ආර්ය ශ්‍රාවකයා හඳුනාගත යුතු
ත්‍රිවිධ ශාසනය
මාදෝවිට වජිරබුද්ධි හිමි
සමස්ත සම්බුදු දහම, එහි ක්‍රියාකාරීත්වය සහ අභිප්‍රාය නියෝජනය කරන දාර්ශනික සාධකය
ලෙස ත්‍රිවිධ ශාසනය හැඳීන්විය හැකි ය. ත්‍රිවිධ ශාසනය ගැන මූලික පෙළ දහමට වඩා එම
දහම විවරණය කළ අටුවා සාහිත්‍ය තුළ සාකච්ඡා කර ඇත.
මහා අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් විශුද්ධිමග්ගයේ මෙන්ම සංයුත්ත නිකාය අටුවා වූ
සාරත්ථප්පකාසිනියේ මේ ගැන සාකච්ඡා කර ඇත. ත්‍රිවිධ ශාසනය යනු
පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය යි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන් සහිත සමස්ත
ලෝකවාසීන්ට වදාළ ධර්මය පරියාප්ති ශාසනය නම් වේ. එය සංඛ්‍යාත්මක වශයෙන් අසූහාරදහසක්
ධර්මස්කන්ධවලින් සමන්විත වේ. බුදුරජාණන් වහන්සේ පහළ වූ මුල්ම කාලයේ එය ධම්ම - විනය
වශයෙන් ද්වීවිධ වූ අතර, පසුව නවංග සත්ථු ශාසන වශයෙන් අංග නමයකට බෙදා ව්‍යවහාර කරන
ලදී.
අටුවාචාරීහු පවසන අන්දමට අසූහාරදහසක් ධර්මස්කන්ධ අතුරින් අසූ දෙදහසක් බුද්ධ භාෂිත
ලෙස ද. දෙදහසක් ශ්‍රාවක භාෂිත ලෙස ද හැඳීන්වේ. නවංග සත්තු ශාසනය තුළ ද විවිධ ධර්ම
කොටස් විස්තර වේ.
සූත්‍ර ගාථා, ව්‍යාකරණ හෙවත් විවරණ, උදාන, සොම්නස් දේශනා, ජාතක කතා වස්තු,
ආශ්චර්යජනක විසිතුරු තොරතුරු නවාංග සත්තු ශාසනය වශයෙන් සම්බුදු දහම වර්ගීකරණයේ දී
හඳුනාගෙන ඇත. එම නිසා ත්‍රිපිටක සාහිත්‍යය තුළ මෙම ධර්ම පරියාය, සූත්‍ත,ග්‍යෙය,
වෙය්‍යාකරන, ගාථා, උදාන, ජාතක, ඉතිවුත්තක, අබ්භුතධම්ම, වේදල්ල යනුවෙන් නම් කර ඇත.
සිව්වනක් පිරිසට වර්ෂ විස්සක් ගත වනතුරු බුදුරදුන් වදාළේ සියලු පාපයන් නොකරන ලෙසත්
(සබ්බ පාපස්ස අකරණං), කුසල් වර්ධනය කරන ලෙසත් (කුසලස්ස උපසම්පදා), සිය චිත්ත
සන්තානය පිරිසුදු ව පවත්වා ගන්නා ලෙසත් (සචිත්ත පරියෝ දපනං) ය. මෙම ක්‍රමය සාර්ථක
විය. මුල් විසි වසර තුළ විශාල පිරිසක් අභිසම්බෝධියට පත් වූහ. එම නිසා මෙම කාල පරාසය
පඨම අභිසම්බෝධි යුගය ලෙස සඳහන් වේ.
