රට දැය සමය බස පිළිබඳ ඇති ව පෙම -
කටයුතු කරමි ජීවත් වන තුරු ම මම
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
අප උපන් මේ රට මහ මුහුදෙන් වට වූ කුඩා දිවයිනකි. යාබද වෙනත් දිවයිනක් නැති නිසා අපට
දේශසීමා පිළිබඳ අත්දැකීමක් නැත. එහෙත් අපි මුහුදු සීමා ගැන අසා ඇත්තෙමු.
ලාංකේය මුහුදු සිමාව උල්ලංඝනය කොට මසුන් දඩයම් කරන ඉන්දියානු ධීවරයන් ද ඉන්දීය
මුහුදු සීමාව උල්ලංඝනය කොට මසුන් දඩයම් කරන ලාංකේය ධීවරයන් ද එක ම වරදට වරදකරුවන්
වෙමින් දෙරටෙහි අත්අඩංගුවට පත්වන බව අපට රහසක් නොවේ. මුහුදේ යම් සීමාවකින් අප අවශේෂ
ලෝකයෙන් වෙන් වී සිටින බව මේ නිසා අපට සිතා ගන්නට හැකි ය.
අපට නුහුරු නුපුරුදු වුව ද දේශසීමා හරහා බෙදී වෙන්වීම ලෝකයට එතරම් නුහුරු නුපුරුදු
නැත. අති දැවැන්ත මහාද්වීප පුරා පැතිර ගිය රටවල් එකිනෙකින් වෙන් වන්නේ ගොඩබිමේ ඇති
දේශසීමාවකිනි. මේ ඇතැම් දේශසීමා සම්බන්ධයෙන් නිරන්තරයෙන් රට රටවල් අතර උණුසුම්
තත්ත්ව පැනනඟී. ඒ ඇතැම් සිද්ධීන් යුදමය තත්ත්වයන් දක්වා ද වර්ධනය වේ. කාශ්මීර
දේශසීමාව අරබයා ඉන්දියාව හා පාකිස්තානය අතරත්, ගාසා තීරය අරබයා පලස්තීනය හා
ඊශ්‍රායලය අතරත් ඇති වී තිබෙන යුද්ධ ඊට නිදසුන් ය.
ඇතැම් රටවල් දේශසීමා සම්බන්ධ කර ගෙන තම අසල්වැසි රටවල් සමඟ අරගල කරන්නේ නැත. එහෙත්
එසේ අරගල නො කළා කියා එම රටවල අර්බුද නැත්තේ ද නැත. ඊට ද හේතුවක් තිබේ. දේශසීමා
වශයෙන් බෙදී වෙන් වන්නට නො හැකි නම් ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, භාෂා වශයෙන්,
කුලගෝත්‍ර වශයෙන් බෙදී වෙන් වන්නට මනුෂ්‍ය වර්ගයාට ඇත්තේ සහජ පෙළඹවීමකි. මේ නිසා ම
ලෝකයේ විවිධ වූ මනුෂ්‍ය වර්ගයා අතර විවිධ වූ ගැටුම් නිර්මාණය වී තිබේ.
පෘථිවිය එක ම ඒකකයක් වුව ද මේ පෘථිවිවාසීහු අතර පුදුමාකාර බෙදී වෙන්වීම් තිබේ. බෙදී
වෙන්වී වෙන් වෙන්ව ම පැවතිය ද සියලු ලෝකවාසීන්ගේ ජීවිත ගෙවී යන්නේ එකම පොදු ඉරණමක්
තුළ ය. ඔවුහු ඉපදෙති, වයසට යති, ලෙඩ වෙති, මියයති. එපමණකි.... මේ කිසිවක් ලෝකවාසීන්
කරා එන්නේ ජාති, ආගම්, වර්ණ, දේශසීමා ආදී කිසිවක් සලකා බලා, කිරා මැන වෙනස්
ආකාරයකින් සලකමින් නො වේ. ලොවේ කොතැන කවරකු ව උපන්නත්, කවරකු ව ජීවත් වුවත් මේ ඉරණම
වනාහි සියල්ලන්ට ම පොදු එක ම ඉරණමකි. ඒ ගැන අසන, දකින කවරකුට වුව ද මුළු මහත් ලෝක
ප්‍රජාවගේ ම මේ දුක්ඛිත ඉරණම පිළිබඳවත්, ඒ වග නො දැන ඔවුන් යෙදී සිටින හරසුන්
අරගලයන් පිළිබඳවත් කම්පාවක් ඇති නො විය නො හැකි ය. එසේ කම්පනයට පත් වන්නවුන් බෙදී
වෙන්වීම වෙනුවට එකාවන් ව නැඟෙමින් මේ පොදු දුකින් නිදහස් වන්නට වෙර දැරීම නම් වූ
කල්‍යාණ මාවත තෝරා ගත යුතු නො වේ ද? එහෙත් ලෝකවාසී බහුතරයකට මේ දැක්ම දුරක්ඛාත
වූවකි. එනිසා ලෝකය සිටින්නේ බෙදී වෙන් වන්නට මඟක් පෑදෙන තුරු ය.
