බව දුක දුරු කිරීමේ ප්‍රතිපදාවට පිවිසෙමු
සියල්ල දුක් සහගත බව ඇසූ අප හිතවතකු දුක නැති කිරීමට ය කියා පැවිදි විය. ධර්ම
දේශනාවක් මඟින් අසා දැනගත් පරිදි පැවිදිවීමෙන් දුක් නැති කළ හැකි යැ’යි දැනගත් ඔහු
එම කියමනෙහි තේරුම නොවිමසා ම, එම ප්‍රකාශයෙහි වචනාර්ථය පරිදි, දුක නැති කිරීමේ
අරමුණ ඇතිව පැවිදිවිය.
ආරණ්‍යයෙහි ගතකළ කාලය තම ජීවිතයේ මුහුණ පෑ කටුක ම කාලය ලෙස හැඳින්වූ ඔහු, පසුව
සිවුරු හැර දමා ගිහි බවට පත්වී, සැමට දෝෂාරෝපණය කළේය. පැවිදි වීමෙන් සිදුවන්නේ
තිබෙන දුක වැඩිවීම බව ද ප්‍රකාශ කළ ඔහු බුදුදහමේ ඉගැන්වීම්වලට ද වෛර කරමින්
සිටියමුත් කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිසකගේ කාරුණික මඟ පෙන්වීමෙන්
සුගති මඟට පත්විය.
ඉහත සඳහන් කර ඇත්තේ එක පුද්ගලයකු පිළිබඳ පමණි. ඔහු මෙන් ම, බොහෝ දෙනකුට ඇති වැරැදි
වැටහීමක් වන්නේ පැවිදිවීම ම දුක් නැති කිරීම බවයි. බොහෝ ගිහි උපාසක පිරිස් පැවිදි
දිවියෙහි සරල බවට කැමැති වෙති. භික්ෂූන් වහන්සේ නමකගේ සන්සුන් ඉරියව්, සරල දිවි
පැවැත්ම දකින ඔවුනට ද පැවිදිවීමට කැමැත්තක් උපදී. නොයෙක් වගකීම්, කටයුතු බහුල තමන්
මෙන් නොව උන්වහන්සේ කිසිදු දුකක් නොමැති ව වෙසෙති’යි සිතති. දුකක් නොමැති ව වාසය
කිරීම සාමාන්‍ය අප තේරුම් ගන්නේ ‘සැප සේ විසීම ලෙසයි. ගිහි අප බලාපොරොත්තු වන සැපය
වන්නේ අඩු මහන්සියකින්, ධනය වියදම් කිරීමකින් තොරව අපගේ පැවැත්මට අවශ්‍ය සියලු දෑ
සහ අප ආශා කරන සියලු දෑ සපයා ගැනීමට හැකිවීමයි.
නමුත් ධර්මයේ විස්තර කෙරෙන සැපය අනෙකකි. එනම් නො ඇලීමේ සැපය යි. භික්ෂූන් වහන්සේ
නමකට සැපයක් ඇතැයි ඔබ සිතන්නේ නම්, එය නොඇලීමේ සැපය හෙවත් නිරාමිස සැපය මිස, ගිහි
අප බලාපොරොත්තු වන “සියල්ල දෙපාමුලට ගෙනදීමේ සැපත” නොවේ. එම නිරාමිස සැපත
හැරුණුකොට, උන්වහන්සේගේ ප්‍රතිපත්ති දුක් සහිත ය. එනම්, උන්වහන්සේ නිවන් අවබෝධ කර
ගැනීම පිණිස පුරන පිළිවෙත දුෂ්කර ය. කටුක ය. උන්වහන්සේ දුෂ්කර වූ ශීල ප්‍රතිපත්ති
ආරක්ෂා කරති. ගැඹුරු වූ දහම් කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කරති. සමථ විදර්ශනා
භාවනා පුහුණු වෙමින් තණ්හාව ක්ෂය කිරීමට උත්සාහ කරති. එබැවින්, “පැවිදිවීම” යනු දුක
නැති කර දැමීමේ ක්‍රමවේදයක් නොව, දුක නැති කිරීම පිණිස කළ යුතු පිළිවෙත් අනුගමනය
පහසුවීම පිණිස තෝරාගන්නා ජීවන රටාවකි.
