා කළා. සුමන තරුණයාත් කුඩා කාලයේ සිටම ආගමික වතාවත්වලට හුරුවයි හිටියේ. විවාහ දිවියෙන් නොබෝ කලක් යනකොට ම ජීවිතයේ නිසරු තත්ත්වය අවබෝධ කර ගත්තා. තම බිරිඳගේ අවසරයත්, මව්පියන්ගේ අවසරයත් ඇතිව බ්‍රාහ්මණ ආරාමයට ගිහින් මහතෙරුන් වහන්සේට වන්දනා කරලා පැවිද්ද ඉල්ලා ගත්තා.

පැවිදි නාමය විදිහට ලැබුණේ ‘තම්බසුමන’ කියන නමයි. එදා සිට බොහෝම උනන්දුවෙන් අවශ්‍ය ශාසනික වත්පිළිවෙත් වගේම ධර්මයත් හොඳට ඉගෙන ගත්තා. පසු කලක උපසම්පදාවත් ලබා ගත්තා. උපසම්පදාවෙන් වස් දොළහක් පිරෙන කාලයේ ලංකාවට දොළොස් වසරක් ඇති වී තිබුණු බැමිණිතියාසාය නම් නියඟය ඇති වෙන්න පටන් ගත්තා. මාස ගණනාවක් සුව සේ වාසය කළත්, ටිකෙන් ටික ආහාර හිඟයක් රට පුරාම ඇති වුණා. මිනිසුන්, මිනිසුන් මරාගෙන කන තරමට රට දුර්භික්ෂයකින් පිරී ගියා. මේ තෙරුන් වහන්සේ කල්පනා කරනව ‘ජීවිතය ආරක්ෂා කර ගන්න ඕන භාවනා කරන්නත්, සිල් රකින්නත්, ඒ නිසා හොඳම විසඳුම තමයි දඹදිවට

පලායන එක’යි හිතා අනෙක් විහාරවාසී තෙරවරුන් අමතා ‘ස්වාමීනි, අපි දඹදිවට ගිහින් ජීවිතය රැක ගමු’යි කිව්වා. හැම දෙනා ම එයට කැමැති ව ගමනට පිටත් වෙන්න සූදානම් වුණා. දිනය උදාවුණා. එදින උදේම පන්සල අසල තියෙන තිඹිරි ගහේ වාසය කළ වෘක්ෂ දේවතාවා මිනිස් වෙසක් මෙවාගෙන විත් තම්බසුමන තෙරුන් වහන්සේ මුණගැසී වන්දනා කරලා කියනවා.

‘ස්වාමීනි, නුඹවහන්සේ දඹදිවට වැඩම කරන්න එපා. මිනිසුන් දිනෙන් දින මිය යනවා. ලෙඩ රෝගවලින් පෙළෙනවා. ඔවුන්ට දහම් පදයක් හෝ අහන්න මෙහේ වැඩ ඉන්න. මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්’ කියා ආරාධනා කරනවා. ඒ වගේම බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

තම්බසුමන තෙරුන් වහන්සේ දායකයාගේ ආරාධනාව පිළිගෙන විහාරයේ නතර වෙනවා. වෘක්ෂ දේවතාවා දිව්‍ය ආහාරපානත්, දිව්‍ය වස්ත්‍රත් මේ තෙරුන්ට දිනපතා ම පිළිගන්වනවා. ඒවා දිනපතා ම පන්සිය නමකට තරම් සෑහෙනවා. අනෙක් විහාරවල වැඩ සිටින භික්ෂූන් වහන්සේත් වැඩම කර පිණ්ඩපාතය වළඳනවා. මෙහෙම දොළොස් වසරක් ගෙවී ගියා.

දවසක් තම්බසුමන තෙරුන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ කතා කරගෙන අනෙක් විහාරයකට වැඩම කරන අදහසින් පාරට වැඩම කර ගමනේ යෙදුණා. මෙහෙම යනකොට හමුවුණා ‘කඩරොද’ කියන ගම්මානය. ඒ ගමට නුදුරු වනයක වැඩ වසන භික්ෂූන් වහන්සේ පිරිසක් පිණ්ඩපාතයේ යෙදී ගසක් මුල හිඳගෙන පිණ්ඩපාතය වළඳන්න සූදානම් වෙමිනුයි හිටියේ. ඒත් අධික වැහි අඳුර නිසා හරියට ම වෙලාව අඳුනා ගන්න අමාරුයි. ඉර අවරට ගොස්ද කියා අඳුනා ගන්න බැරි තරම් අඳුර වැටිලා. තම්බසුමන තෙරුන් වහන්සේ එතැනට වැඩම කර පාත්‍ර අතැති ව වැඩ සිටින භික්ෂූන් දැක අහනවා.

