Print this Article


උතුම් චීවර දානයෙහිලා භික්ෂූන් වහන්සේගේ වගකීම

උතුම් චීවර දානයෙහිලා භික්ෂූන් වහන්සේගේ වගකීම

වර්ෂයකට එක් වරක් පමණක් එක් විහාරස්ථානයක පැවැත්විය හැකි පූජාව කඨින චීවර පූජාව යි. එය සෑම බෞද්ධයකු විසින් ම ඉමහත් සැදැහැයෙන් සහ ගෞරවයෙන් සිදු කරනු ලබන සුවිශේෂ පින්කමකි. අට මහා කුසල්වලින් මුල් තැන හිමි වන්නේ ද කඨින චීවර පූජාවට යි.

මේ නිසා අන් පින්කම්වලට වඩා කඨින පින්කම් කිරීමට, ඊට සහභාගි වීමට බෞද්ධයෝ වඩාත් රුචි කරති. උත්සුක වෙති. මේ පින්කම් අප රටේ පමණක් නොව බෞද්ධාගම අදහන ජනයා සිටින ලොව බොහෝ රටවල ඉතා කැපවීමෙන් හා බැතියෙන් පවත්වනු ලැබේ. මෙම පින්කමට සහභාගි වන දෙස් විදෙස් බොදු පිරිස් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් එම පින්කම්වලට සහභාගි වීම ද සුවිශේෂ ලක්ෂණයකි. කඨින පින්කම් ඇරඹෙන්නේ සෑම වසරක ම ඔක්තෝබර් හෙවත් වප් මස උදා වන පුර පෝයත් සමඟ ය.

ඇසළ හෙවත් ජූලි පුර පසළොස්වක පොහෝ දින පොහොය සීමාවට රැස් වන භික්ෂූන් වහන්සේ ඇවැත් දෙසීමාදී විනය කර්ම කොට වස් සමාදන් වී මාස තුනක් යන තෙක් එය ආරක්ෂා කළ යුතු ය. මේ තෙමස තුළ ගිහි පැවිදි දෙපිරිස ම ඔවුනොවුනට යුතුකම් ඉටු කරති. මේ නිසා මේ කාලය තුළ ගමත්, පන්සලත් අතර බැඳියාව දින දින වැඩි වෙයි. වස්කාල සීමාවේ දී ඕනෑම කෙනකු තුළ යහපත් සිරිත් ඇතිවීම අපේක්ෂිත ය. භික්ෂූන් ද දිනපතා සිල් සිහිපත් කිරීම, භාවනා වැඩීම හා වෙනත් ආගමික කටයුතුවල නියැළෙන නිසා ඔවුන්ගේ ජීවිතය ද ආධ්‍යාත්මික වශයෙන් වර්ධනය වෙයි. මේ නිසා වස් කාලය බොදු ජනයාටත්, භික්ෂූන් වහන්සේටත් කාර්යබහුල වකවානුවකි.

කඨින චීවර පූජාව යනු විශේෂ චීවර දානයකි. එය ලබා ගැනීමට හිමිකම ඇත්තේ පෙරවස් වසා පවාරණය කළ භික්ෂූන්ට පමණි. වප් මස හෙවත් ඔක්තෝබර් මස අව පෑළවිය දින සිට ඉල් මස හෙවත් නොවැම්බර් පුර පසළොස්වක දිනය තෙක් වන මාසයක කාලය කඨින චීවර පූජා කළ හැකි කාලයයි. මේ කාලයට චීවර මාසය යැයි කියනු ලැබේ. විනයෙහි දක්වා ඇති පරිදි පෙරවස් සමාදන් වී වප් මස පුර පොහෝ දින පවාරණය කළ භික්ෂූන් වැඩ සිටින ආරාමයක තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණවත් අලුත් වස්ත්‍රයක් සිවුරක් බවට පත් කිරීමට අවශ්‍ය ඉදිකටු, නූල්, පඬු ආදිය සිවුරු කරන භික්ෂූන්ට පූජා කළ යුතු ය. එය උදෑසන ම පූජා කළ යුත්තේ එම වස්ත්‍රයෙන් එදින ම සිවුරක් මසා ගත යුතු හෙයිනි. වැඩ අවසන් කළ සිවුරක් කඨින චීවරය ලෙස පූජා කරන්නේ නම් එය දවසේ ඕනෑම වේලාවක පූජා කළ හැකි ය. ඉන්පසු භික්ෂූන්ගේ සම්මතයෙන් වස් පවාරණය කළ භික්ෂුවකට පූජා කරනු ලැබේ.

