ක්‍රෝධ සිතිවිලි නිවැරැදි ව හඳුනාගනිමු
රාජකීය පණ්ඩිත
පයාගල සුමනසාර හිමි
සමාජගත ජීවිතයේ එදිනෙදා කටයුතු කරන අතරවාරයේ දී අපට නොයෙක් බාධක කම්කටොළු ඇති වේ.
එම බාධක කායික පීඩා හා මානසික පීඩා ලෙස වෙන් කර ගත හැකි ය.
කායික පීඩාවන්ට වඩා මානසික පීඩා පීඩාකාරි වේ. මනසින් නිරවුල් ව සිටීමෙන් කායික
පීඩාවන් වළක්වාලීමටත්, එම පීඩාවන්ට නිවැරැදි ව මුහුණ දීමටත් හැකි වේ. මානසික ව අප
නිරවුල් ව විසීමට අපේක්ෂා කරන්නේ නම් මනසේ ඇතිවන ක්‍රෝධය නැසිය යුතු බව බුදුරජාණන්
වහන්සේගේ උපදේශය යි.
දිනක් බුදුරජාණන් වහන්සේ ගෙපිළිවෙලින් පිණ්ඩපාතයේ වැඩම කරමින් භාරද්වාජ ග්‍රෝත්‍රයට
නෑකම් කියන බමුණකුගේ නිවසට පැමිණ වදාළ සේක. එම අවස්ථාවේ බමුණා ආහර ගනිමින් සිටියේ
ය. ඔහුගේ බිරිඳ ධනඤ්ජානී නම් විය. ඇය බුද්ධ, ධම්ම, සංඝ (තෙරුවන) සරණ ගිය බොහෝ
ශ්‍රද්ධා ඇත්තියකි. බුදුරජාණන් වහන්සේ දුටු විගස බමුණාට ආහාර බෙදීම නතර කොට ඇය ‘ඒ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! යැයි තෙවරක් කීවා
ය.
මෙය ඇසුණු බමුණා ක්‍රෝධයෙන් ඇයට බැණ බුදුරජාණන් වහන්සේ සමඟ වාද කරන්නට සූදානම් විය.
එහෙත් බැමිණිය පැවසුයේ බුදුරජාණන් වහන්සේ හා විවාද කරන්නට දෙවියකු හෝ, මාරයකු හෝ,
බ්‍රාහ්මණයකු හෝ, මහණ බමුණකු හෝ, මිනිසකු හෝ නොමැති බවයි. එහෙත් බමුණා නො පැකිළව
බුදුරජාණන් වහන්සේ වෙත එළෙඹ ප්‍රශ්න අසා වාද කරන්නෙමි’ සිතා ප්‍රශ්න ඇසීය. එම ඇසූ
ප්‍රශ්න සංයුක්ත නිකායේ සගාථ වග්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ ධනඤ්ජානී සූත්‍රයේ සඳහන්
වන්නේ මෙසේ ය.
භාග්‍යවතුන් වහන්ස, කුමක් නසා සුව සේ වාසය කෙරෙයි ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? මෙසේ
බුදුරජාණන් වහන්සේ අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඇසූ පැනයට උන්වහන්සේ ඉතා පහසුවෙන්
පිළිතුරු ලබා දී ඇත්තේ මෙසේ ය.
ක්‍රෝධය අත්හැර සුව සේ වාසය කරයි. ක්‍රෝධය අත්හැර ශෝක නො කෙරෙයි. විෂ සහිත වූ, දුක්
ගෙන දෙන්නා වූ, ක්‍රෝධය නැසීම උතුමන් වහන්සේ විසින් ප්‍රශංසා කෙරෙයි. එබඳු ක්‍රෝධය
නැසීමෙන් ශෝක නොවන්නේය.
පින්වතුනි, ක්‍රෝධය යම් පුද්ගලයකු සතු ව ඇතිනම් ඔහුට සතුටක් නො මැත. ශෝකයෙන් කාලය
ගත කිරීමට සිදුවනු ඇත. පෘථග්ජන අප කෙනකු හෝ යමක් අරමුණු කර ගෙන වෛරයෙන් සිටී නම් එය
කල් යැවීමෙන් බද්ධ වෛරයකට මුල පුරයි. එය ක්‍රෝධය බවට පත් වේ.
අටුවාචාරීන් වහන්සේ ක්‍රෝධය පිළිබඳ දක්වා ඇති අදහසක් වන්නේ “හදය කෝටර කුටීරෝ කෝධ
කුණ්ඩලී න ජාති බහිකාතබ්බෝ” යනුවෙනි. ඒ පාලි පාඨයෙන් අදහස් කෙරෙන්නේ හදවත් නැමැති
කුටියේ සැඟවී සිටින ක්‍රෝධය නමැති සර්පයා පිටතට නො දක්වන ලෙසයි.
ඒ අනුව අප කා අතරත් ක්‍රෝධය අඩු හෝ වැඩි වශයෙන් පවතී. අප එය නිවැරැදි ව තේරුම් ගෙන
පාලනය කර ගත යුතු වේ. එසේ සිදු කිරීමෙන් හා සිදුකිරීමට උත්සාහ ගැනීමෙන් ශෝකයෙන් තොර
ව සුව සේ වාසය කිරීමට හැකි වනු ඇත. මානසික ව නිදහස් පුද්ගලයකු වීමට නම්, මෙම බුද්ධ
උපදේශනය ප්‍රමාණවත් වූවකි. එම නිසා ක්‍රෝධය මැඩ පවත්වා ගනිමින් ලෝ සත්වයා කෙරෙහි
මෛත්‍රි වැඩීමට අදිටන් කර ගනිමු. |