Print this Article


සම්බුදු සිරුර විසිතුරු කළ අසූවක් අනුව්‍යඤ්ජන

සම්බුදු සිරුර විසිතුරු කළ අසූවක් අනුව්‍යඤ්ජන

ලොව්තුරා බුදුරදුන්ගේ කශේරුකාවෝ හැකිල්ලකින් හැකිල්ලක් හෙවත්, මුදුවකින් මුදුවක් මැසී පවත්නා ලෙසින් ඒකාබද්ධ ව පිහිටන්නේ ය. එසේ හෙයින් උන්වහන්සේ හිස හරවා බලනුවට අසමර්ථ සේක. හස්ති නාගයකු සෙයින් සකල ශරීරයෙන් ම බලා වදාළ යුත්තාහ.

එසේ හෙයින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යන්ත්‍රයෙකින් පරිවර්තනය කරන ලද ස්වර්ණ ප්‍රතිමාවක් මෙන් සකල ශරීරයෙන් ම හැරී බලා වදාරන සේක.

බුදුරජාණන් වහන්සේ තුන්ලොවට අග්‍ර වන සේක. එබඳු මහෝත්තමයන් වහන්සේ නිරන්තරයෙන් හිස හරවා බලන ආලෝකන විලෝකන ඇති කල්හි ආශ්චර්ය නොවන්නේ ය. බුද්ධ තේජස හානියට පැමිණෙන්නේ ය. එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ වාම දක්ෂිණ දෙදිසාව බලන්නාහු ද නෙත් සඟල හැරෙන තැන් පමණක් මුත් ඉන් වැඩියක් නොබලන සේක. එතෙකුදු වුවත් බුදුරජාණන් වහන්සේගේ මුහුණ දකිනු රිසියනට අකණිටා බඹ ලොව සිට බැලූ කල්හි දු බුදුරදුන්ගේ මුහුණ පෙනෙන්නේ ම ය.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන කල්හි ඒ බණ පිරිසෙහි කොතෙක් සත්ත්වයෝ හුන් නමුත් බුදුරදුන්ගේ මුව මණ්ඩලය නොදක්නා එක දු සත්ත්වයෙක් නැත්තේ ම ය. සියලු සත්ත්වයෝ බුදුරදුන්ගේ මුහුණ දක්නාහ. තථාගතයන් වහන්සේ මහ පිනැති සේක. එසේ හෙයින් පිටුපස බලා වදාරන්නෙමැ’යි සිතූ සිත හා සමඟ නොයෙක් කල්පකෝටි ශතසහශ්‍රයෙහි පාරමී පූරණාකාරයෙන් බුදු බව පතා කළ අනන්තාපරිමාණ පුණ්‍ය සම්භාරයාගේ මහන්තත්ත්වයෙන් හා ඒ ආකාරයේ දන්දීම් ආදී කුසල කර්මයන් කොටත් දනට දුන් වස්තුවෙහි ලෝභයෙන් හිස හරවා බැලීමක් හෝ නොකළ සේකැ’යි දෙස් කියන කෙනෙකුන් සේ සිත්පිත් නැති මහා පෘථිවිය හෝ කුඹල්සකක් සේ ආපසු පෙරැළී බුදුන් අභිප්‍රාය වස්තුවට අභිමුඛ කොට පිහිටන්නේ ය.

එසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාරණාවක් ඇති කල්හි ම මිස නිස්කාරණයෙහි නාගාවලෝකනයෙන් අපලෝකනය කොට නොවදාරන සේක. දුසී මාරයා කුඩා කොල්ලකු ලවා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ විධුර මහා ස්වාමීන් වහන්සේගේ අලුත මුඩු කළ හිස ගල් කැටකින් ගස්වා බිඳ වූ කල්හි ඒ බුදුහු

“මේ දුසී මාරතෙමේ පමණ ඉක්මවූයේ යැ”යි නාගාවලෝකනයෙන් දුසී මාරයා දෙස බලා වදාළ සේක. ඒ ක්ෂණයෙහි දුසී මාරයා එයින් ම චුත ව මහා නිරයෙහි උපන්නේ ය.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට වඩනා ගමනේ බොහෝ සත්ත්වයෝ මතු මේ නුවර ‘නාගාවලෝකන’ නම් චෛත්‍යයක් කොට බොහෝ පින් සිද්ධ කරගන්නා හ’යි දැක වදාරා කුසිනාරා නුවර ඉක්ම නුවර දොර වැඩ සිට, මේ මාගේ අවසන් දැක්ම වන්නේ යැ’යි නාගාවලෝකනයෙන් පශ්චිමාවලෝකනය කර වදාළ සේක.

එසේ හෙයින් දැකීමට ඉතා දුර්ලභ වූ නාගාවලෝකනයෙන් අපලෝකනය කර වදාරන කල්හි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඉතා හොබනා සේකැ’යි දත යුතු ය.

ඉදිකටුවකින් ගොතා තුබූ පලස්හු වැටියක් මෙන් හාත්පසින් වට වූ දණ මඬල ඇතියෙන් සමන්තතොචාරු ජාණුමණ්ඩලතා ය.

පිරිපුන් පුරුෂ ව්‍යඤ්ජන ඇතියෙන් පරිපුණ්ණ පුරිසව්‍යඤ්ජනතා ය.

සිදුරු නොවූ නාභී ඇතියෙන් අච්ඡිද්දනාභිතා ය. එතෙකුදු වුවත් ගැඹුරු වූ නාභී ඇතියෙන් ගම්භීරනාභිතා ය.

කියතකින් කැපූ දක්ෂිණවෘත්ත ශංඛයක් කැපූ තැනින් ගෙන බැලූ කල්හි පෙනෙන ලෙසින් දක්ෂිණාවෘත්ත ව පැණෙන නාභී ඇතියෙන් දක්ඛිණාවත්තනාභීතා ය.

හේම කුලයෙහි ඇත් රාජයකුගේ සොඬක් හෝ නොහොත් ගුරුළු රාජයකුගේ කලවා මෙන් අනුක්‍රමයෙන් උස්ව පිහිටි මාංස ඇති කලවා ඇතියෙන් ද්විරදකරසදිස ඌරුභුජතා ය.

ඒ ඒ තැනින් මනාව බෙදී ගිය බුද්ධකාය හා ගාත්‍රා ඇතියෙන් සුවිභත්තගත්තතා ය.

ක්‍රමයෙන් සිහින් වූ ගාත්‍රා ඇතියෙන් අනුපුබ්බගත්තතා ය. ඉතා වට වූත්, සුමට වූත් ගාත්‍රා ඇතියෙන් මට්ටගත්තතා ය. සකල ශරීරයෙහි උස් වුව මනා තැන් උස්ව ක්‍රමයෙන් නැඟුණු සකල බුද්ධකාය ඇතියෙන් අනුස්සානුස්සන්න සබ්බගත්තතා ය.

රැළි නොපත් හෝ නොහැකිළුණු බුද්ධකාය ඇතියෙන් අලීනගත්තතා ය.

තල කැළැල් හෝ කළුලප ආදියෙන් විනිර්මුක්ත බුද්ධකාය ඇතියෙන් තිලකාදීරහිතගත්තතාය.

ඉතා විසිතුරු ඛුද්ධකාය ඇතියෙන් අනුපුබ්බරුචිරපුබ්බගත්තතා ය.

ඉතා පරිශුද්ධ වූ බුද්ධකාය ඇතියෙන් විසුද්ධගත්තතා ය. කෙළදහසක් ඇතුන්ට බල ඇතියෙන් කෝටි සහස්සහත්ථිබලධාරණතා ය.

