Print this Article


මාරය මට අත වනනු එපා

මාරය මට අත වනනු එපා

මරණ මංචකයේ
මහ යුදයක් කොට
පෙර පිනකින්
යළි පණ ආවා
කළ යුතු යුතුකම්
ඉතිරිවෙලා ඇත
එ බරින් නිදහස් විය යුතු වේ
පින් කර ගන්නට ඉඩ දෙනු මැන
මාරය මට අත වනනු එපා
පාසල හැර ගිය
පුතුට තවම නැත
ගැළපෙන රැකියාවක් ලැබුණේ
දීග නොගිය දුව
වයස පිරී ඇත
පසුවේ තවමත් ගෙයි මුල්ලේ
පින් කර ගන්නට ඉඩ දෙනු මැන
මාරය මට අත වනනු එපා
සොච්චම් පඩිපත
සුළඟේ පාවේ
අඩක් නිම වූ නිවස ද අඳුරේ
ණයකරුවෝ මගෙ
පසුපස එළවති
මහමෙර බර පොදි මගෙ හිසෙහි
පින් කර ගන්නට ඉඩ දෙනු මැන
මාරය මට අත වනනු එපා