මුළු මහත් ලොවට ම සම සිතින්, සම මෙතින් අනුග්‍රහ කළ - සංග්‍රහ කළ මහා කාරුණික වූ
මුනිරජාණන් සරණ යෑමෙන් අප සියල්ලන් එක ම ශ්‍රාවක පිරිසකි.
ශ්‍රී ලංකාව යනු හුදු රටක් නො වේ. මේ, ලොව අතිශයින් දුර්ලභ වූ සම්මා සම්බුදු රජාණන්
වහන්සේ නමකගේ ශ්‍රී මුඛ බුද්ධ භාෂිත දරා ගන්නට භාග්‍යවන්ත වූ ධර්ම භාණ්ඩාගාරය යි.
සමගියේත්, එක්ව සිටීමේත් මහානීය අගය ලොව විද්‍යමාන කළ පරමෝත්තම ශාස්තෘන් වහන්සේගේ
දහම සුපිහිටි පුණ්‍ය තීර්ථය යි.
එවන් රටක් තුළ ඒ ධර්මයේ අනුගාමිකයන් පටු අරමුණු කේන්ද්‍ර කර ගනිමින් බෙදී වෙන්
වන්නේ නම් ඒතුළ අනතුරට පත් වන්නේ රට, ජාතිය පමණක් නො ව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්
පාරමී දම් පුරා පැමිණ දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිස අමත පදය සාක්ෂාත් කළ සම්මා
සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සම්බුද්ධ ශාසනය ද බව අප අමතක කළ යුතු නැත.
මේ රට මුළුමහත් ලෝකය ම පිළිගත් බෞද්ධ රටකි. ථේරවාදී බුදු දහමේ නිර්මල ගුණ ශෝභාවන්
මේ රටේ තවමත් විරාජමාන ය. ඒ ගුණ ශෝභාවන්ගෙන් ශෝභාසම්පන්න ව එකාවන් ව නැඟී සිටින්නට
විනා මෙහි අප ලද ජන්මලාභය පටු අභිමතාර්ථ වෙනුවෙන් බෙදී වෙන් වීම පිණිස උපයෝගී කොට
ගත යුතු නැත.
බෞද්ධයන් සියල්ලෝ එකාවන් ව එකමුතු විය යුතු ය. මෙ රටේ බහුතර සිංහල ජනතාව බෞද්ධයන්
ය. ඔවුහු සිංහල බෞද්ධ නාමයෙන් හඳුන්වනු ලබයි. මෙරටේ දෙමළ බෞද්ධයන් ද සිටී. මුස්ලිම්
බෞද්ධයන් ද සිටී. මෙරට ක්‍රියාත්මක වන බෞද්ධ ව්‍යාපෘතීන් සමඟ සහයෝගි ව කටයුතු කරන
ඉංගී‍්‍රසි බෞද්ධයන් ද හින්දු බෞද්ධයන් ද සිටී. අප මේ බව කියන්නේ වගකීමෙනි.
‘බොදුනුවන් වීම’ යන කාරණය ප්‍රමුඛ වී මේ සියල්ලන් අතර ඇති අනෙක් සියලු වෙනස්කම්
යටපත් විය යුතු නො වන්නේ ද?