ත්‍රිවිධ ශාසනයෙන් මූලික ශාසනය වූ පර්යාප්ති ශාසනය ලෙස බුදුරදුන් වදාළ ධර්මය සඳහන්
වේ. තෙවැනි ධර්ම සංගායනා යුගය වන විට සම්බුදු දහම ත්‍රිපිටක ධර්මය ලෙස නම් කර
විභජනය වී තිබුණි. බුදුරදුන් ජීවමාන කාලයේ ම මෙම ත්‍රිපිටක බෙදීමට හේතු වූ මූල බීජ
සම්පාදනය වී තිබූ බව මූලික සූත්‍ර දේශනාවලින් ප්‍රකට වේ.
බුද්ධ කාලයේ වැඩ විසූ භාණක තෙරවරු සහ සංගීතිකාරක තෙරවරු සම්බුදු දහම දිවි හිමියන්
රැක ගත්හ.
ඒ අනුව පර්යාප්ති (පරියත්ති) ශාසන යනු සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, යන
ත්‍රිපිටක සාහිත්‍යයි.
ත්‍රිපිටකය විවරණය කරමින් සම්පාදිත අට්ඨකථා සාහිත්‍යය, එම අටුවා විවරණය කළ ටීකා
සාහිත්‍ය සහ පකරණ සාහිත්‍යය ද පර්යාප්ති ශාසනයේ සංවර්ධනාත්මක සාධකය ලෙස සැලකිය හැකි
ය.
පරියත්ති ශාසනයේ දාර්ශනික හරය ලෙස සූත්‍ර පිටකය සැලකිය හැකි ය. බුදු දහමේ මධ්‍ය
දේශනාව පටිච්චසමුප්පාදය වේ. මෙම දොළොස් ආකාර හේතු - ඵල දහම අප බුදුරදුන් සත් සතිය
ගත කරද්දී පළමු සතියේ අවසාන දින අලුයම අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ බව උදාන පාළි
පඨම බෝධි සූත්‍රයේ සඳහන් වේ.
බුදු දහමේ ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාව ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වේ. ඒ තුළ සීල,
සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පරිපුර්ණ වේ. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන චතුරාර්ය
සත්‍ය ධර්මය සම්බුදු දහමේ හදවත බඳු ය. එම ආර්ය සත්‍ය සතර ම ඒකාබද්ධ විෂය පථයකි. එම
නිසා චතුරාර්ය සත්‍ය බුදුදහමේ ඉගැන්වෙන “සාමුක්කංසික” දේශනාව ලෙස සම්භාවනාවට පාත්‍ර
වේ. ත්‍රිවිධ ශාසන ව්‍යවහාරයේ පර්‍යාප්ති ශාසනය ඔස්සේ ඉගැන්වෙන ත්‍රිපිටක
සාහිත්‍යයේ පළමුවැන්න වූ සූත්‍ර පිටකය නිකාය ග්‍රන්ථ පහකින් සමන්විත වේ. ඒවා නම්.
දීඝ නිකාය සූත්‍ර - 34යි,
මජ්ක්‍ධිම නිකාය සූත්‍ර - 152 යි,
සංයුත්ත නිකාය සූත්‍ර - 7762 යි,
අංගුත්තර නිකාය - 9557යි,
ඛුද්දක නිකාය කුඩා, අනුකුඩා ග්‍රන්ථ පහළොවක එකතුවකි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන,
ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේතවත්ථු, ථේර ගාථා, ථේරී ගාථා, ජාතක,
නිද්දෙස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධ වංස, චරියාපිටක, යන ග්‍රන්ථ ඛුද්දක නිකායට
අයත් වේ.
අටුවාචාරී බුද්ධඝෝෂ මාහිමි සූත්‍ර පිටකයේ බොහෝ ග්‍රන්ථවලට අටුවා සම්පාදනය කළහ. දීඝ
නිකාය අටුවාව සුමංගල විනා විලාසිනියයි, මජ්ක්‍ධිම නිකාය අටුවාව පපංචසූදනීය යි.
සංයුක්ත නිකාය අටුවාව සාරත්ථප්පකාසිනිය යි. මනෝරථ පූරණීය අංගුත්තර නිකාය අටුවාව යි.