නිවන් අවබෝධ කර ගැනීමට අදාළ පිළිවෙත් අනුගමනය සඳහා ගිහි හෝ පැවිදි හෝ බව ගැටලුවක්
නොවන නමුත්, පැවිදි උතුමකුගේ ජීවන රටාවෙහි ඇති සරල බව නිසා ම, උන්වහන්සේට
ප්‍රමාදයකින් තොරව ලබාගත් මෙම මනුෂ්‍ය ආත්මභාවයේ දී ම නිවන සාක්ෂාත් කළ හැකි ය.
ලෝකයෙහි ක්‍රියාකාරීත්වය තම ඤාණයෙන් විමසා බැලූ බුදුරජාණන් වහන්සේට පෙනීගිය කරුණු
අනුව “සියල්ල දුකය” යි සරලව දේශනා කළ සේක. වර්තමානයෙහි ඇතැමකු විසින් ඉහත බුද්ධ
වචනය අර්ථකථනය කරනුයේ “සෑම ක්‍රියාකාරකමක් ම කරදරයක් වන හෙයින්, ඒ සියල්ලෙන් ම
මිදී, කිසිවක් නොකර සිටීම යහපත් බව“යි. සියලු දෙයහි දුක ඉපදවීමේ හැකියාවක් ඇති බව
දැනගත් නිසා, යම් කටයුත්තක් කිරීමට සිදුවූ විට, එහි ඇති ඍණාත්මක පැතිකඩ දෙස ම සිතා
බලා “වැඩක් නෑ ඕවා කරලා. කරදර වෙනවට වඩා හොඳයි නිකං ඉන්න එක. කොයි දේ කෙරුවත් වදයක්
ම තමයි. සියල්ල දුකයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඒ නිසානෙ” යි මැසිවිලි නගමින්,
තම කටයුතුවලට ප්‍රමාද වෙති. එනිසා ම, ඔවුහු ලෞකික හෝ ලෝකෝත්තර හෝ දියුණුවක් නොලබති.
ඇතැමුන් “නිදහස” ලෙස සලකනු ලබන්නේ ද මෙලෙස සෑම දෙයක ම දොස් දකිමින්, තම කටයුතු සිදු
නොකර, නිකරුණේ කල් ගෙවීමයි.
පෘථග්ජන මිනිසා “නිදහස නැත” යනුවෙන් අදහස් කරනුයේ තමා සිදුකරන කටයුතු මදකට හෝ නතර
කිරීමට නොහැකි බව, සහ තමා කැමැති පරිදි කටයුතු කිරීමට නොහැකි බවයි. පැවිදිවූ විට
“නිදහසක් ලැබේය” යි ඔබ සිතන්නේ ද? පැවිදි උතුමකු කය වෙහෙසා කටයුතු සිදු නොකරතත්,
උන්වහන්සේ සිය මනස උපයෝගී කර ගනිමින් කෙලෙස් නැසීම පිණිස සිදුකරන කටයුතු බොහෝ ය.
එලෙස විමසා බැලූවිට, උන්වහන්සේට කටයුතුවලින් නම් නිදහසක් නැත. එසේම, උන්වහන්සේ
පැවිදිවූ දින පටන්, බුදුරදුන් පැන වූ විනය ශික්ෂාපදවලට එකඟව ජීවත් වෙති. එබැවින්,
තමන් වහන්සේ කැමති දෙය කරමින් සිටීමේ නිදහසක් ද නැත. එහෙයින් ම, පැවිදිභාවය යනු
පුහුදුන් නිදහස ලබා ගැනීමේ මඟක් නම් නොවේ.
බුදු දහමේ සඳහන් වන “නිදහස” නම්, “නොඇලීම” නිසා ඇතිවන මානසික සහනය හෙවත් මානසික
නිදහසකි. සම්පූර්ණ මානසික නිදහස ලබා ගත් රහතන් වහන්සේ පවා බොහෝ දෙනාට හිතසුව පිණිස
වැඩසිටීම වෙනුවෙන් පිණ්ඩපාත චාරිකා වඩිමින්, රෝගවලින් වැළකීමට අවශ්‍ය කටයුතු
කරමින්, සිවුරු සෝදා පිරිසුදු ව තබා ගනිමින් තම ශරීරය පවත්වා ගැනීමට කටයුතු කරති.
එසේ නම්, එදිනෙදා කටයුතුවලින් නිදහස අවශ්‍ය අයකු කළ යුත්තේ සියල්ල අතහැර දමා ගොස්
පැවිදිවීම නොව, තම කටයුතුවලින් විවේකයක් ගැනීම හෝ අත්‍යවශ්‍ය නොවන කටයුතු ලිහිල්
කිරීමයි. එහෙයින්, පැවිදිභාවයේ වුව ද “දුක” ඇති බව වටහාගත යුතු ය.