ලොව්තුරා බුදුන්ගේ කායබලය කෙසේද යත්,

ප්‍රකෘති ඇත් කුලය කාලාවක නම. ඒ ඇතකු පුරුෂ ගණනායෙන් දස දෙනෙකුන්ට සමාන කාය බල ඇත්තේ ය. එපමණ බල ඇති කාලාවක ඇතුන් දස දෙනෙකුන්ගේ කාය බලය එක් ගංගෙය්‍ය කුලයෙහි ඇතකු හට ඇත්තේ ය. ඒ වූ කලි පුුරුෂයන් සිය දෙනෙකුන්ගේ කාය බලයට සමාන වෙයි. ගංගෙය්‍ය ඇතුන් දස දෙනෙකුන්ගේ කාය බලය එක් පණ්ඩර කුලයෙහි එක් ඇතකු හට ඇත්තේ ය. මේ ක්‍රමයෙන් පණ්ඩර ඇතුන් දස දෙනෙකුන්ගේ කාය බලය එක් තම්බ ඇතකු හට ඇත්තේ ය. තම්බ ඇතුන් දස දෙනෙකුන්ගේ කාය බලය එක් පිංගල ඇතෙකු හට ඇත්තේ ය. පිංගල ඇතුන් දස දෙනෙකුන්ගේ කාය බලය එක් ගන්ධ ඇතකුට ඇත්තේය. ගන්ධ ඇතුන් දස දෙනෙකුන්ගේ කාය බලය එක් මංගල ඇතකුට ඇත්තේ ය. මංගල ඇතුන් දස දෙනෙකුන්ගේ කායබලය එක් හේම ඇතෙකුට ඇත්තේ ය. හේම ඇතුන් දස දෙනෙකුන්ගේ කායබලය උපෝසථ කුලයේ එක් ඇතෙකුට ඇත්තේ ය. උපෝෂථ ඇතුන් දස දෙනෙකුන්ගේ කායබලය උපෝසථ කුලයේ එක් ඇතෙකුට හට ඇත්තේ ය. ඒ වූ කලි පුරුෂ ගණනායෙන් කෝටි දහසක් පුරුෂයන්ගේ කායබලය වන්නේ ය. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඡද්දන්ත හස්තීන්ගේ වශයෙන් දස දෙනෙකුන්ට සමාන කායබලය ඇති සේක. කාලාවක ඇතුන්ගේ වශයෙන් කෝටි දහසක් ඇතුන්ට බල ඇති සේක. පුරුෂයන්ගේ වශයෙන් කෝටි දසදහසකට සමාන කායබල ඇති සේක. ලොවුතුරා බුදුරදුන්ගේ කායබලය තථාගතබල නමුදු වන්නේ ය. නාරායන සංඝාතබල නමුදු වන්නේ ය. ඒ එසේ ම ය. පිරිවර සහිත වූ ම වශවර්ති මාරයා පරාජය කිරීමට ද ලොවුතුරා බුදුරදුන්ට කායබලය තිබූ බව දත යුතු ය. එහෙත් ප්‍රාණඝාත කොට බුදුබව සාදා ගැනීමක් නම් නැත.

“එතෙ සබ්බෙ ගහෙත්වා චුණණිතුං අනචඡරියං මම

අත්ථි ථාමබලං මය්හං පාණඝාතො න වට්ටති” යි ආලවක සූත්‍ර අටුවාවෙහි එහෙයින් තවද ලොවුතුරා බුදුන් ට දික් වූත්, අනුක්‍රමයෙන් ආයත ව ස්වර්ණාංකුශයක් මෙන් උස් ව බබළන්නා වූ නාසා ඇතියෙන් තුංගඝාණතා ය.

පබළුපට යුග්මයක් මෙන් ඉතා රත්පැහැ වූ විදුරුමස් ඇතියෙන් සුරත්තදිජමංසතා ය.

මුඛයෙහි තබන ලද භෝජනයෙන් මඳකුදු නොරඳනා හෙයින් හැම කල්හි ඉතා පිරිසුදු ව පවත්නා දන්ත පන්තීන් ඇතියෙන් සුද්ධදන්තතා ය.

විදුරු පෙළක් මෙන් සිනිඳු දන්තයන් ඇතියෙන් සිනිද්ධදන්තතා ය.

විලිකුන් තල්ඵලයක් හෝ පැසුණු රුක්පෙනෙල ඇට හෝ විසුද්ධ වර්ණ ඇතියේ දුටුවන්ට ඉතා පි‍්‍රය වන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම ඉතා විසුද්ධ වූත්, ප්‍රසාදාවහ වූත් ඉන්ද්‍රිය ඇතියෙන් විසුද්ධින්ද්‍රියතා ය.

ඉතා වට වූ සතර දළදා ඇතියෙන් වට්ටදාඨතා ය. පද්මරාග හෙවත් හිඟුල්පට යුග්මයක් මෙන් ඉතා රත් පැහැ වූ අධර යුග්මයක් ඇතියෙන් රත්තෝෂ්ඨතා ය.

ස්වර්ණවර්ණයෙන් බබළන්නා වූ දික් මුහුණූ ඇතියෙන් ආයතවදනතා ය.