විනය පිටකය පාළි ග්‍රන්ථ පහකින් සමන්විත වේ
පාරාජිකා පාළි, පාචිත්තිය පාළි, චුල්ලවග්ග පාළි, මහාවග්ග පාළි, පරිවාර පාළි ලෙසිනි.
විනය පිටකයට කළ බුද්ධඝෝෂ අටුවාව සමන්තපාසාදිකා නම් වේ.
පරියාප්ති ශාසනයේ අවසාන විභජන ක්‍රමය අභිධර්ම පිටකය යි. එය පකරණ ග්‍රන්ථ සතකින්
සමන්විත වේ.
ධම්මසංඝනී පකරණ, විභංග පකරණ, ධාතුකතා පකරණ, පුද්ගලපඤ්ඤත්ති පකරණ, කතාවත්තු පකරණ,
යමක පකරණ හා පට්ඨාන පකරණයි.
ඉහත විස්තර කළ පරියාප්ති ශාසනය මැනවින් අධ්‍යයනය කොට පිළිවෙත් පිරීම,
ප්‍රතිපත්තිගරුක වීම, සම්මා දිට්ඨිය සහ ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගැනීම පටිපත්ති
(ප්‍රතිපත්ති) ශාසන නම් වේ.
බුදුරදුන් ආමිස පූජාව අගය නො කළහ. ප්‍රතිපත්ති පූජාව ම අගය කළහ. බුදුරදුන්ට නියම
ලෙස පුදන්නා, මල් පහන් ගිලන්පස පුදන්නා නොව ධර්මානු ධර්ම පිළිවෙත් පුරන්නා බව චුල්ල
වග්ගපාළි විනය ග්‍රන්ථයේ සඳහන් වේ.
ධර්ම සාකච්ඡා, ධර්ම ශ්‍රවණය කළ යුතු ය. එමඟින් ඥාන ගවේෂණය සඵල වේ. යථාභූත ඥානය
පිණිස ප්‍රඥාව වර්ධනය පිණිස ඒවා ඉවහල් වේ.
බුදුරදුන් පිළිවෙත් පිරීම පිණිස ධුර දෙකක් නියම කළහ.
ග්‍රන්ථ ධූරය හා විදර්ශනා ධුරය යි.
සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කච්චාන, මහා කොට්ඨිත, ආදී මහතෙරවරු ග්‍රන්ථ ධුරය හෙවත්
ධර්මය වහා ම අවබෝධ කර ගත්හ. චක්ඛුපාල ආදී තෙරවරු සහිත තවත් ආර්ය ශ්‍රාවක විශාල
පිරිසක් විදර්ශනා ධුරය වඩා සසර මඟ තරණය කළහ.
ගිහි - පැවිදි දෙ පිරිස ම එක ලෙස ප්‍රතිපත්ති ශාසනයේ නිරත වූහ. සසර දුක, සසර බර ලෙස
දුටු ගිහි - පැවිදි ආර්ය ශ්‍රාවකයෝ මෙම බුදු මඟ අනුගමනය කරමින් බව තරණය කළහ.
ප්‍රතිපත්ති ශාසනය පිරිය හැකි වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණි. බුදුන් වදාළ ධර්මය
ප්‍රඥාවන්තයන්ට විනා දුප්පඤ්ඤයන්ට නොවන බව යැයි දීඝනිකායේ දසුත්තර සූත්‍රයේ සඳහන්
වේ. ඇස, කන, නාසය, දිව ශරීරය යන පංච ඉන්ද්‍රියයන් පිනවීම වෙනුවට එයින් නික්මෙන මාවත
සොයා ගමන් කළ සිද්ධාර්ථ තාපසයා එසේ අනුගමනය කළ මාවත “අරිය පර්යේෂණ” යනුවෙන් සඳහන්
කර ඇත. |