එවැනි අවස්ථාවල දී සාමාන්‍යයෙන් භික්ෂූන්ගේ සම්මතයට බඳුන් වන්නේ සිවුරු අඩු හා වස් කාලය තුළ අන් භික්ෂූන් සමඟ සුහද ව කල් ගෙවූ භික්ෂුවකි. කඨින චීවරය ලද භික්ෂුව කඨිනයට අදාළ විනය කර්මයක් ඉටු කරමින් තම පැරැණි සිවුර ඉවත් කොට ලැබුණූු අලුත් සිවුර අතුරයි. “ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි” යනුවෙන් සංඝාටිය හෙවත් දෙපට සිවුර මඟින් මම කඨිනය අතුරමි’යි ප්‍රකාශ කරයි. ඒ සංකේතාත්මක ක්‍රියාවෙන් ප්‍රකට කෙරෙන්නේ කඨින චීවරය ලැබූ භික්ෂුව එම චීවරය තමාට උත්සවාකාරයෙන් ලැබුණු බව හැඟවීමයි. පසුව එම භික්ෂුව තමා එම කඨින චීවරය විනය කර්මානුකූල ව අතුරන ලද බව සෙසු භික්ෂුන්ට පවසනු ලැබේ. මෙසේ පැවැත්වෙන කඨින උත්සවය භික්ෂූන් වහන්සේගේ සාමූහිකත්වය, සහජීවනය හා සුහදතාව පිළිබිඹු කෙරෙන සුවිශේෂ ආගමික උත්සවයක් ලෙස හැඳින්විය හැකි ය.

භික්ෂූන් වහන්සේට හිමි වන කඨිනානිසංස

කඨින චීවර පූජා කරන ගිහි පින්වතුන්ට පමණක් නොව එම චීවර ලබන භික්ෂූන් වහන්සේටත්, කඨින චීවර පූජාව අනුමෝදන් වන භික්ෂූන් වහන්සේටත් හිමි වන ආනිසංස පහක් ගැන මහාවග්ග පාලියේ ද්විතීය භාගයේ 628 පිටුවෙහි මෙසේ දැක්වේ.

අනුජානාමි භික්ඛවේ, වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං අත්ථත කඨිනානං වෝ භික්ඛවේ, පංච කප්පිස්සන්ති අනාමන්තචාරෝ, අසමාදානචාරෝ, ගණ භෝජනං,

යාවදත්ථචීවරං, යෝ ච තත්ථ චීවරුප්පාදෝ, සෝ නේසං භවිස්සති. අත්ථත කඨිනානං වෝ භික්ඛවේ, ඉමානි පංච කප්පිස්සන්ති

එහි අදහස වන්නේ,

“මහණෙනි, වස් වසා අවසන් කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි. මහණෙනි,ඇතිරූ කඨින සිවුරු ඇති භික්ෂූන්ට අනාමන්තචාරය, අසමාදානචාරය, ගණ භෝජනය, යාවදත්ථ චීවර හා චීවර හා චීවරුප්පාද යන ආනිසංස පහ ලැබෙන බවයි.

අනාමන්තචාරය -

කඨිනය ලැබූ භික්ෂුවට මැදින් මස පොහොය දින තෙක් අවසරයකින් තොරව ගමෙහි තමන් කැමැති තැනකට යා හැකි ය. එසේ කඨිනයක් නොලැබූ භික්ෂුවක් ගමේ කැමැති තැනකට ගියහොත් පචිති ඇවත සිදු වේ.

අසමාදානචාරය -

කඨිනය ලැබූ භික්ෂුවට තුන් සිවුරුවලින් තමන් කැමැති සිවුරක් තබා ආරාමයෙන් බැහැර ගිය හැකි ය. එසේ අන් භික්ෂුවක් ක්‍රියා කළ හොත් තිචීවර විප්පවාසී නිසගි පචිතිය සිදු වේ.

ගණ භෝජනය -

සතර නමකට අඩු සංඛ්‍යාවක් භික්ෂූන්ට අපගේ බත පිළිගත මැනව යනුවෙන් කෙරෙන ආරාධනාව පිළිගැනීමෙන් සිදු වන ගණ භෝජන පචිති ඇවතින් කඨිනය ලැබූ භික්ෂුව නිදහස් වේ.

යාවදත්ථචීවර -

කඨිනය ලැබූ භික්ෂුවක්, කැමැති තරම් සිවුරු පරිභෝජනය කිරීමෙන් සිදු වන ඇවැත්වලින් නිදහස් වේ.

චීවරුප්පාදය -

හේමන්ත ඍතුවේ අවසානය තෙක් කඨිනය ලැබූ භික්ෂුවට එය ලැබුණු ආරාමයෙන් ලැබෙන සිවුරුවල අයිතිය ලැබේ. කඨිනයක් නොලැබූ භික්ෂුවකට එසේ අයත් නොවේ.

ගිහිදායක දායිකාවන්ට ලැබෙන ආනිසංස

මේ කරුණ ගැන දැක්වෙන බුද්ධකාලීන සිදුවීම වන්නේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වී, සිව්පිළිසිඹියා පත්ව රහත් වූ නාගිත නම් රහතන් වහන්සේ බුදුහිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේ පන්සිය නමක් ඉදිරියේ පෙර ආත්මයක තමන් කළ කඨින පූජාමය පින්කමක ප්‍රතිඵල ලෙස ලැබූ ආනිසංස පිළිබඳ ප්‍රකාශය යි. එය නාගිතාපදානය නමින් ප්‍රකට වූවකි. එහි දැක්වෙන පරිදි කඨින පින්කම මහ පොළොව මෙන් නොසැලෙන, මහාමේරු පර්වතය මෙන් ස්ථිර, වජ්‍ර පර්වතය මෙන් බිඳිය නොහැකි ඝන බවින් යුතු මහානිසංස ගෙන දෙන පින්කමකි.

පඨවිරිව න ජාතු කම්පනේ
න චලති මේරුරිවාතිවායුනා
වජිරමීව න භිජ්ජතේ ඝනං
තමිධමතෝ කඨිනන්ති වුච්චති

නාගිතාපදානයට අනුව එක් කඨින පින්කමකින් උන්වහන්සේ ලබා ඇති ආනිසංස සැකෙවින් මෙසේයි.

අපාය ආදි දුගතියක නොඉපදී දෙව් සැප විඳීමට ඉඩ ලැබීම,

සක් දෙව් පදවිය ලැබ සක්විති සැප ලැබීම, ප්‍රාදේශීය අධිපතිකම් ලැබ අදාළ සැප සම්පත් ලැබීම, උපන් හැම ආත්මයක ම සකල සැප සම්පත් ලැබ ජන ප්‍රධාන වීමට ලැබීම,

පහත් කුලවල නොඉපදී වංශවත් කුලවල ඉපදීම,

මහා ධනවතුන් වීම,

නිවන් සැප ලබාගත හැකිවීම

බුදුසසුනේ උසස් ම ප්‍රතිඵල හෙවත් පින් ලැබෙන අටමහා කුසල් අතර මුල් තැන ලැබී ඇත්තේ ද කඨින පින්කමට ය. ආනන්තරීය පාප කර්මයක් කර තිබුණොත් මිස එයින් ලැබෙන පින යටපත් කළ නොහැකි නිසා කඨින යන නම යෙදී ඇතැයි ද කියනු ලැබේ.

කඨිනට්ඨ පරික්ඛාරං - වාස දානං ච උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං

ඉහත දැක්වූ පරිදි කඨින චීවර පූජාවකින් ස්ථිර ආනිසංස ලබා ගැනීමට නම් බුදු හිමියන් නියම කොට ඇති පරිදි මහාවග්ග පාලියේ ද්විතීය භාගයේ ඇතුළත් කඨිනක්ඛන්ධකයේ දැක්වෙන අයුරින් දායකයන් විසින් කටයුතු කළ යුතු යැයි හැඟේ. එසේ කිරීමේ දී පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වටී.

කඨින චීවරයක් පූජා කළ යුත්තේ නියමිත කල වස් සමාදන් වී එය බිඳ නොගෙන අවබෝධයකින් යුතු ව විනය කර්ම මඟින් ආරක්ෂා කර ගත්, මහාපවාරණයෙන් පවාරණය කළ, පිරිසුදු ව සිල් රැක ගනිමින්, ආධ්‍යාත්මික සුවය සඳහා වස් කාලය තුළ ධර්මයෙහි නියැළී භික්ෂූන් වහන්සේ නමකට ය.

බුදුහිමියන් පනවා ඇති පරිදි සංඝ සම්මුතියෙන් පොහොය සීමා ගෘහයක දී පිළිගෙන භික්ෂූන් විසින් විනය කර්මානුකූල ව පවරන ලද සිවුරක් විය යුතු ය.