දෙඅත්ලෙහි හා ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි චක්‍ර ලක්ෂණයෙහි ගැඹුරු රේඛා සටහන් ඇතියෙන් ගම්භීර පාණිලේඛතා ය.

ආදියෙහි පටන් කෙළවර දක්වා විහිද ගිය හස්තරේඛා ඇතියෙන් ආයතලේඛතා ය. ඉඳුරා පිහිටි රේඛා ඇතියෙන් උජුලේඛතා ය. විසිතුරු සටහනින් යුත් රේඛා ඇතියෙන් සුරුචිර සණ්ඨානලේඛතා ය. තවද, ලොව්තුරා බුදුරදුන්ගේ බඹය පමණ වූ කායප්‍රභා ඇතියෙන් පරිමණ්ඩල කායප්‍රභාවන්තතා ය. පිරිපුන් කොපුල්තල ඇතියෙන් පරිපූර්ණ කපෝලතා ය. දිගුපුළුල් නෙත් සඟළක් ඇතියෙන් ආයතවිසාල නේත්‍රතා ය. ඉතා පිරිසුදු නීලපීතාදී පඤ්ච වර්ණයෙන් බබළන්නා වූ නෙත් සඟලක් ඇතියෙන් පඤ්චප්‍රසාදවර්ණ නේත්‍රතා ය.

කෙළවර අඩු අක් බලා සිටි අඳුන්වන් ඇසිපිය ඇතියෙන් ආකුඤ්චිතාග්‍ර පක්ෂමතා ය.

මෘදු සිනිඳු ඉතා රත්පැහැ වූ ජිහ්වා ඇතියෙන් සුරුචිර ඝණ්ඨානලේඛතා ය.

තවද, ලොවුතුරා බුදුරදුන්ගේ බඹය පමණ වූ ඛායප්‍රභා ඇතියෙන් පරිමණ්ඩල කායප්‍රභාවන්තතා ය.

පිරිපුන් කොපුල්තල ඇතියෙන් පරිපූර්ණ කපෝලතා ය.

දිගුපුළුල් නෙත් සඟළක් ඇතියෙන් ආයතවිසාල නේත්‍රතා ය. ඉතා පිරිසුදු නීලපීතාදී පඤ්ච වර්ණයෙන් බබළන්නා වූ නෙත් සඟළක් ඇතියෙන් මුදුතනුක රත්තජිව්හතා ය.

ඉතා දික්ව උරමඬල පැහැර සිටි විදුලිය වන් කන්වැල් සඟලක් ඇතියෙන් ආයතරුචීර කණ්ණතා ය. ඒ ඒ තැන් උස් නොවූ සම ව පිහිටි ශිරෝධාතු ඇතියෙන් නිර්ග්‍රන්ථි සිරසතා ය.

ඒ ඒ තැනින් වළ නොවූ, සම ව පිහිටි ශිරෝධාතු ඇතියෙන් නිග්ගුළ්හ සිරසතා ය.

වටින් ඡත්‍රයක් මෙන් වට වූ සුන්දර ශිරෝධාතු ඇතියෙන් ඡත්තනිභචාරු සීසතා ය.

දිගුපුළුල් නළල්තල ඇතියෙන් ආයතපෘථුල ලළාට සෝභතා ය. එකිනෙකට උස්පහත් නොවූ ඉඳුනිල් මිනිමුවා දෙව්දුනු යුග්මයක් වන් ශෝභමාන වූ බැම සඟලක් ඇතියෙන් සුසණ්ඨාන භමුකතා ය.

මැදින් බිඳීම් ආදියෙන් තොර ව ඉඳුරා පිහිටි ලැම සඟලක් වූයෙන් සණ්හ භමුකතා ය.

ආදියෙහි පටන් කෙළවර දක්වා අනුක්‍රමයෙන් සිහින් ව පැවැති බැම සඟලක් හෙයින් අනුලෝම භමුකතා ය. මහත් ව වැඩුණූ බැම සඟල ඇතියෙන් මහන්ත භමුකතා ය. ඌර්‍ණරෝම ධාතුව අසලින් නැඟී අනුක්‍රමයෙන් දෙකන්සිළු දක්වා දිවෙන දික් වූ බැම සඟලක් ඇතියෙන් ආයත භමුකතා ය.