ගංගා, යමුනා, සරභු, මහී, අචිරවතී යන පංච මහා ගංගාවන්ගේ ජලය මහ මුහුද කරා ගලා විත්
සියලු නම් ගොත් අත්හැර එක ම සයුරු දියක් බවට පත් වෙයි. ඒ ආකාරයෙන් ම මේ සම්බුදු
සසුනේ ශ්‍රාවකයන් ද උපන් කුලය, ගෝත්‍රය, ජන වර්ගය කුමක් වුව ද තෙරුවන් සරණෙහි
පිහිටා ශ්‍රාවකත්වයට පැමිණි පසු ඔවුන් එක ම බුද්ධ ශ්‍රාවක පිරිසක් වගට පත්වන බව
සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පහාරාද සූත්‍ර දේශනාවේ දී ය. ඒ බුදු වදන අප
විසින් හිස් මුදුනින් දරා ගත යුතු වේ. එවිට මේ හෙළදිව වෙසෙන බෞද්ධ ජනකාය තුළ පාට,
පක්ෂ, භේදයක්, ජාති භේදයක් දැකීම උගහට ය.
බෞද්ධ බලවේගය ගොඩනැඟිය යුත්තේ කඳු සේ නැඟෙන්නට නො වේ. එකිනෙකා පරයා උස යන කඳු
මුදුන් වීමේ ආශාව අයිති ලෝකයට ය. අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේට අයිති සම නෙතින්,
සම මෙතින් ලෝකයට දයාබරවීම ය. අප ලෝකයට අයත් විය යුත්තන් නො වේ. අප අයත් විය යුත්තේ
අප සරණ ගිය ශාස්තෘන් වහන්සේට ය. එසේ වන්නට නම් අප කන්දක් නො විය යුතු ය. ඒ වෙනුවට
අප සඳ එළියක් විය යුතු ය.
කන්දට ද, ලන්දට ද, තැන්නට ද වැටෙන්නේ එකම සඳ එළියකි. මල්බර වූ නීල හරිත තුරු මුදුන්
සිප ගන්නේ ද, පුරන් ව ඉරිතළා ගිය මුඩු බිම් සිප ගන්නේ ද එක ම සඳ එළියකි. මුහුදට ද,
නදියට ද, ඇළ දොළට ද, නිරුදක කතරට ද ගලා එන්නේ එක ම සඳ එළියකි. දේශ සීමාවට ද, මුහුදු
සීමාවට ද වැටෙන්නේ එක ම සඳ එළියකි. පොල් අරඹේ ද, තල් අරඹේ ද කියා සඳේ එළියේ වෙනසක්
නැත. සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියා සඳ එළියේ වෙනසක් නැත.
ඒකාකාරි වූ සෞම්‍ය ළතෙත් බවකින් ඒ සෑම තැන් හි ම සඳ කැන් ගලා හැලේ. එසේ වූවා කියා
සඳේ සිසිලස අඩුවන්නේ නැත. සඳේ කාන්තිය සිඳී යන්නේ ද නැත. ඒ එක් තැනකට වඩා වෙනත්
තැනකට සඳ එළිය අඩු වැඩි කොට සලකන්නේ ද නැත. කොහේ කොතැනක මුණ ගැසුණ ද ඒ වනාහි සඳ
එළිය ම ය. ඒ සඳ එළිය සියලු තන්හි අඳුර දයාන්විත ආලෝකයකින් පලවා හරින්නට සමත් ය.
ළතෙත් දයා ගුණයන්, මුදු මොළොක් ගුණ ශෝභාවන් ප්‍රකට කරවන බෞද්ධයාට එවැනි ම වූ සඳ
එළියක් විය නො හැකි ද?
සඳ එළියක් ව ලොවට සිසිලස, යහපත දන් දෙන්නට අපට හැකි විය යුතු ය. ඒ හැකියාව දිවි
හිමියෙන් දරා ගන්නා අභිමානවත් ශ්‍රාවකත්වයන් අප තුළ බිහි විය යුතු ය. |