කඨින චීවරය ගිහි භවතකු විසින් භික්ෂූන් වහන්සේට පූජා කළ පසු භික්ෂූන් විසින් එදින ම පවරන ලද සිවුරක් විය යුතු ය.

වස් සමාදන් වූ දින සිට භික්ෂූන් වහන්සේ විසින් “කඨිනයක් අතුරමි” යන අදහසින් නිතර ම සිහි බුද්ධියෙන් යුතු ව වස් කාලය අවසන් වන තෙක් එය ආරක්ෂා කරගත යුතු ය.

වස් ආරාධනා කළ මොහොතේ සිට දායක පින්වතුන් කඨින චීවර සිදු කළ යුතු ය යන පින් සිතුවිල්ලෙන් නිතර වස් වසා සිටින භික්ෂූන්ට සිවුපසයෙන් ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කළ යුතු ය.

වසරකට එක් වරක් පමණක් කළ හැකි කඨින චීවර පූජාව වෙනත් භික්ෂුවකට නොව වස් වසා පවාරණය කළ භික්ෂුවකට පමණක් ම පූජා කෙරෙන දුර්ලභ පින්කමක් ලෙස සිතා කටයුතු කළ යුතු ය.

වස් වැසූ ආරාමය පිහිටි ගමේ සියලු දෙනා එකතු වී කුසල චේතනාවෙන් යුතු ව සිදු කෙරෙන පොදු පින්කමක් ලෙස සිතා ක්‍රියා කළ යුතු ය.

මෙ තරම් උසස් ආනිසංස ගෙන දෙන කඨින චීවර පූජාව ගැන අවසාන වශයෙන් මෙය නොකියාම බැරි ය. වර්තමානයේ කඨින පින්කම් පැවැත්වීමේ කටයුතු ගෞරව බහුමානයෙන් හෝ භක්තියෙන් සිදු වන බවක් නොපෙනේ. මැදියම් රෑ ආරම්භ කෙරෙන කඨින පෙරහරේ වේගරිද්ම ගී හෝ බයිලා හෝ වෙනුවෙන් සැපයෙන සංගීතය පෙරහරේ ආරම්භයේ සිට අවසානය තෙක් පැවැත්වීම ඊට ප්‍රධාන වෙයි. සිත භක්තියෙන් ඔද වැඩී යනු වෙනුවට ඇඟ නටවමින් ඇතැමෙක් පෙරහරේ යති. රතිඤ්ඤා දල්වති. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කෙරේ. ඇතැමෙක් මත්ද්‍රව්‍ය පානය කොට කෑ කෝ ගසමින් ඇතැම්විට හූ කියමින්, නටමින් පෙරහරේ යාමෙන් කඨින පින්කමේ උසස් බවට හා ගෞරවයට හානි ගෙන දෙයි. ඒ නිසා ගෞරවය විනාශ කරන අංග ඉවත් කොට එය ආරක්ෂා කෙරෙන, භක්තිය වර්ධනය කෙරෙන ආකාරයට කඨින පින්කම් සංවිධානය කිරීම භික්ෂුන් වහන්සේගේ වගකීම හා යුතුකම වෙයි.

ගමේ පන්ති භේද, කුල භේද, පක්ෂ භේදවලින් තොර ව සෑම නිවෙසක ම කඨින චීවරය තැන්පත් කිරීම වාර්ෂික ව සිදු කෙරේ. එමඟින් මුළු ගම ම එක්වී සිදු කෙරෙන පින්කමක් බවට පත් වන නිසා ගමේ සමගිය, සහජීවනය වර්ධනය කර ගැනීමට ද මෙම පින්කම මඟින් අවස්ථාව උදා වෙයි. එක අරමුණක ,නිශ්චිත දිනයක වසරකට එක් වරක් පමණක් පැවැත්විය හැකි ගිහි පැවිදි දෙපිරිසට ම මහත්ඵල මහානිසංස ලැබෙන ප්‍රශස්ත පුණ්‍ය කර්මය ලෙස කඨින පින්කම හඳුන්වා දිය හැකි ය. අහස උසට සිවුරු පූජා කළත් ප්‍රමාණ කළ නොහැකි මහානිසංස එක් කඨින චීවරයක් පමණක් පූජා කිරීමෙන් ලැබෙන අග්‍රගණ්‍ය ස්ථාවර පුණ්‍ය කර්මයකි.