Print this Article


හැම මොහොතකට ම ඔබින මරණානුස්සතිය

හැම මොහොතකට ම ඔබින මරණානුස්සතිය

සෑම සත්ත්වයකුට ම කිසිදු බේදයකින් තොරව මුහුණදීමට සිදුවන සාධාරණ ධර්මතාවක් වන්නේ මරණය යි. මස්, ඇට, නහර, සම, ලේ ආදියෙන් සමන්විත මේ ශරීර කූඩුව ටික කාලයක් පැවතී විනාශ වනු ඇත. ආයුෂ, උෂ්ණය, විඤ්ඤාණය පහව ගිය කල්හි මෙම ශරීරය හරියට වියළි දරකඩක් බඳු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මළ පසු මිහිදන් කරන ශරීරය පොළොවට පස් වී යනු ඇත. ඕනෑම සත්ත්වයෙක් මරණයට පත්වන බව සදාතනික ධර්මතාවයි. එහෙත් අද සමාජය තුළ කෙනකු මළ පසු එම මරණානුස්සති භාවනාව සිදු කරන්නේ ඉතා ස්වල්ප දෙනෙකි.

කෙනෙක් මල පසු මරණානුස්සතිය වැඩිය යුතු වුව ද අද සමහරු සිදු කරන්නේ විනෝද වීමයි. ජීවත්ව සිටියදී කළ යුතු යුතුකම් හරියාකාර ව ඉෂ්ට සිද්ධ නොකර, මළ පසු එයට වටිනාකමක් දීමට උත්සුක වීම කනගාටුවට කරුණකි. ඒ අනුව වටිනා පෙට්ටි මත මළසිරුර තැන්පත් කිරීමත්, දින ගණන් මළ මිනිය තබා ගැනීමත්, ආහාර පාන සකසමින් දින ගණන් බඩකට පුරා භූක්ති විඳීමත්, සුරාසූදු දුරාචාර ඒ අතර ම සිදු වීමත් අද සුලබ ව දක්නට ලැබෙන්නකි.

නමුදු අතීතය තුළ ඊට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් ඒ සම්බන්ධ ව සිදු විය. ඉතිහාසය තුළ සිදු වූයේ මළගෙදරක පන්සිය පනස් ජාතක පොත කියමින් මළමිනිය දෙස බලා අනිත්‍ය ප්‍රතිසංයුත්තය මෙනෙහි කිරීමයි. එදා මරණානුස්සතිය සැබෑ ලෙස ම ප්‍රගුණ කළ අයුරු ඉතා පැහැදිලි ය.

අද සිදුවන්නේ දුක නිවා ගැනීමට මත්පැන් පානය කිරීම, කාඩ් ගැසීම, නිරන්තරයෙන් ආහාරපාන පිළියෙල කොට අනුභව කිරීම හා හදවතෙහි දුකක් නොමැති ව කිඹුල් කඳුළු හෙළමින් නිකරුණේ හඬාවැලපීම ය. නමුදු මියගිය කෙනකු දෙස බලා ධර්මානුකූල සිතක් ඇති කර ගැනීමක් දක්නට නොලැබේ. මියගිය කෙනා වෙනුවෙන් පාංශුකූල කටයුතු කරන අවස්ථාවක වුව ද බණ ටිකක් අසමින් මරණානුස්සතිය වැඩීමට පෙළඹෙන්නන් අතේ ඇඟිලි ගණනට සීමාසහිත වී ඇත.

සෑම කෙනකුට ම පොදුවේ ගත් කල්හි මරණය නමැති ධර්මතාවට පත්වීමට සිදු වේ. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ සේ ම රාජරාජ මහාමාත්‍යාදීන් ඇතුළු ලොව ඕනෑම කෙනකුට මරණ ධර්මතාව පොදුවූවකි. ඒ බව ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මනාව ප්‍රකට වන්නකි.

අසුබ භාවනාව වනාහි බුදුරදුන් කල බොහෝ භික්ෂූන් වහන්සේ සිදු කළ භාවනාවකි. එදා කෙනෙක් මළ පසු සිදු කළේ එම මළසිරුර සොහොනට ගෙන ගොස් දැමීම ය. අද මෙන් වැළලීමක් හෝ පිච්චීමක් සිදු නොකළහ. භික්ෂුන් වහන්සේ සිවුරු පවා සකසා ගත්තේ මළසිරුරුවල ඔතා තිබුණ වස්ත්‍ර ගෙන සුද්ධ පවිත්‍ර කර ගැනීමෙනි. එම නිසා භික්ෂූන් වහන්සේට සිදු කිරීමට පහසු භාවනා ක්‍රමයක් ලෙස මරණානුස්සති භාවනාව පැවතුණි. ඒ සඳහා ක්‍රමවේදයක් ඔස්සේ දස අසුබ භාවනාව නමින් එය ප්‍රායෝගික ව ජීවිතයට සම්බන්ධ කර ගනිමින් ප්‍රගුණ කළහ.