‘ස්වාමීනි, පිණ්ඩපාතය තියෙන පාත්‍ර අතේ තියාගෙන වළඳන්නේ නැතිව බලාගෙන ඉන්නේ ඇයි? කියලා. තෙරුන් වහන්ස් කියනවා ‘අඳුර නිසා වේලාව දැන ගන්න විදිහක් නෑ’යි කියා.

තම්බසුමන තෙරුන් වහන්සේ ගල් කැටයක් ගෙන අහසට වීසි කරනවා. එය සූර්යා මෙන් ආලෝකය විහිදවමින් අඳුර මකා දමනවා. එදින ගල් කැටයක් අහසට විසි කළ මොහොතින් සූර්යා මෙන් එය එළිය දුන්න නිසා එදා සිට එතැන ‘මණිසූරිය’ නමින් හඳුන්වපු බවත් එය වර්තමානයේ හඳුන්වන්නේ ‘මින්නේරිය’ යන නමින් බවත් මේ කතා පුවතේ ම සඳහන් වෙනවා.

ඉතින් මේ තෙරුන් වහන්සේ මේ ආකාරයට ඒ භික්ෂූන් වහන්සේට පිහිට වෙලා නැවත ගමනේ වැඩම කරමින් ළඟා වෙනවා ‘චුල්ලතවාම කියන ගමට. ඒ ගමට නම යෙදී තියෙන්නේ මහවැලි ගඟේ සුදුවැලි ඒ ගම පුරා විහිදී තිබුණු නිසා. ඒ නිසා ම ‘සුදුවෑසර’ කියලාත් හඳුන්වා තියෙනවා. එතැනට වැඩම කරන විට දකින්න ලැබුණා තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් දුර්භික්ෂයෙන් තවමත් පීඩා විඳිමින් කටුක ආහාර වළඳන ආකාරය. තෙරුන් වහන්සේට බොහෝම දුක හිතුණා. උන්වහන්සේ අමතා කියනවා.

“ස්වාමීනි, ඇයි තවමත් මේ කටුක ආහාර වළඳන්නේ? සුවඳ මිශ්‍ර ගිතෙල් සමඟ පිණ්ඩපාතය වළඳන්න’යි කියලා අසල තිබුණ මහවැලි ගංගාව දිහා බැලුවා විතරයි. එතැන ඉඳලා යොදුනක් දක්වා ජලය ගිතෙල් බවට පත් වුණු බවත්, තෙරුන් වහන්සේ එම සුවඳ ගිතෙල් ගෙන සුව සේ පිණ්ඩපාතය වැළඳූ බවත්, මේ ආරංචිය ඇසූ, දුටු හැමෝ ම ඇවිත්, කළ, මුට්ටි ආදී භාජන පුරවා ගෙන ගෙන ගිය බවත් සීහළවත්තුවේ කතා පුවතක සඳහන් වෙනවා.

පින්වත්නි, මේ කතාව දිහා අවධානයෙන් බලන්න. තමන්ට ලැබුණු, හොඳම දේ තමයි මේ තම්බසුමන තෙරුන් උසස් රාජ්‍ය නිලධාරියකු ව සිටිය දී සංඝයා වහන්සේ ට පූජා කළේ. ඒ දානයේ ආනිශංසයෙන් තමා මේ තෙරුන්ට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ හැකියාවත්, දුර්භික්ෂ සමයක දී සුව සේ අනුභව කරන්න ආහරපානත් ලැබුණේ. ලෝභ සිතිවිලිවලින් තොරව, සිල්වත් ව ඉඳගෙන සිල්වතුන්ට දන් දීමෙන් සසරේ හැම ආත්මයක ම සුව සේ වාසය කිරීමට අවශ්‍ය ආහාරපානත්, ආරක්ෂාවත්, ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ බලයත්, නිවන් සම්පත්තියත් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා’යි කියන ආදර්ශය අපට මේ කතා පුවතින් ලබා දෙනවා.