Print this Article


නාන්දුව ශ්‍රී සුධර්මාරාම සෑ රදුන් වහන්සේ විවෘත කෙරේ

දැනට වසර 126 කට ඉහත දී බෙන්තර සීලානන්ද මාහිමියන් විසින් ආරම්භ කරන්නට යෙදුන නාන්දූව ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානය ගිහි පැවිදි හැමගේ ගෞරවයට පාත්‍ර වූ විහාරස්ථානයකි.

මෙම විහාරස්ථානයේ වැඩසිටි විහාරාධිපති මගුරේ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ හා ගරු කරන්නාගොඩ පඤ්ඤාසේකර නාහිමිපාණන් වහන්සේ ද විහාරස්ථානයේ දියුණුව සඳහා කටයුතු කළහ. වර්තමාන විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය අරක්ගොඩ ඉන්‍ද්‍රසරාරාම විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ධුරන්‍ධර, ශාස්ත්‍රපති කරන්නාගොඩ අමරවංස නාහිමි විසින් දර්ශනීය මහා විහාර මන්දිරයත්, අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේත් ඉදිකරමින් විහාරස්ථානයට ආලෝකයක් ගෙන දීමට සමත් වූහ.

මේ දර්ශනීය අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ශ්‍රී මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් පසුගිය දා නිරාවරණය කොට වන්දනා මානයට අවස්ථාව සලසා දුණි.

තවද කරන්නාගොඩ අමරවංශ නාහිමියන්ට උපසම්පදාවෙන් හැට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නොවැම්බර් මස 04 වැනි දින 60 නමකට අධික මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පවත්වා ආශීර්වාද කිරීමට උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ විසින් සහ සත්පුරුෂ දායකකාරකාදීහු කටයුතු සංවිධානය කළහ.

අපේ කරන්නාගොඩ ශ්‍රී අමරවංශ නාහිමියන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගීබව හා චිරජීවනය ලැබේවායි මෙත් සිතින් පතමු.