සියල්ල දුක්සහගතය” යි දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ තේරුම් කර දීමට උත්සාහ කරනු
ලැබුවේ, කිසිදු පීඩාවකින් තොරව, තමාට කැමැති පරිදි සිදුකර ගත හැකි ක්‍රියාවක් ලොව
නොමැති බවයි. තමාට අවශ්‍ය පරිදි කය හෝ මනස හෝ පැවැත්විය හැකි පුද්ගලයකු ද නැති බව
යි. ඔබගේ ශරීරය හා මනස ද එසේ ය. ඔබ මහත් වුවමනාවෙන් දිනපතා දත් මැදීම සිදු කළ ද,
වෙනත් හේතුවක් නිසාවෙන් දත් දිරාගොස් තිබෙනු ඇත. “අපරාදෙනෙ දවසගානෙ දත් මැද්දෙ” ඔබ
කියනු ඇත. මෙතරම් කාලයක් හෝ දත් ආරක්ෂා වී තිබුණේ ඔබගේ එම කැපකිරීම නිසා බව අමතක
නොකරන්න.
දත් මැද පිරිසුදු ව තබා ගන්නැ’යි උපදෙස් දෙනුයේ එමඟින් දත් දිරීම සදාකාලික ව
නැවැත්විය හැකි නිසා නොව, දත් දිරායාමේ වේගය අවම කර වැඩි කාලයක් දත් ආරක්ෂා කර තබා
ගැනීමටත්, මුහුණදීමට සිදුවන දුක් අවම කිරීමටත් ය.
බුදුරජාණන් වහන්සේ විසින් සියල්ල දුක් සහගත වන බව දේශනා කර තිබෙනුයේ ලෝකයෙහි
ක්‍රියාකාරීත්වය පිළිබඳ කලකිරී, සියලු කටයුතු අතහැර දමා, සුසුම්ලමින් සිටීමට නොවේ.
උන්වහන්සේ ලබා දෙන පණිවුඩය නම්, එක් දෙයකින් හටගත් දුකක් නැති කිරීමට ය කියා තවත්
දෙයක් සිදුකිරීමෙන්, පළමුව හටගත් දුක නැති විය හැකි නමුත්, වෙනත් දුකක් අලුතින් හට
ගන්නා බව යි. එහෙයින් ම, දුකක් ඇති නොකරන ක්‍රියාවක් ලොව නොමැති බවයි.
නිදසුනක් ලෙස, ඔබ, “රැකියාවක් නොමැතිවීම සියලු කරදරවලට හේතු වේ යැයි සිතා කෙසේ හෝ
උත්සාහ කර රැකියාවක් සොයා ගනී. එයින් ඔබට ඇතිවී තිබෙන සියලු ගැටලු ඉවත් කර ගත
හැකිය’යි සිතයි. නමුත්, රැකියාවට ගොස් කෙටි කලකින් ම එහිදී දැරීමට සිදුවන වගකීම්
නිසාත්, කායික හා මානසික වෙහෙස නිසාත් දැන් රැකියාව අපි‍්‍රයවීම ඇරඹේ. පෙර
රැකියාවක් නොමැතිවීම දුකක් විය. දැන් රැකියාව තිබීම දුකක් වී ඇත. එසේ නම්, වඩා
යහපත් කුමක් ද? රැකියාව තිබීම ද? නොතිබීම ද? බුද්ධ දේශනාව අනුව නම් එම සිදුවීම්
යුගලයෙන් ම එකිනෙකට වෙනස් දුක් ආකාර හටගනී. රැකියාව නොමැතිවීම නිසා ඇතිවන දුක් එක්
ආකාරයකි. රැකියාව සිදුකර ගෙන යන විට ඇතිවන දුක් අනෙක් ආකාරයකි. එසේනම්, කුමක් කරමු
ද? පැවිදි වෙමු ද? එහි ද දුක් ඇත. එසේ නම්, දිවි නසාගමු ද? එයින් තමාට අපාගත ව දුක්
විඳීමට සිදුවනවා සේ ම, තිරිසන් සතකු වී ඉපදුණහොත් ලබන සැපතත් නැත.
ධර්මය ශ්‍රවණය කර, භාවනා කර නිවන් අවබෝධ කර ගැනීමට තරම් නුවණක් ලැබෙන්නේ ද නැත.
එහෙයින්, ලොව ඇති අනෙකුත් භවයනට වඩා දුප්පත් වී හෝ මනුෂ්‍ය භවයක් ලබා තිබීම හොඳ ය.