සිරිමා නම් වෛශ්‍යාව රජගහනුවර සිටි රූපසම්පන්න කාන්තාවකි. ඇයට ධනවත් සිටුවරුන් නිරන්තරයෙන් මිලට ගත්හ. ඇය වුව ද මියගියාට පසු මරණයේ සාධාරණ බව ජනතාවට අවබෝධ කරවනු වස් බුදුරජාණන් වහන්සේ විසින් ඇයගේ සිරුර රජු හරහා අලෙවි කළහ. නමුදු නොමිලේවත් ගැනීමට තරම් කෙනකු උත්සුක නොවූහ. ඒ අනුව පැහැදිලි වන්නේ කොතරම් රූප සම්පත්තියකින් හෙබි කෙනකු වුව ද මියගියාට පසු එම ශරීරය හරහා දස අසුබ භාවනාව වැඩීමට රුකුලක් වූ ආකාරය යි. මියගියාට පසු මළසිරුර පිළිබඳ මෙනෙහි කිරීම අනිත්‍ය ප්‍රගුණ කිරීමට වැදගත් වේ. එතුළින් කාම සිතුවිලි යටපත් වී ශරීරය පිළිබඳ ධර්මානුකූල ව බැලීමට තරම් ප්‍රඥා ශක්තියක් ගොඩනැඟෙනු ඇත. මළසිරුරක් හරහා පුහුණු කළ යුතු දස අසුබ වන්නේ,

උද්ධුමාතක - ඉදිමී ගිය ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ ආකාරයෙන් පවතින්නේ යැයි යන අනිත්‍ය සංකල්පය නුවණින් මෙනෙහි කිරීම

විනීලක - නිල්වන් වූ ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ ආකාරයෙන් පවතින්නේ යැයි යන අනිත්‍ය සංකල්පය නුවණින් මෙනෙහි කිරීම.

විපුබ්බක - තැන්තැන්වලින් සැරව වැගිරෙන්නා වූ ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ අයුරින් නව දොරකින් සැරව වැගිරෙන්නේ යැයි අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.

විච්ඡිද්දක - නොයෙක් තැනින් තැන සිදුරු වී, සුන් වී ගිය ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ අයුරින් සිදුරු වන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.

වික්ඛායිතක - කපුටු, සුනඛ, සිවල් ආදීන් විසින් එහා මෙහා නොයෙක් ආකාරයෙන් අදිමින්, මස් කඩා කනු ලබන ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ අයුරින් සිදුවන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම

වික්ඛිත්තක - කපුටු, සුනඛ, සිවල් ආදින් විසින් නොයෙකේ ආකාරයෙන් කැබලිවලට කඩා තැන් තැන්වල විසුරුවා ඇති මළසිරුර, එක තැනක අත ය, තව තැනක පය ය, තවතැනක හිස ය ආදී වශයෙන් ඒ ඒ තැන විසුරවා ඇති ශරීරය දෙස බලා මගේ ශරීරය ද මෙලෙසට පත්වන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම

හතවික්ඛිත්තක - සතුරන් විසින් අවි ආයුධවලින් ඇන කොටා, තුවාල කොට ඒ ඒ තැන විසුරුවන ලද කොටස් ඇති ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ අයුරින් සිදුවන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.

ලෝහිතක - ඔබමොබ ලේ වැගිරෙන්නා වූ ශරීරය දෙස බලා මගේ ශරීරය ද මේ අයුරින් සිදුවන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම

පුලවක - නොයෙක් පණු සමූහයෙන් පිරී ගියා වූ ඉතා පිළිකුල් සහගත වූ ශරීරය දෙස බලා මගේ ශරීරය ද මෙලෙසට පත්වන අයුරු අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.

අට්ඨික - ඇට කැබලිවලට පත්වී ඇති ශරීරය දෙස බලා මගේ ශරීරය ද මෙලෙස ඇට කැබලිවලට පත්වන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම

ම:නි: යේ සතිපට්ඨාන සූත්‍රය තුළ ශරීරය පිළිබඳ විනිවිද දකින අයුරින් විස්තරාත්මක ව දක්වා ඇත. මෙම ශරීරය වනාහි නව දොරකින් නිරන්තරයෙන් අපවිත්‍ර දෑ පිටවන්නකි. දෙතිස් කුනුප කොට්ඨාසවලින් සැදුම් ලද්දකි. තුන්සියයක් ඇට කැබලිවලින් නඟාසිටුවන්නකි. නවසියයක් නහරවැල් ඇතුළත් වූවකි. එවැනි ස්වභාවයෙන් යුක්ත ශරීරය වනාහි කුරුල්ලන්ට කූඩුවක් සේ රෝගවලට තෝතැන්නක් බඳු ය. විවිධ රෝගාබාධ හටගනිමින් නිරතුරු බිඳීම්, කැඩීම් සිඳීම්වලට ලක්වන මෙම ශරීරය පිළිබඳ ප්‍රඥාවෙන් දැක බලා භාවනානුකූල ව ජීවිතය ගත කළ යුතු ය. ආහාරපාන, ඇඳුම් - පැලඳුම්, බේත් හේත් තුළින් නඩත්තු කරන්නා වූ මෙම ශරීරය තුළ සුබවාදී කිසිදු දෙයක් ගැනීමට නොහැකි ය. නිරන්තරයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ලක්ෂණත්‍රයට හසුවෙමින්, අපමණ දුක්වලට භාජනය වෙමින් පවත්නා වූ මෙම ශරීරය තුළ කුමන සැපතක් ද? එබැවින් මිනිසත් බව ලැබූ අප කවුරුත් ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම උදෙසා නිරතුරුව ම මරණානුස්සති භාවනාව වැඩිය යුතු ය. එතුළින් ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමටත්, කෙලෙසුන් මර්දනය කර ගැනීමටත්, විදර්ශනාව ප්‍රගුණ කොට නිවන් සුව ලැබීමටත්, අවශ්‍ය මඟ පෑදෙනු ඇත.