සම්මා සම්බුද්ධ ගුණය අවබෝධයෙන් හඳුනා ගනිමු
භාග්‍යවතුන් වහන්සේගේ සීලය, සමාධිය, ප්‍රඥාව, ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව,
අනුකම්පාව, ජීවන පැවැත්ම කිසිදු දෙවියකුට, බ්‍රහ්මයකුට හෝ මිනිසකුට සම කරන්නට බැහැ.
එනිසයි උන්වහන්සේට අසම කියන නාමයක් භාවිත කරන්නේ.
මිනිසුන් අතර ම ඉපදිලා, හැදිලා වැඩිලා, මේ ජීවිතයේ සැබෑ අරුත වටහා ගෙන, මේ විඳින
දුකෙන් එතෙර වුණා ද, සසර සැඩ පහර තරණය කළා ද, එසේ කළේ අපගේ සම්මා සම්බුදු රජාණන්
වහන්සේ. උන්වහන්සේගේ උපත, ජීවිත පැවැත්ම, පිරිනිවීම, අසිරිමත්. බෝසතාණන් වහන්සේගේ
උපත ලෝ සතුන්ට යහපත උදා කරවන්නක්.
මේ ලෝකයේ දෙවි මිනිසුන්ට හිත සුව පිණිසයි, සැපය පිණිසයි බුදුරජාණන් වහන්සේ නමක් මේ
ලෝකයට පහළ වන්නේ. එය ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා සුගති
සැප සලසා ගත්තා. සසරින් එතෙර වන මාර්ගය අවබෝධ කළා. සසරින් නිදහස් වුණා.
අතීතයේ සිටි බුද්ධිමත් දෙව් මිනිසුන් තමන්ගේ ශාස්තෘන් වහන්සේ නිසා එතරම් රැකවරණයක්
සලසා ගත්තා නම් වර්තමානයේ ජීවත් වන අපටත් ඒ රැකවරණය සලසා ගන්නට බැරි ඇයි? එයට
වුවමනා වන්නේ තෙරුවන කෙරෙහි පැහැදීම ඇති කර ගෙන සරණ යාමයි. ශ්‍රද්ධාව උපදවා
ගැනීමයි.
ශ්‍රද්ධාව කියන්නේ අපගේ ශාස්තෘන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි. එසේ පැහැදීම ඇති කර
ගැනීමට උතුම් සූත්‍ර දේශනා නිතර නිතර පරිශීලනය කළ යුතු වෙනවා.
අසමසම ගුණ කඳකින් යුතු උන්වහන්සේ තව කෙනකුගේ රැකවරණය පැතූ කෙනකු නොවේ.
“මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසුදු සිල් ඇති වූයේ ම පිරිසුදු සිල් ඇති බවට
ප්‍රතිඥා දෙමි. මාගේ සීලය පිරිසුදු ය. බබළයි. නො කිළිටි ය. ශ්‍රාවකයෝ සීලයෙන් මා
ආරක්ෂා නො කරති. මම ද ශ්‍රාවකයන්ගේ සීලයෙන් ආරක්ෂාවක් නො පතමි.”
“මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසුදු ජීවිකාව ඇති වූයේ ම පිරිසුදු ජීවිකාව ඇති බවට
ප්‍රතිඥා දෙමි. මාගේ ජීවිකාව පිරිසුදු ය. බබළයි. නොකිළිටිය’.
ශ්‍රාවකයෝ ජීවිකාවෙහි මා ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගේ ජීවිකාවෙහිලා රැකවරණය නො
පතමි’
‘මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසුදු ධර්ම දේශනා ඇති වූයේ ම පිරිසුදු ධර්ම දේශනාව
ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ධර්ම දේශනාව පිරිසුදු ය. බබළයි. නො කිලිටියි.
ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙහි මා ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගේ ධර්ම දේශනාවෙහි
රැකවරණය නො පතමි.”
“මොග්ගල්ලානයෙනි, මම වනාහී පිරිසුදු කතා ව්‍යවහාරය ඇති වූයේ ම පිරිසුදු කතා
ව්‍යවහාරය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ කතා ව්‍යවහාරය පිරිසුදු ය. බබළයි. නො
කිළිටිය.
