Print this Article


මඟ නොහැරිය යුතු මවුපිය උපස්ථානය

මඟ නොහැරිය යුතු මවුපිය උපස්ථානය

බුදුරජාණන් වහන්සේ ලොව පහළවන සමයේ භාරතීය ජනයාගේ සිතුම් පැතුම් වෛදික චින්තනය නම් වූ සැඩ පහරට නතු වී තිබුණු අයුරු වෛදික ග්‍රන්ථයන් සහ ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණුවලින් මනාව ප්‍රකට ය.

මෙහිදී විශ්වය මැවූ මහබඹුන්ගේ දෙවන කාර්යය වූයේ මිනිසා මැවීමයි. ඒ අනුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ වංශිකයන්ද, බාහුවලින් ක්ෂත්‍රිය වංශිකයන් ද, කලවාවලින් වෛශ්‍යයන් ද, පහත් යැයි සම්මත ශුද්‍රයන් ආදී ප්‍රභේද පා දූවිල්ලෙන් ද මැවූ බව වෛදිකයන්ගේ මූලික ඉගැන්වීමයි.

මේ මැවුම් සංකල්පය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ දී සම්පූර්ණයෙන්ම නිශේධනය වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍යයාගේ මැවුම්කරු මහා බ්‍රහ්මයා නොව අම්මා තාත්තා ය. අංගුත්තර නිකායේ සද් බ්‍රහ්ම සූත්‍රය මීට හොඳ නිදසුනකි. එහි බ්‍රහ්මාති මාතා පිතරෝ. බ්‍රහ්මයා යනු අම්මා තාත්තා ය. එම සූත්‍රයට අනුව යම් දරුවෙක් විසින් මවුපියෝ ගෙදර දී පුදන ලද වෙත් ද ඒ කුලය නැතහොත් ඒ ගෙදර බ්‍රහ්මයා සහිත ය.

යම් පුත්‍රයෙකු විසින් මවුපියෝ ගෙදරදී කුජීත වෙත්ද? ඒ කුලය පූර්වාචාර්ය සහිතය. යම් පුත්‍රකෙනකු විසින් මවුපියෝ ගෙදර දී පූජිත වෙත්ද ඒ කුලයේ පූර්වදේවතා සහිත ය. යම් පුත්‍ර කෙනකු විසින් මවුපියෝ ගෙදරදී පූජිත වෙත් ද ඒ කුලයේ ආහුණෙය්‍ය සහිත ය. තවදුරටත් එම සූත්‍රයේ මහණෙනි, මවුපියන්ට බ්‍රහ්ම යන නමකි. (බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං) මහණෙනි, මවුපියනට පූර්වාචරය යන නමකි. (පුබ්බා චරියාති භික්ඛවේ මාතා පිතුන්නං) මවුපියන්ට පූර්ව දේව යන්න නමකි. (පුබ්බාදේවාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අධි වචනං) මවුපියනට ආහුණෙය්‍ය යන නමකි. (ආහුණෙය්‍යාති භික්ඛවේ මාතා පිතුන්නං) මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර ඇතියහ. (බහුකාරා භික්ඛවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දසේස කාරෝතී.

මහණෙනි, මවුපියවරු දරුවන්ට බොහෝ උපකාරශීලීහු වෙති. මෙහෙයවන්නෝ වෙති. පෝෂණය කරන්නෝ වෙති. ලෝකය හඳුන්වා දෙන්නෝ වෙති.

මෙවැනි දරුවන් හදා වඩා ඔවුන් පෝෂණය කරන ආකාරය මේ අයුරින් විවිධ සූත්‍රවල දී බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එම නිසා මවුපිය උපස්ථානය දූ දරුවන්ගේ ප්‍රධාන යුතුකම් ය. උපස්ථානය කිරීම යන්නෙන් අදහස් කරන්නේ අම්මා තාත්තා ලෙඩ වුණ විට බෙහෙත් හේත් අරන්දීම, වයසට ගියවිට සැලකීම වැනි අදහසක් සමාජයේ ප්‍රචලිතය. එහෙත් උපස්ථානය යන්නෙහි අදහස විමසා බැලිය යුතු ය. මේ සඳහා මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයේ උපයෝගී කර ගැනීම වැදගත් ය. වරක් බුදුරජාණන් වහන්සේ සේනාසන චාරිකාවේ වඩින අවස්ථාවකදී ස්වකීය මළමුත්‍රයෙහි වැතිරී නිදන භික්ෂූන් වහන්සේ නමක් දුටු සේක. උන්වහන්සේගේ රෝගී තත්ත්වයත්, උපස්ථායකයන් පිළිබඳවත් විමසූ සේක. එහිදී බඩේ අමාරුවක් තිබෙන බවත්, ලෙඩ වූ විට අන් භික්ෂූන්ට උපස්ථාන නොකරන හෙයින් තමාට උපස්ථාන නොකරන බවත්, රෝගී භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළහ. ආනන්ද හාමුදුරුවන් සමඟ මේ රෝගී භික්ෂුව පිරිසුදු කොට සේනාසනයේ වැඩ සිටින සියලු භික්ෂූන් වහන්සේ එතැනට කැඳවූ සේක. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ.

“යෝ භික්ඛවේ මං උපට්ඨහෙය්‍ය

සෝ ගිලානං උපට්ඨහෙය්‍ය”

යනුවෙනි. මේ බුද්ධ වචනය ඉතා ප්‍රකට ය. එහෙත් මේ සඳහා දෙන අර්ථකථනය සාවද්‍යය ය. මේ බුද්ධ වචනය සඳහා දෙන අර්ථය ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා හා සමාන ය. මෙම අදහස් සම්පූර්ණයෙන් ම වැරැදිය. රෝගියකුට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම හා සමාන කිරීම සපුරා වැරැදි සහගත ය. එම නිසා මෙහි අදහස මහණෙනි, “යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, ඒ තැනැත්තා ගිලනුන්ට උවටැන් කරන්නෝ ය” තවදුරටත් පැහැදිලි කරනවා නම්, උපට්ඨහෙයිය යනු බුදු හාමුදුරුවෝ වදාළ ධර්මයට අනුගත ව ක්‍රියා කිරීමයි. බුද්ධ දේශනාව පිළිපැදීමයි. එම නිසා මවුපිය උපස්ථානය යනු ඉහත කී පරිදි ගිලන් වූ විට සැලකීම පමණක් නොව සෑම මොහොතකම අම්මා තාත්තාගේ අවවාද අනුශාසන, මඟ පෙන්වීම් පිළිපදිමින් කීකරුව යහපත් සේ ජීවත්වීම ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිනි.