සම්බුදු මඟ යන ආර්ය මහා සංඝරත්නය
බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය අදහන්නා බෞද්ධයා ය. මේ රත්නයන් ඔහුට පරම පිහිට
හෙයින් ඊට තිසරණය යැයි ද කියනු ලැබේ.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වෙසක් මස පුන් පොහෝදා සර්වඥතා ඥානය ලැබීමෙන් බුද්ධ රත්නය
ලොව පහළ වූයේ ය.
ඒ චතුරාර්ය සත්‍යාවබෝධය ම ධර්මරත්නයේ ප්‍රතිසන්ධිය ලෙස සැලකිය හැකි ය. බරණැස
ඉසිපතනාරාමයේ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් එය බිහිවූයේ ය.
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇසුවා ම පස්වග මහණුන් වහන්සේ ආර්ය බවට පත්වීමෙන්
සංඝරත්නය ලොව පහළ වූයේ ය. මෙහිලා රත්නත්‍රය පහළවීම පිළිබඳ විසිතුරු ලක්ෂණයක් පෙනේ.
එනම් බුද්ධ රත්නය පහළ වන්නා ම ධම්ම රත්නය ජනිතවීමත්, ධම්ම රත්නය බිහිවන්නා ම
සංඝරත්නය පහළවීමත්, යන අන්‍යොන්‍ය අවිච්ඡින්න සම්බන්ධයයි. බෞද්ධ ලෝකයාගේ ශ්‍රේෂ්ඨතම
ත්‍රිවිධ රත්නය අතුරෙන් සංඝරත්නය පිළිබඳ ධර්මානුකූල හැඳින්වීමක් කළ යුතු ය.
සංඝ යනු
කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පඤ්ච වර්ගිකයන් රහත් වීමෙන් එක විටම පස්
නමකගෙන් ම සංඝරත්නය පහළවීම මෙහිලා සැලකිය යුතු විශිෂ්ට කාරණයයි. සංඝ (සමූහ) වශයෙන්
ම උපන් සංඝරත්නය සංඝ වශයෙන් ම පැවතී නැති වන විටක සංඝ වශයෙන් ම නැති විය යුත්තේ ය
යනු න්‍යායයි. සංඝ වශයෙන් එකක් ගත්තත් ඊට අඩංගු පුද්ගලයා හඳුන්වන්නේ “භික්ෂු” යන
නමිනි. එවිට සංඝ යනු පොදු නාමයයි. සාංඝික නාමයයි. “භික්ෂු” යනු පෞද්ගලික නාමයයි.
එහෙයින් ම “සංඝ” එකක් මිස හුඟක් සිටිය නොහැකි ය. “භික්ෂු” යන්න නම් එසේ සිටිය හැකි
ය. එනිසා ම සංඝ ශබ්දයේ බහු වචනයක් නැත්තේ ය. එය ත්‍රිපිටකයෙහි සෑම තැන ම යෙදී ඇත්තේ
ව්‍යවහාර වී ඇත්තේ එක වචනයෙන් ම බව මේ නිදසුන්වලින් ඔප්පු වේ.
සුපටිපන්නො භගවතො සාවක සංඝො” සංඝස්ස දෙම, සංඝෙ දින්නං මහප්ඵලං සුණතු මෙ භන්තෙ සංඝො,
සංඝෙ ගොතමි දෙහි සංඝං හින්දිත්වා යනුයි සිංහල භාෂාවේ ද “සංඝයා” යි එක වචනයෙන්
ව්‍යවහාර කරනවා විනා “සංඝයෝ” යි බහුවචන වන්නේ නැත. මේ අනුව “සංඝරත්නය” එකම ආයතනයක්
බව නිගමනය කළ යුතු ය. පොදුවේ සංඝයා වහන්සේ යැයි ද, පුද්ගලික කථාවේ දී භික්ෂූන්
වහන්සේ යැයි ද ව්‍යවහාර කටයුතු ය.
පස්වග මහණුන් වහන්සේගෙන් ඇරඹුණු සංඝ සමාජය සැරියුත් මුගලන් ආදී මහ තෙරුවරුන්ගේ
පැවිදිවීමෙන් මුල් කාලයේ දී ක්ෂිණාශ්‍රවයන් වහන්සේගෙන් සමන්විත වූයේ ය. අනාගාමී
සකෘදාගාමී සෝවාන් යන ආර්යයන්ගෙන් මෙන් ම පෘථග්ජනයන්ගෙන් ද මෙය විකාශයට පත් වූයේ ය.
බුදුරදුන් ඇසුරෙහි නිතර පාහේ පන්සියයක් භික්ෂූන් හැසිරුණු අතර දඹදිව පුරා එකල ලක්ෂ
සංඛ්‍යාත භික්ෂූන් වහන්සේ පැතිර ගොස් සිටියේ ය. මේ හැම දෙනා වහන්සේ ම බුද්ධකාලීන
සංඝයා යැයි කියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ එය අනුමත කර ඇත.
එහෙත් බෞද්ධයාගේ රත්නත්‍රයේ සංඝරත්නයට ඇතුළත් භික්ෂූන්ගේ ලක්ෂණ වෙන් කොට බුදුරදුන්
වදාරා ඇත. සංඝරත්නය නම් එයයි. එයින් අන්‍ය වූවන් ගැනෙන්නේ උපචාර වශයෙනි. එහෙයින් ඒ
සංඝරත්නයේ ලක්ෂණ විමසා බැලිය යුතු ය.
බෞද්ධයාට සුපුරුදු සඟ ගුණ පාඨයෙහි “යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස
භගවතො සාවකසංඝො” යනුවෙන් එය පැහැදිලි ය” එනම් පුරිස යුගල හතරකි. අෂ්ට පුරුෂ
පුද්ගලයෝ ය. මෙයයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා” යනු එහි අදහසයි. මෙහි පුරිස
යුගල සතර නම්, සෝතාපත්ති මග්ගඵල යන ප්‍රථම යුගය, සකදාගාමී ආදී අනිත් තුන් මාර්ග හා
ඵල යන සතරයි. අෂ්ටපුරුෂ පුද්ගලයෝ නම්, ඒ යුග සතරමයි. මේ අනුව යටත් පිරිසෙන් සෝවාන්
මාර්ගයට පත් භික්ෂුවගේ පටන් රහතන් වහන්සේ දක්වා ආර්යයන් සංඝරත්නය බව සැලකිය යුත්තේ
ය. තවද රතන සූත්‍රයේ “යෙ පුග්ගලා අට්ඨ සතංපසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති”
යන්නෙහි ද
“චතුසු සුවිසූ පුරිස යුගෙසු අට්ඨ ව පුග්ගල ධම්මදසාතෙ” යන තැන්හි ද මෙය ම
ප්‍රකාශිතයි.
බෞද්ධයා සරණ යන සංඝරත්නය මේ අෂ්ටාර්ය පුද්ගල සංඝයා ය. එහි අංගයන් වූවේ පුද්ගලයෝ
අටදෙනා ඒකාන්තයෙන් ම සුප්‍රතිපන්න ය. ඍජු ප්‍රතිපන්න ය. න්‍යායප්‍රතිපන්න ය. සාමිචි
ප්‍රතිපන්න ය, එහෙයින් ම ආහුනෙය්‍යය, පාහුනෙය්‍යය, අඤ්ජලිකරණීය ය. ලෝකයාට උසස් ම
පින්කෙත ය. මොවුනතුරෙන් සෝවාන් ආදී ආර්යයන් වහන්සේගෙන් තුන්දොරින් සුලු වැරැදි පව්
කෙරෙන්ට පුළුවන. එහෙත් ඒවා වසාගෙන ඉන්නේ නැත.