ශ්‍රාවකයාගේ කතා ව්‍යවහාරයෙන් මා ආරක්ෂා නො කරති. මම ද ශ්‍රාවකයන්ගේ කතා
ව්‍යවහාරයෙහිලා රැකවරණය නො පතමි.
“මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසුදු ඥාන දර්ශනයෙහි ඇති වූයේ ම පිරිසුදු ඥාන දර්ශනය
ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ඥාන දර්ශනය පිරිසුදු ය. බබළයි. නො කිළිටිය යනුවෙනි.
ශ්‍රාවකයෝ ඥාන දර්ශනයෙන් මා ආරක්ෂා නො කරති. මම ද ශ්‍රාවකයන්ගේ ඥාන දර්ශනයෙහි ලා
රැකවරණය නො පතමි. (කකුධ සූත්‍රය - අං. නි. 03)
භාග්‍යවතුන් වහන්සේගේ මේ වදන්වලින් අපට ඉහත කරුණු තේරුම් ගන්නට අවස්ථාව තිබෙනවා.
උන්වහන්සේගේ ජීවිතය තුළ අන් අයගෙන් සැඟවීමට දෙයක් තිබුණේ නැහැ. ඒ ජීවිතය තුළ හොර
බොරු වංචා නැහැ. උන්වහන්සේ පරම පිවිතුරු ජීවිකාවකින් යුක්තයි.
බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට ප්‍රථම සිහින පහක් දුටුවා. එයින් එකක් වූයේ බෝසතාණන්
වහන්සේ මහා විශාල අසූචි කන්දක් මත සක්මන් කරනවා. එහෙත් මහා බෝසතාණන් වහන්සේගේ
පාදයන්හි ගැටෙන්නේ නැහැ. ඒ සිහිනය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ විස්තර කළ සේක.
මහණෙනි, තථාගතයන් වහන්සේට සිවුපස පහසුව ඉතා හොඳින් ලැබුණා. ඒ කිසිදු ලාභයකට සිතේ
ඇල්මක් හට ගත්තේ නෑ. සිත බැස ගත්තේ නෑ. නිදහස් වූ සිතින් ම යි වාසය කළේ.
අත්හැරීමෙන් ලැබෙන, හුදෙකලාවෙන් ලැබෙන, සම්බෝධි සුවයෙන් ලැබෙන උතුම් සැපය
බුදුරජාණන් වහන්සේ අගය කළා. එනිසා ම භාග්‍යවතුන් වහන්සේ වදාළා. “මහණෙනි යමෙක්
බුදුරදුන් කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුන් පැහැදුණේ අග්‍ර වූ ස්ථානයෙහි ය. අග්‍ර
ස්ථානයෙහි පැහැදුණවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.
ඒ නිසයි අග්‍ර සැප ලබා දෙන, අග්‍ර පිනක් රැස්වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල
ශ්‍රද්ධාවට පැමිණෙන්න කියන්නේ. අචල ශ්‍රද්ධාව කියන්නේ කාටවත් සොලවන්න බැරි දෙයක්
කියන එකයි. දෙවියකුට, බ්‍රහ්මයකුට ලොව කිසිවකුට ඒ ශ්‍රද්ධාවට හානි කරන්න බැහැ. ඒ
කුමන ශ්‍රද්ධාවට ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ අවබෝධයෙන් යුතු ව හඳුනාගෙන ඇතිකර ගන්නා
පැහැදීමට යි. අපට මේ ලැබී තිබෙන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක්. අපට දුර්ලභ මිනිසත්
බවක් ලැබී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නත්, උන්වහන්සේ අපට අනුකම්පාවෙන් වදාළ
ධර්මය පුරුදු කරන්නත් අවස්ථාව ලැබී තිබෙනවා. මෙය ඉතා දුර්ලභ මොහොතක්. එනිසා කලණ
මිතුරු ඇසුරේ සිටිමින්, ධර්මය ශ්‍රවණය කරමින් අපගේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි
ශ්‍රද්ධාව ඇති කර ගනිමු.
-
නයනා නිල්මිණී |