දුප්පත්වීම තම වස්තු සම්පත්වල හිඟකමක් මිස නිවන් අවබෝධ කර ගැනීමට එයින් වන
ප්‍රයෝජනයක් නම් නැත. දුප්පත් වුව ද, සෑම මනුෂ්‍යයකුට ම එක සේ හිමිවන “විමසා
ක්‍රියා කිරීමේ හැකියාව“ ඔබට ලැබී ඇත. එහෙයින් කළ යුත්තේ වඩා හොඳ විකල්පය තෝරමින්
කල් යැවීම නොව, තම අවශ්‍යතාව හඳුනාගෙන, එය ඉටු කර ගත හැකි විකල්පය තෝරාගෙන එය
කිරීමයි.
එසේම, ඕනෑම කටයුත්තක නිරත වීමේ දී හෝ ඕනෑම පුද්ගලයකු සමඟ කටයුතු කිරීමේ දී, තමා
බලාපොරොත්තු වන ආකාරයට වඩා වෙනස් ලෙස ක්‍රියාත්මක වන විට, “සියල්ලෙහි ම දුක ජනිත
කරවන ලක්ෂණය ඇත” යන බුද්ධ වචනය සිහිපත් කර, තමාට මුහුණපෑමට සිදුවන අකැමැති
සිදුවීම්වලට මැදහත් සිතින් යුක්ත ව මුහුණ දිය යුතු ය.
කෙසේ නමුත්, “සියල්ලෙහි දුක ඇත” ය කියා ඔබ විසින් කරන ක්‍රියාවන්, කළ යුතු පරිදි
සිදු නොකොට, අවසානයේ බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ලද පසු “හැම දෙයකින් ම කරදරයක්
වෙනවා කියලා මම දැනගෙන හිටියා” යනුවෙන් දෝෂාරෝපණයක් සිදු නොකළ යුතු ය. නිදසුනක්
ලෙස, බීජ සිටුවා වගාවක් ඇරඹීමට සැරසෙන ඔබ, සුදුසු පුද්ගලයකුගෙන් උපදෙස් නොගෙන, ඔබට
සිතෙන පරිදි වගා කර, අවසානයේ නිසි ඵලදාවක් නොලද පසු, ලෝකයෙහි ක්‍රියාකාරීත්වයට දොස්
පැවරීමෙන් පලක් නොවේ. තෝරාගත් බීජවලින් ඇතැම් ඒවා පැළ නොවීම ලෝක ස්වභාවය යි. එසේ
තමා තෝරා ගත් බීජ සියල්ල ම පැළ නොවීම දුකකි. හෙවත්, අප කැමැති නොවන, බලාපොරොත්තු
නොවන ආකාරයකි.
නමුත්, පැළවීමේ හැකියාව ඇති ඉහළ බීජ තෝරා ගැනීමට ඔබ ක්‍රියා නොකළේ ඇයි? එමඟින් පැළ
නොවී ඉතිරි වන බීජ ප්‍රමාණය අවම කර ගැනීමෙන් වැඩි පැළ ප්‍රමාණයක් ලබාගත හැකි ව
තිබුණා නොවේ ද? ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දියුණුව ද ඇත. උපදෙස් සපයන ආයතන ද ඇත.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මූලාශ්‍ර ඇත. එසේ තිබියදී ඔබ කල්පනා කොට ක්‍රියා
නොකිරීම තුළින් “දුක” වැඩි කර ගෙන ඇත.