සබ්‍රහ්මචරින් ඉදිරියෙහි එළිදරව් කොට ආයති සංවරයෙහි පිහිටන්නේ ය. “කිඤ්චාපී සොකම්මං
කරොති පාපකං කායෙන වාචා උද චෙතසාවා අහබ්බො සො තස්ස පටිච්ඡදාය” උන්වහන්සේ ලොකු
වැරැදි නොකරන්නේ ය. එහෙත් රන් රිදී මසු කහවනු (මිල මුදල්) පිළිගැනීම් හිදී සුළු
වැරැදි කෙරෙන්නේ ය. කත්ථචි ලොභදොසුප්පාදන ජාතරූපා දියාදියනං වීවරාදි පාරිභොගෙසු
අපච්චවෙක්ඛණා දිංවා පාපකම්මං කරොති” සුත්ත නිපාතට්ඨකථා සෝවාන්වත් නුවූ පෘථග්ජන
සංඝයා සම්මුති මහා සංඝයා යි. සංඝරත්නය විෂයයෙහි යමෙක් පැවිදි වෙන්නේ ම ආර්යභාවයට
නිවන් දැකීමට සිත නැමී ගිය හෙයිනි. එම නිසා ඊට කැප වූ නිසා පෘථග්ජන සංඝයා ද
සංඝරත්නයට ඇතුළත් වන්නේ ය.
උපමාවක්
ආර්ය සංඝරත්නය මහා සමුද්‍රය මෙනි. එය ඉතා ගැඹුරු ය. විශාල ය. මැනිය නොහැකි ය. එක ම
ලුණු රස ය. සියලු කුණු කසළ පවතින්නේ වෙරළෙහි ය. ගොඩබිම සියලු ගංගාවල ජලය ගලාගෙන
විත් එයට වැටෙන්නේ ය. කොයි තරම් කුණුවතුර, පල්වතුර, පවිත්‍ර වතුර වැටුණත් එහි වූ
ලුණුූ රසයෙහි ඒවා වියැකී යන්නේ ය. සියලුම ඇළ, දොළ, ගංගා ආදී ජලපවාහ ඒ දෙසට යොමුව
ඇත්තේ ය. මේ ආදී ස්වභාවික ධර්මතා රාශියකින් මහා සමුද්‍රය සමන්විත වන්නේ ය. එමෙන් ම
ආර්ය මහා සංඝ රත්නය ද එවැනි ධර්මතාවෙන් යුක්ත වන්නේ ය.
ආර්ය සංඝයා ගුණයෙන් සීලයෙන් ගැඹුරු ය. සංඛ්‍යාවෙන් විශාල ය. කිසිවකුට මැන ගත නොහැකි
ය. “අප්පමාණේ සංඝො) එකම ආර්යයන්ගෙන් යුක්ත ය. කොතරම් දුසිලුන් සිටියත් ඔවුහු
වෙරළෙහි ම රැඳෙන්නෝ ය. සිල්වත්, ගුණවත්, පෘථග්ජන භික්ෂූහු ගංගාවන් මෙන් එහිම අවුත්
වැදගන්නෝ ය. කුණුවතුර,පල්වතුර ගලා විත් වැටුණත් එකම ලුණුරසයෙහි වියැකී යන්නාක් මෙන්
කෙතරම් දුසිල් භික්ෂූන් එහි වැද්දගත්තත් ආර්ය ගුණයෙහි ම ගිලී යන්නෝ ය. සියලු
ජලාශ්‍රයන් මුහුදට ම යොමු ව පවතින්නාක් මෙන් පෘථග්ජන වූ සුසිල්, දුසිල් සියලු
භික්ෂූන් වහන්සේ ම කවදා හෝ ආර්යභාවය සඳහා යොමු වී සිටින්නෝ ය. නොයෙක් නම්වලින් යුත්
ගංගාවල ජලය සමුද්‍රයෙන් වැටුණත් එහිදී මේ අසවල් ගඟේ ජලයයි. මේ අහවල් ඇලේ ජලයයි.
වෙන් කර ගැනීම දුෂ්කර වන්නාක් මෙන් සංඝරත්නයෙහි ද මේ දුසිල් භික්ෂූන් ය.මේ සුසිල්
භික්ෂූන් යැයි වෙන් කිරීම සංඝ ව්‍යාවහාරයෙන් දුෂ්කර ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
-
හේමමාලා රන්දුනු |