තවද ලොව්තුරා බුදුරදුන්ට වූ කලි බුද්ධ සුකුමාල ශරීර ඇතියෙන් සුඛුමාලගත්තතා ය. උෂ්ණ කාලයෙහි සිහිල් පහස් දෙන්නා වූත්, සිහිල් කාලයෙහි උණු පහස් දෙන්නා වූත් ඉතා සෞම්‍ය ශරීර ඇතියෙන් අතිවිය සොම්මගත්තතා ය.

ගිනිගත් කිහිරඟුරු රැසක් මෙන් රන්වන් ව, අතිශයෙන් බබළන්නා වූ ශරීර ඇතියෙන් අතිවිය උජ්වලිතගත්තතා ය.

රනින් පිරියම් කොට දිවිදළින් ගටා ඔප් නැඟූ ස්වර්ණ ප්‍රතිමාවක් මෙන් රැලි නොපත් නිර්මල ශරීර ඇතියෙන් විමලගත්තතා ය. මෘදුමොළොක් ශරීර ඇතියෙන් කෝමලගත්තතා ය.

සිනිඳු වූ කාය ඇතියෙන් සිනිද්ධගත්තතා ය.

දක්ෂිණාවෘත්ත රෝමයෝ ඇතියෙන් දක්ඛිණාවත්ත ලෝමතා ය.

දෙභාග ව බිඳුණූ අඳුන් කැටයක මධ්‍යය මෙන් ඉතා නිල්වන් වූ රෝමයෝ ඇතියෙන් භින්නඤ්ජනසදිස නීලලෝමතා ය.

සිනිඳු වූ ලෝම ඇතියෙන් සිනිද්ධලෝමකා ය.

අග්‍ර උපස්ථායක හෙයින් නිරන්තරයෙන් සමීපයෙහි ගැවසෙන උපස්ථායක තෙරුන්ට පවා නැසෙන තරම් අතිසූක්ෂ්ම ආශ්වාස ප්‍රශ්වාස ඇතියෙන් අතිසුඛුම අස්සාස පස්සාසධාරණතා ය.

සුවඳ පිරූ කරඬුවක් මෙන් නොයෙක් දිව්‍ය සුවඳ වහනය වන්නා වූ මුඛ මණ්ඩල ඇතියෙන් සුගන්ධමුඛතා ය.

භාග්‍යවත් බුදුරදුන්ගේ ඉතා සුගන්ධවත් අනවලෝකිත මුදුන්ධාතු ඇතියෙන් සුගන්ධමුද්ධනතා ය.

අඳුන් මෙන් ඉතා නිල්වන් වූ කේශධාතු ඇතියෙන් සුනීල කේසතා ය. දක්ෂිණාවෘත්ත කේශයෝ ඇතියෙන් දක්ඛිණාවත්තකේසතා ය.

ඉතා ප්‍රසාදාවහ සටන් ඇති කේශයෝ ඇතියෙන් සුසණ්ඨානකේසතා ය. ඉතා සිනිඳු වූ කේශයෝ ඇතියෙන් සිනිද්ධකේසතා ය.

ඝන ව පිහිටි කේශයෝ ඇතියෙන් ඝණ්හකේසතා ය.

අවුල් නොව වෙන් වෙන් ව ම පිහිටි කේශයෝ ඇතියෙන් අලුලිතකේසතා ය.

උස්මිටි නොව සම ව පිහිටි කේශයෝ ඇතියෙන් සමකේසතා ය. ඉතා මෘදු කෝමල කේශයෝ ඇතියෙන් අවුල් නොව වෙන් කෝමලකේසතා ය.

බුදුරදුන්ගේ ශිරෝධාතුවෙන් වඩු දෙරියනක් උසට පැන නැඟී පැතිර සිටගත්තා වූ ත්, අකණිටා බඹලොව සිට බැලූ කෙනෙකුන්ට වුව පෙනෙන්නා වූත් ෂඩ්වර්ණ රශ්මීන් බබළන්නා වූත් කේතුමාලා ඇතියෙන් කේතුමාලාරතන රඤ්ජිතතා ය.

මෙසේ වූ අසූවක් අනූලක්ෂණයන් පිරිවරා සිටි දෙතිස් මහා පිරිම්නීලක්ෂණයෙන් සමන්වාගත වූ සේක් ලොව්තුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්ලොව නැඟූ නොයෙක් රන් රුවනින් විසිතුරු වූ රුවන් තොරණක් මෙන් බබළන සේක.