බුදුරජාණන් වහන්සේ උපදෙස් දී ඇත්තේ “සියල්ල දුකක් කර ගැනීමට” නොවේ. නමුත් අප බොහෝ
දෙනකු බුද්ධ වචනය වැරැදි ලෙස තේරුම් ගෙන සිදුකරනුයේ ද සියල්ල දුක වැඩි වන පරිදි
කටයුතු කිරීමයි. සමාජයේ ඇතමකු සිතනුයේ, දුක සේ ජීවත්වීමට බුදුරජාණන් වහන්සේ විසින්
අනුදැන වදාරා ඇති බවයි. දුක් විඳීම උසස් ලෙස සැලකූ බවයි. ඇතැමුන් රෝගයකට, ආබාධයකට
ප්‍රතිකාර නොගෙන සිටින්නේ ද, තම ගෙදර දොර ගැටලුවක දී සුදුසු පිළියමක් නොකර දියුණුවට
පත්වීම ගැන නොසිතන්නේ ද? මෙලෙස බුද්ධ වචනය වරදවා තේරුම් ගැනීම නිසා ය. උන්වහන්සේ
අනුමත කරනුයේ දුක සේ ජීවත්වීම නොව සරලව ජීවත්වීම ය. තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම
දේශනාවෙන් ම “දුක් සහිත ප්‍රතිපත්ති” අනුමත නොකළ සේක. සරල ව ජීවත්වීම යනු, ලැබෙන
දෙයකින් යැපෙමින්, රෝගයකට වුව ද ප්‍රතිකාර නොගෙන ඉන් පීඩා විඳිමින්, තම ගේ දොර පවා
පිරිසුදු නොකර, කිසිවකුත් ආශ්‍රය නොකර, නො සැලකිල්ලෙන් ජීවත්වීම නොව, තම මෙලොව සහ
පරලොව පැවැත්ම යහපත් ව සහ ධාර්මික ව පවත්වා ගෙන යාමට අවශ්‍ය භෞතික සහ අභෞතික
වස්තූන් තමා හෝ අන් අය හෝ බොහෝ වෙහෙසට පත් නොවන පරිදි සපයා ගැනීමයි.
සිඟමන් යදින්නකු යනු සරල ව ජීවත්වන්නකු නොව දියුණුවීමේ කැමැත්තක් නැති අයකු පමණි.
එබැවින් ඔවුන්ගේ දිවි පැවැත්ම දෙස බලා “කොතරම් සරලද?” යි නොසිතිය යුතු ය.
සරලව තම අවශ්‍යතාවයක් සපයා ගන්නා ආකාරය නිදසුනකින් මෙසේ දැක්විය හැක. ගිහි ජීවිත ගත
කරන අයකුට නම් අවශ්‍ය විටක දී ගමනක් යාමට හෝ තම කටයුතු පහසු කර ගැනීමට තමාගේ ම
වාහනයක් තිබීම ඉතා සුදුසු ය. සරල දිවි පෙවෙතකට සුදුසු වන පරිදි වාහනයක් මිලදී
ගැනීමේ දී කළ යුත්තේ තම ගමනාගමන අවශ්‍යතාව, වාහනයකට කළ හැකි වියදම, නඩත්තු කිරීමේ
හැකියාව, ඉන්ධනවලට කළ හැකි වියදම ආදී මූලික කරුණු මෙන් ම, තම රැකියාව, සමාජ තත්ත්වය
ආදී කරුණු ද සලකා බලා, තමා හෝ අනෙක් අයට හෝ පීඩාවක් නොවන විකල්පයක් තෝරා ගැනීමයි.
ජීවිතයේ අනෙකුත් ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගැනීමේ දී ද මෙසේ ම ය. ඔබ තෝරා ගන්නා
විකල්පය නිසා ඔබ මෙන් ම අනෙක් අය ද, පමණට වඩා වෙහෙසට පත්වීමක් සිදු නොවිය යුතු ය.
එවිට, ඔබ කො තරම් කටයුතු බහුල වූයේ ද, තමාට තමා පාලනය කර ගත හැකි පරිදි කටයුතු කරන
බැවින්, සරල දිවිපෙවෙතක් ගත කරන්නේ යැ’යි කිව හැක.
එලෙස, සරල දිවි පැවැත්මකට හුරු වූ තැනැත්තා, තමා විසින් මෙම ජීවිතය අර්ථවත් ව ගත
කරමින්, තමා සිටින තත්ත්වයට වඩා උසස් මනුෂ්‍ය ජීවිතයක් ඇති කර ගැනීම සඳහාත්, පරලොව
ජීවිතය යහපත් කර ගැනීම සඳහාත් සිදු කළ යුතු කටයුතු සොයා බලා, ඒ කිසිවක ප්‍රමාද
නොවෙමින්, අලස නොවෙමින්, තම ශරීරය හා මනස පමණට වඩා වෙහෙසට පත් නොකරමින්, තමාට පාලනය
කර ගත හැකි මට්ටමින් කටයුතු සිදු කර, ධර්මානුකූල දියුණුවක් ලබනවා සේ ම, ජීවිතයේ
දුක් සහගත භාවය ද අවම කර ගනී. එහෙයින්, දුක් සහිත වූ ජීවිත ගමන, තවදුරටත් දුකක් කර
ගැනීමෙන් වැළකීම පිණිස අවශ්‍ය කටයුතු නිසි රිදි සිදු කර, දෙලොව ම දියුණුව ළඟා කර
ගැනීමට ඔබත් අදිටන් කර ගන්න.
- ටී. සේනානායක |